නිවන් අවබෝධයට
ඉන්ද්‍රිය සංවරය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
ඇස, කන, නාසාදී සය ඉන්ද්‍රියෝ දක්ෂ රථචාර්යකු විසින් මනාව දමනය කරන ලද ආජානේය
අශ්වයන් මෙන් දමනය කරන ලද්දෝ ද, ප්‍රහීණ වූ මානය ඇති, ආස්‍රව රහිත වූ, අටලෝදහමින්
නො සැලෙන, එවන් රහත්හුගේ දැක්ම දෙවියෝ ද, මිනිස්සු ද කැමැති වන්නාහ.
ඉන්ද්‍රිය හික්මවා ගැනීම නම් කුමක් ද? ඇසට රූපයක්. කනට ශබ්දයක්, නාසයට සුවඳක්, දිවට
රසයක්, කයට පහසක්, සිතට සිතිවිල්ලක් අරමුණුූ වන විට කැමැති අකැමැති වශයෙන් සිතෙහි
පහළවන රාගය - ද්වේෂය ඉපදීමට ඉඩ නො ලැබෙන පරිදි සංවර කර ගැනීම ය. මෙසේ හික්ම වූ
ඉඳුරන් ඇති රහතන් වහන්සේ එවන් අරමුණක් කුමන ඉන්ද්‍රියකට ආවත් කැමැති අරමුණක් අකමැති
අරමුණක් නො ගනී. එනිසාම ආශාවක් හෝ තරහක් හෝ උපදවා ගන්නේ ද නැත. යථාර්ථය දකී.
දක්ෂ රථාචාර්යා තම රථය උපද්‍රව රහිතව පදවාගෙන යෑමට නම් ඒ සඳහා යොදන අශ්වයා තළා පෙළා
නිසි සේ හික්මවා ගත්තකු විය යුතු ය. එමෙන්ම නො හික්මුණූු ඉඳුරන් නිසා බලගතු දුක්වලට
ගොදුරුවෙත්. මේ දුක් එක් අත්බවෙක පමණක් නොව සසර උපදින හැම අත්බවෙක වන්නේ ය. ඉඳුරන්
හික්මවා ගන්නා තෙක් ම වන්නේ ය. එහෙයින් බුදු වදන් ඇසූ ශ්‍රැතවත් නුවණැත්තෝ තමාගේ
ඇස්, කන්, නාස් ආදී ෂඩ් ඉන්ද්‍රියෝ ම හික්මවති.
මේ ඉන්ද්‍රිය සංවරය නිසා නව වැදෑරුම් මාන්නය ද දුරලන්නේ ම ය.
එපමණක් ද නොව සසර පුරා පැසව පැසවාගෙන ආ කාමාසව, භවාසව, දිට්ඨාසව (මිච්ඡාදිට්ඨි)
අවිජ්ජාසව නම් වූ කෙලෙස් සියල්ල ද ප්‍රහීණ කරත්ම ය.
ඉෂ්ට අනිෂ්ට දෙක්හිම නො සෙල්වෙන ගුණ ඇති, අටලෝ දහමින් කම්පා නොවන ආදී මහත් ගුණ
සළායතන හික්මවාගත් අරහතුන් වහන්සේ තුළ පවතී. නිවනෙහි සැප මේවා ය.
බෞද්ධ මවුපියන්ට දාව බෞද්ධ පවුලක අපි උපත ලබා ඇත්තේ පූර්ව කර්මයක බලවත් ම පුණ්‍ය
මහිමයකිනි. ඒ දුෂ්ට අටතැනකින් මිදීය. සැරියුත් - මුගලන්, ආනන්ද, කාශ්‍යප, උපාලි ආදී
මහ සඟරුවන හා බැඳි අවිච්ඡින්න (වර්තමාන) සඟ පරපුරත්, රට පාලනය කළ බෞද්ධ රජවරු මේ
සද්ධර්මය මෙතෙක් කල් රැකදීමත් බුද්ධෝත්පාද කාලය ලෙස මෙහිදි අපි දැන සිටිය යුතු
වෙමු. සද්ධර්මය අසා ඇති අපි තෙරුවන හා සද්ධර්මය පිළිබඳ අට තැනක සැක නැති ශ්‍රැතවත්,
ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෝ වෙමු. එහෙයින් ශ්‍රද්ධාව හා ඇරඹූ වීර්ය ඇති අය ලෙසින්
සතරමඟ – ඵල ලබන්නෝ බවට මේ ජීවිතයේ දී ම වෙර වඩන්නෝ වෙමු.
මෙසේ කළ හැක්කේ නම් ඒ තමා අපට කළ හැකි උත්තම බුද්ධ පූජාව.
රූප, ශබ්ද, ගන්ධ, රසාදී සළායතනවලට ගොදුරු වන රූප අරමුණුූ අශුභ (අනිත්‍ය) වශයෙන්
සලකමින් ඒ ඉන්ද්‍රිය හය සංවර කර ගනිමින් කෑමෙහි පමණ දැන, සැදැහැති ව, සම්පූර්ණ
වීරිය ඇති ව වසන පුද්ගලයා, ගල් පර්වතයක් වාතයට සෙලවිය නොහැක්කා සේ කෙලෙස් මාරයාගෙන්
මිදුනෙක් වෙත්.(නිවනට පත්වේ)
මහා කාත්‍යායන
මහරහතන් වහන්සේ
මේ මහා කාත්‍යායන තෙරුන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර ලොව පහළව සිටි පියුමතුරා
සම්බුදුන් වහන්සේ කාලයෙහි මහාසාර ගෘහපති කුලයක ඉපිද දහම් අසා පැහැදී සත් දිනක් පුරා
දන් දී කළ ප්‍රාර්ථනාවක් අනුව ගෞතම බුද්ධ ශාසනයෙහි දී අසූමහ ශ්‍රාවකයන් අතර
“සැකෙවින් දෙසූ දහමෙහි අරුත් විස්තර කොට බෙදා දක්වන ශ්‍රාවක භික්ෂුන් අතර අග තනතුර
ලැබූවෙකි.
