සෝක සල්ලහරණ ධර්ම පර්යාය

සෝක සල්ලහරණ ධර්ම පර්යාය

“පඤ්චිමානි භික්ඛවේ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි

ඉත්ථියා වා පුරිසෙන වා ගහටෙඨන වා පබ්බජිතෙන වා”

ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි සෑම දෙනා විසින් ම නිතර සිහිකළ යුතු කරුණු පසක් ඇත.

එනම්,

1. මම ජරාව (මහලුවීම)

ස්වභාව කොට ඇත්තෙමි,

2. ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙමි.

3. මරණය ස්වභාව කොට ඇත්තෙමි,

4. මට සියලු පි‍්‍රයමනාපයන්ගෙන් වෙන් වෙන්නට සිදු වේ.

5. මා කර්මය ස්වකීය කොට, කර්මය උරුම කොට, කර්මය පිහිට කොට ඇති අතර, මා කරන පව්කම්වලට හා පින්කම්වලට මම අයිතිකාරයෙක් වන්නෙමි යන පසයි.

කවර අර්ථයක් සඳහා මේ කරුණු පස මිනිසුන් විසින් නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු වේ ද? මිනිසුන් තුළ තරුණ කාලයෙහි යෞවන මදය පවතී. එබැවින් ඔවුහු කයින්, වචනයෙන් හා මනසින් දුසිරිත් සිදු කරති. තමා මහලු වන ස්වභාවය ඇති බවත්, මහලුවීම නො ඉක්මවා සිටින බවත් සලකා බැලීමෙන් සර්වප්‍රකාරයෙන් ම යෞවන මදය පහව යෑම නැතහොත් තුනිවී යාම ධර්මතා වශයෙන් සිදුවේ.

එවිට ඔහු තිදොරින් පව් නොකරන්නේ ය.

එසේම “තමා ව්‍යාධිදම්ම” හෙවත් ලෙඩ රෝග සෑදෙන ස්වභාවය ඇති බව සලකා බලන විට තමා තුළ පවතින ආරෝග්‍ය මදය පහවීම හෝ තුනීවීම සිදුවන බවත් තමා “මරණ ධම්ම” මැරෙන ස්වභාවය ඇති බව සිහිකරන විට

තමා තුළ පවතින “ජීවිත මදය” නැතිවන බවත් ය.

“ජරාධම්මොම්හි ජරං අනතීතො, ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතො මරණ ධම්මොම්හි මරණං අනතීතො සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නා නා භා වා විනා භාවො, කම්මස්ස කෝම්හි කම්මදායාදෙනා කම්මයොනි කම්මබන්ධු කම්ම පටීසරණෙ, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීතී”

පි‍්‍රය මනාපයන්ගෙන් තමාට වෙන්වන්නට සිදුවන බව සලකා බලන විට පි‍්‍රයයන් පිළිබඳ ව තමා තුළ පවතින “ඡන්ද රාගය” හෙවත් ඇල්ම තුනීවී යන බවත්, තමා කරන පව්කම්වලට හා පින්කම්වලට තමා අයිතිකාරයා, උරුමක්කාරයා වන බව හිතනවිට තුන් දොරින් සිදුවන සියලු දුසිරිත් හෙවත් දස අකුසල් සර්වප්‍රකාරයෙන් ම නො සිදුවන බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ.

එසේම ආර්යය ශ්‍රාවකයා මේ කරුණු සලකා බලන ආකාරය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

එනම් “හුදෙක් මම පමණක් මහලුවන (ජරා) ස්වභාව ඇත්තේ නොවෙමි. ලොව මැරෙන උපදින සියලුම සත්ත්වයෝ මහලුවීම ස්වභාව කොට ඇත්තෝ ය. මහලුවීම, නො ඉක්මවූවෝ ය.

එසේම ව්‍යාධි මරණ ඇතිවන ස්වභාව ඇත්තෝ ය. ව්‍යාධි මරණ නො ඉක්ම වූවෝ ය. පි‍්‍රයමනාප අයගෙන් වෙන්වන ස්වභාව ඇත්තෝ ය. කර්ම ස්වකීය කොට, කර්මය දායාද කොට, කර්මය පිළිසරණ කොට ඇත්තෝ ය. ඔවුනොවුන් කරන කර්මවලට ඔවුනොවුන් ම උරුමක්කාරයෝ වන්නාහ යනුවෙන් ආර්ය ශ්‍රාවකයා කල්පනා කර ප්‍රත්‍යවේක්ෂා කර බලයි.

එයින් ආර්යය ශ්‍රාවකයාට මාර්ගය පහළ වන බවත්, එම මාර්ගය සේවනය, භාවිතය, බහුලීකරණය කරන බවත් එවිට සංයෝජනයන් පහව ගොස් අනුශය වශයෙන් පවතින කෙලෙස් නැසී රහත් භාවයට පත්වන බවත් වදාළහ.

