සුවපත් මනසක් සුවබර දිවියක් - 34 කොටස: භාවනායෝගියාගේ සිහිය විනිශ්චයකරුවකුට සමානයි

සුවපත් මනසක් සුවබර දිවියක් - 34 කොටස:

භාවනායෝගියාගේ සිහිය විනිශ්චයකරුවකුට සමානයි

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

 

පාලි බසින් “සති” යන්නෙහි සිංහල තේරුම “සිහිය” යි. සිහිය ක්‍රියාකාරකමකි. සැබැවින් ම එය කුමක් ද? වචනයෙන් එය නිවැරැදි ව ප්‍රකාශ කිරීම අපහසු ය.

සිතේ සංකේතාත්මක මට්ටමෙන් වචන සෑදෙන අතර, සංකේතාත්මක චින්තනය වචනයන් විස්තර කරනු ලබයි. සිහිය පූර්ව සංකේතාත්මක අවස්ථාවයි. එය තර්කනයේ විලංගුවලට හසුවී නැත. කෙසේ වෙතත්, සිහිය වඩාත් පහසුවෙන් අත්දැකීමට හැකි වන අතර, “වචන” සඳ දෙසට දිගු කරන ඇඟිලි පමණක් බව මතක තබා ගන්නේ නම්, එය විස්තර කිරීමට පිළිවන.

වචන එම විස්තර කරන ද්‍රව්‍යය නොවෙයි. සත්‍ය අත්දැකීම වචනයට එපිටින් හා සංකේතයන්ට ඉහළින් පවතී. මෙහි පැහැදිලි කරනවාට වඩා සම්පූර්ණ වෙනස් පදවලින් ද සිහිය විස්තර කළ හැකි මෙන් ම ඒ සියල්ල නිවැරැදි වීමට ද ඉඩ තිබේ.

සිහිය යනු මේ මොහොතේ දී ඔබ භාවිත කරන ඉතා සියුම් ක්‍රියාවලියකි. වචනවලට එපිටින් පැවතුණු හේතුවෙන් එය අස්වාභාවික නොවේ. සත්‍ය වශයෙන් ම සිහිය වචන ඇතිකරන යථාර්ථය යි. පසුව හටගන්නා වචන යථාර්ථයේ මලානික සෙවනැලි වැනි ය. මෙතැන් පටන් පෙන්වා දෙන කරුණු සමාන කිරීම් බව වටහා ගැනීම වැදගත් ය. ඒවා අංග සම්පූර්ණ අර්ථ දැක්වීම් නොවේ. එය වාචික තර්කනයට එහායින් පවතී. නමුත් ඔබට එය අත්දැකීමට පුළුවන.

වසර දෙදහස් පන්සියයකට පෙර බුදුරදුන් විසින් හඳුන්වා දෙනු ලැබූ විපස්සනා භාවනා ක්‍රමය, නොකඩවා පවතින සිහිය අත්දැකීම සඳහා විශේෂයෙන් සැකසුණු මානසික ක්‍රියාවන් සමූහයකි.

