|
සුවපත් දිවියකට හොඳම තේරීම
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
අපේ ජීවිතේ කියන්නේ ම තෝරා ගැනීම් ගොඩක් කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ. කුඩා කාලේ
ඉඳලාම අපි නොයෙක් දේ තෝරා ගත්තා, ඇතැම් තෝරාගැනීම් පස්සේ ප්‍රතික්ෂේප කළා.
තෝරා ගැනීම් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. එකක් යහපත් තෝරා ගැනීම්. අනෙක අයහපත්
තෝරා ගැනීම්. මේ දෙකෙන් අයහපත් තෝරාගැනීම් ජීවිතයක් විපත කරා ගෙනයනවා. යහපත්
තෝරාගැනීම් ජීවිතේ සුවපත් වෙන්න හේතු වෙනවා. ඉතින් මෙයින් අපිට තේරුම් ගන්න
තියෙන්නේ තෝරාගැනීමක් ජීවිතේට මොනතරම් වැදගත් ද කියන එකයි. අපේ සාමාන්‍ය
තෝරාගැනීමක් පවා අපි හොඳ කල්පනාවකින් ම කරන්න ඕනි.
එදා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩසිටියේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ. එක ආජීවකයෙක් ආනන්ද
ස්වාමීන් වහන්සේට බොහොම වටිනා ප්‍රශ්න තුනක් ඉදිරිපත් කළා.
ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මේ ලෝකයේ හරියට ම දේශනා කරලා තියෙන හොඳම ධර්මය මොකක්ද?
මේ ලෝකයේ නිවැරැදි ම වැඩපිළිවෙළක ගමන් කරන හොඳ ම පිරිස කවුද?
මේ හොඳ ම මාවතක ගමන් කරපු සුගත අය කවුද?
ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය හරිම ආකර්ෂණීය යි.
උන්වහන්සේ වදාළා.
“හොඳයි පින්වත, මම ඔබගෙන් ම අහන්නම්. ඔබට මා අහන දේ ගැන තේරුම් යන්නේ යම් විදිහකට ද
ඒ විදිහට පිළිතුරු දෙන්න. පින්වත, ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? යම් ධර්මයක් දේශනා
කරලා තියෙන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස නම් ඒ ධර්මය මැනැවින් දේශනා
කරපු හොඳ ම ධර්මය ද? නැද්ද? මොකක්ද ඔබට ඒ ගැන හිතෙන්නේ?”
“ස්වාමිනී, ඒ ධර්මය මැනැවින් දේශනා කළ හොඳ ම ධර්මයක් කියලයි මට හිතෙන්නේ.”
“හොඳයි පින්වත, මේ ගැන ඔබ මොකද හිතන්නේ? යම් පිරිසක් රාගයේ, ද්වේෂයේ, මෝහයේ
ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඔවුන් ලෝකයේ සුපටිපන්න ද? නැද්ද?”
“ස්වාමිනී, එබඳු පිරිස නම් සුපටිපන්නයි කියලයි මට හිතෙන්නේ.”
“හොඳයි පින්වත, මේ ගැන මොකක් ද හිතෙන්නේ? යමකුගේ රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය වුණා
නම්, මුලින් ම උදුරලා දාලා නම්, තල්ගසක කරටිය කැඩුවා වගේ නම්, අභාවයට පත් කරලා නම්,
නැවත උපදින්නේ නැති ස්වභාවයට පත් කරලා නම්, අන්න ඒ අය සුගත ද? නැද්ද?”
“ස්වාමිනී, ඒ අය ලෝකයෙහි සුගත ම යි.”
ඉතින් ඔබ ම විසඳුවානේ, ආනන්ද ස්වාමින් වහන්සේ ඔය විදිහට අහලා අවසානේ මෙහෙම පැවසුවා.
“ඉතින් පින්වත, ඔබ විසින් ම මේ ප්‍රශ්න විසඳුවා නෙව.”
ඒ මොහොතේ ඔහු ගොඩාක් සතුටු වුණා. ආනන්ද ස්වාමින් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමිනී, ආශ්චර්ය යි. ස්වාමිනී, පුදුම සහගතයි. ඔබ වහන්සේ තමන්ගේ ධර්මය හුවා
දැක්වීමක් කළේත් නෑ. අනුන්ගේ ධර්මය හෙළා දැක්කෙත් නෑ. වුවමනා කරන කරුණු පිණිස ම
ධර්මය දේශනා කළා. අර්ථයත් ප්‍රකාශ කළා. තමන්ව හුවා දැක්වූවෙත් නෑ.