මේ “ජරා, ව්‍යාධි, මරණ, පි‍්‍රය විප්‍ර යෝග කර්ම ස්වකතා” යන කරුණු ගිහි පැවිදි සියලු දෙනා විසින් ම නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව වදාළ බුදුන් වහන්සේ “මහලු නොවී සිටින්නට, ලෙඩ රෝග නොසැදී සිටින්ට, මරණයට පත්නොවී සිටින්නට, ක්ෂය වන දේ ක්ෂය නොවී පවත්වන්නට, නැසෙන සුලු දේ නොනැසී පවත්වන්නට කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයකුට, දෙවියකුට, මාරයකුට, බ්‍රහ්මයකුට නොහැකි බවත්, ඒවා “අලබ්භනීය” හෙවත් නොලැබිය හැකි ධර්ම බවත් වදාළහ.

මේ නොලැබිය හැකි කරුණු ලැබීමට පතන්නන් “ශෝක කිරීම, ක්ලාන්ත වීම, වෙහෙසට පත්වීම, වැලපීම, ළෙහි අත්ගසා ගැනීම, සිහිය නැති කර ගැනීම, නොකා නොබී සිටීම කර ගන්නා බවත්, එයින් තම වැඩකටයුතු පිරිහෙන අතර, එයින් සතුරන් සතුටට පත්වන බවත්, මිතුරන් අසතුටට පත්වන බවත් වදාළහ.

නිදසුනක් වශයෙන් මුණ්ඩරාජ කථාව දැක්විය හැකි ය. ඉන්දියාවේ පාටලීපුත්‍ර නගරයේ මුණ්ඩ රජුට භද්දා නමැති බිසවක් විය. ඇය ඉතා ම රූමත් විය. තරුණ ය. පි‍්‍රයමනාප ය. රජු ඈට ඉතා ආදරය කරයි. ඇය අකාලයේ මැරුණු විට රජු රෝගාතුර වී ආහාරපාන නොගෙන, නෑම පවා අත්හැර, රාජකාරී කටයුතුවල ද නොයෙදී මළ බිසවගේ සිරුරෙහි මුසපත්ව සිට තම කෝෂාරක්ෂකයා වූ පියක නමැති ඇමැතියා අමතා “භද්දා දේවියගේ මළ සිරුර තමාට බොහෝ කලක් බල බලා සිටිය හැකි සේ යකඩින් කළ තෙල් දෙණක බහා වසා තබන ලෙස” නියම කළේ ය.

ඇමැතියා ද, රජු කී ලෙසින් සියල්ල සිදු කොට ශෝකාතුර වූ රජතුමාට කවරකු ඇසුරු කිරීමෙන් සැනසිල්ලක් ලැබිය හැකි වේ දැ යි කල්පනා කෙළේ ය. මෙකල පාටලීපුත්‍ර නගරයේ කුක්කුමාරාමයේ වැඩ වසන නාරද මහ තෙරුන් ව්‍යක්ත බහුශ්‍රැත පණ්ඩිත වෘද්ධ රහත් තෙරනමක් වශයෙන් ප්‍රසිද්ධ බවත්, රජතුමාට උන්වහන්සේ හමුවන්නට සැලසුවොත් රජුගේ සෝකසල්ලය හෙවත් ශෝක නැමැති උල උදුරා සැනසිල්ලක් ලබා ගත හැකි වනු ඇති බවත් කල්පනා කොට රජුට ඒ ගැන දැනුම් දුන්නේ ය. රජු ද ඊට කැමැති වූ බැවින් පියක ඇමැතිවරයා නාරද මහ තෙරුන් කරා ගොස් මේ පුවත පවසා හමුවීමට සුදුසු වේලාවක් නියම කර ගෙන පිරිවර සහිත රජු සමඟ එහි ගියේ ය.

ගරු බුහුමන් දක්වා වැඳ නමස්කාර කර එකත් පසක හුන් රජුගෙන් සියලු තොරතුරු දැනගත් නාරද මහ තෙරුන් වහන්සේ බුද්ධ දේශිත යට කී “අලබ්භනීය” කරුණු පහ පැහැදිලි කරමින් ධර්මය දේශනා කළහ. දේශනාවසානයේ තමාගේ හද තුළ ඇනී තිබුණු ශෝක නමැති උල ඉදිරී ගියෙන් සතුටට පත් මුණ්ඩ රජතුමා මේ කිනම් ධර්ම පර්යායක් දැ යි නාරද තෙරුන්ගෙන් විමසී ය. මෙය “සෝක සල්ල හරණ ධර්ම පර්යාය” යි. යැයි කී විට ඇත්ත වශයෙන් ම මෙය ශෝකශල්‍යහරණයකි. මාගේ ශෝක නමැති උල ඉදිරී ගියේ යැයි සතුට ප්‍රකාශ කොට පියක ඇමැති අමතා “භද්දා දේවියගේ සිරුර දවන ලෙසත්, ඇයට ස්තූපයක් කරන ලෙසත්” නියම කොට, අද පටන් තමා නාන බවත්, ආහාර ගන්නා බවත්, රාජකාරී කටයුතුවල යෙදෙන බවත් ප්‍රකාශ කළේ ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරිණි.

ඉල් අමාවක

නොවැම්බර් 19 බදාදා
පූ.භා. 09.45 අමාවක ලබා
20 බ්‍රහස්පතින්දා
අ.භා 12.18න් ගෙවේ.
19 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]