තවද කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක ඉපිද ශාස්තෘන් වහන්සේ පිරිනිවන්
පෑ කල්හි ඒ වෙනුවෙන් තැනූ ස්වර්ණ චෛත්‍යයට ලක්ෂයක් වටිනා රන් උළු පූජා කොට, උපනූපන්
තන්හි මගේ සිරුර රන්වන් පැහැ වේවා’යි ප්‍රාර්ථනා කළේ ය. දිවි ඇති තෙක් තව තව කුසල්
කොට එක් බුද්ධාන්තරයක් පමණක් නොව පියුමතුරා බුදුරදුන් දවස සිට දෙවි මිනිසුන් අතරම
සැරිසරා අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උජ්ජයිනි නගරයෙහි පුරෝහිතයාගේ ගෙහි උපන්නේ
ය. ඔහුට නම් තබන දිනයෙහි, “මගේ පුතා රන්වන් සිරුරු ඇත්තෙකි. තමා විසින් ම තමාගේ නම
ගෙන ආවෙකියි” ඔහුට කඤ්චන (රත්තරන්) මානවකයායි නම් තැබූහ. පසුව ගෞතම සම්බුද්ධ
ශාසනයෙහි පැවිදි ව ධර්ම විනය වඩා මහා කච්චායන නමින් ද රහතුන් අතර බැබළුණ සේක්හ.
විසිහත් කෝටියක් ධනය වියදම් කොට විශාඛා මහා උපාසිකාව විසින් සාදවා පූජා කළ
පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයෙහි යට මහලෙහි මහා වස් පවාරණ දිනයක භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ රැස්වීම් ශාලාවේ පනවන ලද අගනා බුදු අසුනෙහි වැඩ සිටියේ දෙපස
අසුන්හි අසූ මහ ශ්‍රාවක මහා සඟ පිරිස ද වැඩම කොට අසුන් ගෙන සිටිය දී ය. මේ අතර මහා
කත්‍යායන මහතෙරුන් වැඩ සිටියේ අවන්ති රට ආරාමයක ය. එනිසා එම අසුන හිස්ව තිබුණි. මහා
කච්චායන තෙරුන් කො තැනක වැඩ සිටියත් බණ දෙසුම් ඇති වේලාවක් වේ නම් එහි අවුත් බණ
අසති. මේ තෙරහු ද මහා වස් පවාරණ දවස බැවින් වැඩමවීමට සූදානමින් සිටියහ.
මෙවන් දිනයක විශේෂ වටිනාකම් දැන සිටින ශක්‍ර දේවේන්ද්‍රයන් ද දෙව් පිරිස් පිරිවරා
සුවඳ මල් රැගෙන එහි සැපත් වී බුදුරජුන් හා අසූ මහ සවුවන් වැඳීම් පිදීම් කොට
එකත්පස්ව සිටියහ. මෙහිදී මහා කච්චායන තෙරුන්ගේ අසුන හිස්ව තිබෙනු දැක සක් දෙවිඳු
උන්වහන්සේත් මේ බුදු පාමොක් සඟ සභයට වැඩ අඩුව පිරිමසත් නම් ඉතා මැනවයි සිතූයේ ය. ඒ
තෙරුන් කෙරෙහි ඇති ඇල්ම නිසා ය. ඒ මොහොතෙහි ම මහා කාත්‍යායන තෙරුන් වැඩ බුදුරදුන්
නැමැද තම අසුනෙහි වැඩ උන්හ. ඒ වේලෙහි “සක්දෙවිඳු මා සිතූ ඇසිල්ලෙහි ම වැඩි නිසාම
ඉතා මැනව“යි සිතමින් තෙරුන් සමීපයට ගොස් වැඳ සිටියේ ය. මෙහිදී ඇතැම් (පෘථග්ජන)
භික්ෂුන් වහන්සේ සක් දෙවිඳුන් පූජා සැලකිලි බුහුමන් කරන්නේ මුහුණ බලා යැයි කීහ. මේ
ක්‍රියාව කො තරම් අයුතු දැයි ද කියන්නට වූහ.
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේගේ මේ කතාව අසා ‘මහණෙනි, එසේ නො කියන්න. ඔබලාගේ
අදහසත්, කතාවත් වැරැදි සහිත ය. චණ්ඩ අසුන් හික්මවන රථාචාර්යයකු මෙන්, සන්සිඳුණු
ඉඳුරන් ඇති, නව විධ මාන දුරැලූ, කෙලෙසුන් සුන් කළ, අටලෝ දහමින් නො සැලෙන, මැදහත්
ගති ඇති රහතුනට දෙවියෝ කැමැති වෙත් යැයි ඉහත සඳහන් ගාථාවෙන් දහම් දෙසූ සේක.
මහා කච්චායන තෙරහු දෙවියනට පමණක් නොව සියලු දෙනාට මැ සතොස වඩන්නේ යැයි ද වදාළහ.
ධර්ම දේශනාව අවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියෝ ය. |