ඔබ යම්කිසි දෙයක් පිළිබඳ දැනගත් විගස, ඔබ ඒ පිළිබඳ ව චිත්තරූප මවා ගැනීමට හෝ හඳුනාගැනීමට පෙර ක්ෂණයකින් ඇතිවන ශුද්ධ දැනීමක් ඇත. සාමාන්‍යයෙන් මෙය ඉතා කෙටි කාලයක දැනීමකි. එය, ඔබ යම් දෙයක් නෙත ගැටෙන මොහොතේ ම, යම් දෙයක් මත සිත රඳවන ක්ෂණයකින් හඳුනාගැනීමට පෙර, අනෙක් දේවලින් එය වෙන් කර ගැනීමට පෙර පවතින මොහොතයි. “ආ මේ බල්ලෙක්” යැයි දකින දෙය ගැන සිතීමට පෙර මෙය හටගනියි. එවන්, ඉලක්කයකින් තොරව, ගලායන ශුද්ධ දැනීමේ මොහොත සිහියයි. මෙම අසුරු සැණයක් වන් මොහොතේ දී ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් ලෙස ඔබට දැනෙනු ඇත. අනිකුත් යථාර්ථයන් සමඟ අත්වැල් බැඳගත් ඉන් වෙන් නොවූ මෘදු ලෙස ගලා යන ශුද්ධ දැනීමේ මොහොත ඔබ අත්දකිනු ඇත. ඔබගේ සාමාන්‍ය ඉලක්කගත වූ මධ්‍යම දෘෂ්ටියට පරිබාහිර ව නෙත අවටින් පෙනෙන පෙනීමට සිහිය සමාන කළ හැක. නමුත් යමක් දෙස බලා, එය හඳුනාගන්නා විට මෙම මෘදු කේන්ද්‍රගත නොවූ දැනීමේ ඇති ගැඹුරු දැනීම නැතිවී යයි. සාමාන්‍යයෙන් යමක් වටහා ගැනීමේ ක්‍රියාවලියේ දී මෙම සිහිය නො පෙනෙන තරම් වේගවත් ය. සම්ප්‍රජානනයේ අනෙකුත් පියවර වන හඳුනා ගැනීම, ලේබල ඇලවීම හා ඒ සම්බන්ධ වූ දීර්ඝ චිත්ත රූප මැවීම මත අපගේ අවධානය නාස්ති කිරීමට අපි හුරුපුරුදු වී සිටිමු. සිහියේ මුල්ම මොහොත වේගවත් ව ගෙවී යයි. විපස්සනා භාවනාවේ අරමුණ මෙම මොහොතක දැනීම දීර්ඝ කිරීමයි.

මෙම සිහිය, නිවැරැදි ක්‍රම, උපකාරයෙන් දීර්ඝ කර ගත්විට, එහි ගැඹුර කොතරම්ද යත්, විශ්වය පිළිබඳ ඔබගේ දැක්ම මුළුමනින් ම වෙනස් කරන බව ඔබට දැනෙනු ඇත. මෙවන් දැක්මක් නිතිපතා පුහුණුව තුළින් ම ඉගෙන ගත යුතු ය. ක්‍රමය ඉගෙන ගත් විට සිහියට විවිධ පැතිකඩ ඇති බව ඔබ දකිනු ඇත.

සිතිවිල්ලේ ප්‍රතිබිම්බය

සිහිය සිතිවිල්ලේ ප්‍රතිබිම්බයකි. එය කිසිම වෙනසක් නොමැති ව සිදුවෙමින් පවතින දෙය පමණක් පෙන්නුම් කරයි. එය පූර්ව නිගමනවලින් තොර ය.

සිහිය විනිශ්චයකින් තොර, නිරීක්ෂණය යි. එය විවේචනයකින් තොරව දෙයක් දැකීමට මනසේ ඇති හැකියාව යි. මෙම හැකියාවේ උපකාරයෙන් කෙනෙක් අප්‍රසාදයෙන් හෝ විනිශ්චයකින් හෝ තොරව දේ දකියි. එම පුද්ගලයා කිසිවකින් විශ්මයට පත් නොවෙයි. ඔහු දේවල් ස්වභාවික ව පවතින ආකාරය පිළිබඳ තුලිත උනන්දුවක් දක්වයි. එම පුද්ගලයා තීරණ හෝ තීන්දු හෝ නො ගනියි. හුදෙක්ම නිරීක්ෂණය කිරීමක් පමණක් කරයි. විද්‍යාඥයෙක් අන්වීක්ෂයෙන් යමක් දෙස බලා, පූර්ව නිගමනයකින් තොරව, පවතින දේ පමණක් දකිනවා මෙන් භාවනානුයෝගියා තම අත්දැකීම් නිරීක්ෂණය කරයි. “තීන්දු නො ගැනීම හා තීරණය නො කිරීම” යනුවෙන් අදහස් වන්නේ එයයි. මෙලෙසින් භාවනා පුහුණු වන්නා, අනිත්‍යය, දුක හා අනාත්ම බව දැක ගනියි.