ස්වාමිනී, ඉතාම සුන්දරයි. මට මේ ගැන හැඟෙන්නේ හරියට යටට හරවා තිබූ දෙයක් උඩු අතට
හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්නුවා වගෙයි. මංමුළා වූ කෙනකුට
හරි පාර පෙන්වා දුන්නා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරෙහි තෙල් පහනක් දරා
සිටිනවා වගෙයි. ඔය විදිහටයි අපගේ ආර්ය වූ ආනන්දයන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී
සද්ධර්මය වදාළේ.
ඉතින් ස්වාමිනී, ආනන්දයන් වහන්ස, මම අද පටන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයත්
සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට ම
තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා.
හොඳ ම තෝරා ගැනීමක් පිණිස ඔහුට අවස්ථාවක් ලැබුණේ විවෘත මනසකින් ලෝකය බලන්න පුළුවන්
විදිහේ ඇසුරක් ලැබුණු නිසා. ආනන්ද ස්වාමින් වහන්සේ ඔහුට කරපු උදව්ව ඒක.
මනුස්සයෙක්ගේ ජීවිතේ දුක් උපද්දන දුර්වලතා තුනක් ආනන්ද ස්වාමින් වහන්සේ ඉස්මතු කරලා
පෙන්නුවා. ඒ තමයි රාගය, ද්වේෂය, මෝහය.
අපේ ජීවිතේ ගැන නුවණින් විමසද්දී අපට හොඳින් ම තේරෙනවා නේද සරාගී සිතිවිලිවලින් අපි
මොනතරම් වෙහෙසක් විඳිනවාද. කේන්තිය, ක්‍රෝධය, තරහා නිසා අපි මොන තරම් නම් ගින්නක්
විඳෙව්වා ද කියලා අපි දන්නවා. මෝහය නිසා ම අපේ ජීවිතවල මොනතරම් නම් වෙහෙස, පීඩාව
උපදිනවාද.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ජීවිතේ අනෙක් සියලු වෙහෙසකර දුර්වලතා ඔක්කොම ඇති
වන්නේ මේ රාග, ද්වේෂ, මෝහ මුල් වෙලා කියලයි.
ඒ නිසා අපේ ජීවිතේ පුද්ගලයෙක් විදිහට තෝරාගත යුතු හොඳ ම පුද්ගලයා ඒ දුර්වලතා නැති
කෙනෙක් නේද?
ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේගෙන් දහම් ඇසූ ඔහු ඒ මොහොතේ ම බුදුරජාණන් වහන්සේ සරණ
ගියා. බුදුරජාණන් වහන්සේ කෙබඳු ගුණයෙන් යුතු සේක ද?
ඉතිපි සෝ භගවා - ඒ භාග්‍යවතුන් වහන්සේ
අරහං - රාග ද්වේෂ මෝහ දුරුකොට වීතරාගී, වීතදෝෂී වීතමෝහී බවට පැමිණ, දෙව් මිනිසුන්ගේ
පූජාවට සුදුසු වන තරම් පූජනීය වන සේක.
සම්මා සම්බුද්ධෝ - යම් ඒ මුළාවක් නිසා මේ සත්ත්ව ප්‍රජාව සංසාරය නමැති බිහිසුණු
ගමනේ අතරමං ව සිටිත්, ඒ මුළාව දුරු කරවන අවබෝධය වන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය
ගුරු උපදේශ රහිත ව අවබෝධ කොට වදාළ සේක.
විජ්ජාචරණ සම්පන්නෝ - කෙලෙස්වලට අනුව දිවි ගෙවන සත්ත්වයන් මැද අසිරිමත්
විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් යුතු ව අවබෝධයට අනුව ම ජීවිතය ගත කළ සේක.
සුගතෝ - ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර නිවන් මඟේ වැඩම කොට සුන්දර නිවන
සාක්ෂාත් කළ සේක.
ලෝකවිදූ - මේ සසරගත සත්ත්වයෝ දුක් විඳින සියලු සුගති දුගති ලෝක ගැන මැනැවින් අවබෝධ
කර ගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ සේක.
අනුත්තරෝ පුරිසදම්මසාරථී - දහම තුළ දමනය වීමේ වාසනාව ඇති දෙවියන්, මිනිසුන්, බඹුන්
ඉතා අසිරිමත් ලෙස දහම තුළ දමනය කරවූ සේක.
සත්ථා දේවමනුස්සානං - දෙව් මිනිසුන්ට සසර දුකින් එතෙර වීමට මඟ පෙන්වා දෙන උතුම්
ශාස්තෘන් වහන්සේ වන සේක.
බුද්ධෝ - තමන් වහන්සේ අසිරිමත් නුවණින් ගුරු උපදෙස් නොමැති ව අවබෝධ කළ ධර්මය අන්
අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලි ව නිවන් මඟ දේශනාකොට වදාළ සේක.