අප තුළ විවිධ මානසික ස්වභාවයන් ඇතිවන බව නො පිළිගන්නේ නම්, ඇතුළත සිදුවෙමින් පවතින දේ අපක්ෂපාතී ව නිරීක්ෂණය කළ නොහැකි ය. විශේෂයෙන් අමිහිරි චිත්ත ස්වභාවයන් පිළිබඳව මෙය ඉතාමත් සත්‍ය කරුණකි. අප තුළ ඇති බිය දැක ගැනීමට නම් අප භය බව පිළිගත යුතු ය. අප තුළ අවපීඩනය පවතින බව පිළිගැනීමෙන් තොර ව එය බලාගත නොහැක. නොසන්සුන් බව, කලබලකාරී බව හා අනිකුත් අපහසුකාරී චිත්ත ස්වභාවයන් සම්බන්ධයෙන් ද එය එසේ ම ය. යම් දෙයක පැවැත්ම නොපිළිගන්නා ඔබට එය විමර්ශනය කළ නොහැක. සිහිය අප තුළ ඇති කුමන හෝ අත්දැකීම් පිළිගනියි. ඒවා ජීවිතයේ තවත් සිදුවීම් පමණකි. ආඩම්බරයක්, ලජ්ජාවක් හෝ පුද්ගලිකත්වයක අවදානමක් හෝ නැත. එහි ඇත්තේ පවතින දෙය පමණක් ම ය.

සිහිය අපක්ෂපාතී නිරීක්ෂණය යි. එය පැත්තක් නො ගනියි. එය දකින දෙයෙහි එල්බ නො ගනියි. එය දකිනවා පමණි. යහපත් චිත්ත ස්වභාවයන් නිසා සිහිය එයින් මත් නොවෙයි. අමිහිරි චිත්ත ස්වභාවයන් මඟ නො හරියි. ප්‍රසන්න දෙයෙහි ඇලීමක් හෝ අප්‍රසන්න දෙයින් පලායෑමක් නැත. සිහිය සෑම අත්දැකීමක්, සිතිවිල්ලක් හා හැඟීමක් එක හා සමාන ව සලකනු ලබයි. කිසිවක් සඟවන්නේ නැත. කිසිවක් මැඩ පවත්වන්නේ නැත. කිසිවකට විශේෂ සැලකීමක් ද නො කරයි.

සිහිය සංකල්පනාවෙන් තොර දැනීමයි. තවත් වචනයකින් කිවහොත් එය පිරිසිදු අවධානය යි. එය සිතීම නොවෙයි. එය සිතිවිලි හෝ සංකල්ප හෝ සමඟ සම්බන්ධකම් ඇතිකර නො ගනියි. එය අදහස්, මතිමතාන්තර හෝ මතකයන් කෙරෙහි ඇල්මක් ඇති කර නො ගනියි. එය දකිනවා පමණි. සිහිය, අත්දැකීම් සංසන්දනයෙන් තොරව සටහන් කර ගනියි. ඒවා නම් කිරීමක් හෝ ගොනු කිරීමක් නොකරයි. සෑම දෙයක් ම පළමුවරට සිදුවෙන්නාක් මෙන් එදෙස බලා සිටියි. එය මතකය හෝ මෙනෙහි කිරීම මත සිදුවන ලක්ෂණයක් නොවේ. එය සිතිවිලි මාධ්‍යයෙන් තොර සිදුවෙමින් පවතින්නා වූ දේවල ඍජු හා ක්ෂණික අත්දැකීමයි. සම්ප්‍රජානන ක්‍රියාවලියේ සිතිවිලිවලට පෙර සිහිය පැමිණෙයි.

සිහිය වර්තමාන මොහොත පිළිබඳ දැනීමයි. එය දැන් මෙතැන දී ම සිදුවෙයි. මේ මොහොතෙහි සිදුවන දේ නිරීක්ෂණය යි. එය නිරතුරුව ගෙවී යන මොහොතේ මුළුමනින් ම සිටියි. දෙවන ශ්‍රේණියේ ගුරුතුමිය ඔබගේ මතකයට නැඟේ නම් එය මතකයකි. එවිට දෙවන ශ්‍රේණියේ ගුරුතුමිය මතක් වූ බව දැන ගැනීම සිහිය යි. එම ක්‍රියාවලිය සිහියට නඟන ඔබ “ආ මම මතක් කරමින් සිටිමි” යැයි ඔබට ම පවසනු ඇති නම් එය සිතීමයි.