භගවා - මේ සියලු විස්මිත ගුණ දරා ගැනීමට තරම් අතිශයින් ම භාග්‍යවන්ත වන සේක.
මෙසේ අහරං ආදී නව ගුණයෙන් පෙන්වා දෙන මුත් පමණ කළ නොහැකි අචින්තනීය ගුණ කඳින් බබළන
බුදුරජාණන් වහන්සේ තමන්ගේ දිවි ගමනට ආලෝකය දෙන නායකයා ලෙස තෝරාගන්නට ඔහු වාසනාවන්ත
වුණා.
ඔහු බුදු මුවින් වදාළ ශ්‍රී සද්ධර්මයත් සරණ ගියා. උතුම් ශ්‍රී සද්ධර්මය කෙබඳු
ගුණයෙන් යුතු සේක ද?
1. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ - භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම්
ශ්‍රී සද්ධර්මය හැම කෙලෙස් ගිනි නිවනා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මඟ පැහැදිලි
ව පෙන්වා දෙන නිසා ස්වාක්ඛාත වන සේක.
2. සන්දිට්ඨිකෝ - ධර්මය තුළට පිළිපන් සැණින් ප්‍රතිඵල උපදවා දෙන, මේ ජීවිතයේ දී ම
දැකිය හැකි දහමකි.
3. අකාලිකෝ - තුන් කාලයට ම වලංගු අකාලික දහමකි.
4. ඒහිපස්සිකෝ - එකිනෙකාට සඟවා ලබා දෙන උපදෙස් නැති ‘ඇවිත් බලන්න’ කියා විවෘත ව
පෙන්වා දිය හැකි දහමකි.
5. ඕපනයිකෝ - තමා තුළට පමුණුවා ගෙන දැක්ක යුතු දහමකි.
6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ති - තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අනුව අවබෝධ වන
දහමකි.
එබඳු උතුම් ශ්‍රී සද්ධර්මය තමන්ගේ දිවි ගමනට ආලෝකය සලසාලන දහම ලෙස තෝරා ගැනීමට ඔහු
වාසනාවන්ත වුණා.
ඔහු ආර්ය මහා සංඝරත්නයත් සරණ ගියා. ඒ උතුම් සඟරුවන කෙබඳු ගුණයෙන් යුතු සේක ද?
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ - භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වනාහි රාග,
ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස සීල සමාධි ප්‍රඥා දියුණු කරන නිසා සුපටිපන්න වන සේක.
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආර්ය
අෂ්ටාංගික මාර්ගය නම් වූ ඍජු නිවන් මඟේ හික්මෙන නිසා උජුපටිපන්න වන සේක.
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ - භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් ආදි
උතුම් මඟඵල නුවණ උපදවා ගැනීම පිණිස හික්මෙන නිසා ඤායපටිපන්න වන සේක.
සාමීචි පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ - භාග්‍යවතුන් වහනසේගේ ශ්‍රාවක සංඝරත්නය තමන්
වහන්සේ ද දහමේ හික්මෙමින් ඒ උතුම් දහම අන් අයටත් කියා දෙන නිසා සාමීචිපටිපන්න වන
සේක.
ඒ ශ්‍රාවක සංඝරත්නය පුද්ගල යුගල වශයෙන් ගත් විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්
ලෙස යුගල සතරකි. පුද්ගල වශයෙන් වෙන් වෙන්ව ගත් විට මාර්ගස්ථ ඵලස්ථ වශයෙන් අටදෙනෙකි.
5. ආහුනෙය්‍යෝ - ඉතා දුර සිට වුවත් දන්පැන් රැගෙන ගොස් පිදීමට සුදුසු වන සේක.
6. පාහුනෙය්‍යෝ - ආගන්තුක ව වැඩම කළ කල්හි පිදීමට සුදුසු වන සේක.
7. දක්ඛිණෙය්‍යෝ - පින් සලකා දන්පැන් පිදීමට සුදුසු වන සේක.
8. අඤ්ජලිකරණීයෝ - දෑත් ඇඟිලි එක් කොට සාදරයෙන් වන්දනා කිරීමට සුදුසු වන සේක.
9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස - දෙව් මිනිසුන්ට උදාර පින්ඵල උපදවා දෙන
අනුත්තරීය පින්කෙත වන සේක.
එබඳු උතුම් ආර්ය මහා සංඝ රත්නය තමන්ගේ දිවි ගමනට ආලෝකය සලසාලන පිරිස ලෙස තෝරා
ගැනීමට ඔහු වාසනාවන්ත වුණා. ඔබටත් දිවි ගමනේ හොඳ ම තෝරාගැනීම සිදුකොට ජීවිත සුවපත්
කර ගන්න වාසනාව ලැබේවා. |