සිහිය මමත්වයෙන් තොර පරීක්ෂාකාරී බවයි. තමා පිළිබඳ සම්බන්ධයක් නැති ව එය සිදුවෙයි. “මා”, “මගේ”, හෝ “මම” හෝ යන සංකල්ප නොමැති ව සෑම දෙයක් ම සිහියෙන් දැකීමයි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙහි වේදනාවක් හටගත්තා යැයි සිතමු. සාමාන්‍ය විඥානය (උඩු සිත) “මගේ පාදය රිදෙනවා” කියයි. සිහිය පාවිච්චි කරන පුද්ගලයා එම හැඟීම සංවේදනයක් ලෙස පමණක් සනිටුහන් කර ගනියි. “මම” යන සංකල්පය එයට එකතු නො කරයි. සම්ප්‍රජානනයට කිසිවක් එකතු කිරීමට හෝ එයින් කිසිවක් අඩු කිරීමට සිහිය ඉඩ නො දෙයි. කිසිවක් වැඩි දියුණු කිරීමක් නො කරයි. කිසිවක් අවධාරණය නො කරයි. විකෘති කිරීමකින් තොර ව ඇති දේ ඇති සැටියෙන් දකියි.

සිහිය, සිදුවන වෙනස්වීම දැන ගැනීමයි. එය ගලාගෙන අත්දැකීම් ප්‍රවාහය නිරීක්ෂණය කරයි. දේ වෙනස් වෙද්දී ඒ දෙස බලා සිටියි. එය සෑම සිද්ධියක ම උපත, වැඩීම හා පරිණත භාවය දෙස බලා සිටියි. සංසිද්ධීන් ජරාවට ගොස් මරණයට පත්වීම දෙස එය බලා ඉඳීයි. මොහොතින් මොහොත නො කඩවා දේ දෙස බලා සිටීම සිහියයි. වර්තමානයේ සිත තුළ සිදුවෙමින් පවතින සෑම භෞතික, මානසික හා ආවේගාත්මක සංසිද්ධීන් ම එය නිරීක්ෂණය කරයි. වාඩිවී සංදර්ශන බලා සිටියි. සිහිය යනු අස්ථිර සංසිද්ධීන්ගේ ස්වභාවය නිරීක්ෂණය යි. දෙයක් ඇතිවී නැතිවී යන අන්දම දෙස එය බලා සිටියි. එය, යමක් අපට හැඟීම් ඇති කරන අන්දම හා අප ඒවාට ප්‍රතිචාරය දක්වන ආකාරය දෙස බලා හිඳීයි. අභ්‍යන්තර විශ්වයෙහි නො කඩවා ගලා යන සංදර්ශනය පිළිබඳ ව සනිටුහන් කර ගැනීම සිහියෙන් පසුවන්නාගේ එකම රාජකාරිය යි.

කරුණාකර අවසාන කරුණ සනිටුහන් කර ගන්න. සිහියෙන් සිටින විට යමෙක් තුළ පවතින අභ්‍යන්තර විශ්වය නිරීක්ෂණය කරයි. සිහිය දියුණු කර ගනිමින් සිටින භාවනානුයෝගියා පිටස්තර ලෝකය පිළිබඳ සැලකිල්ලක් නො දක්වයි. එය පවතින නමුත් තමාගේ ම අත්දැකීම්, තමාගේ සිතිවිලි, තමාගේ දැකීම් භාවනානුයෝගියාගේ අධ්‍යයන ක්ෂේත්‍රය යි. භාවනාවේ දී තමා තමාගේ ම විද්‍යාගාරය යි. පිටස්තර ලෝකය හා අනෙකුත් කරුණු සම්බන්ධ ප්‍රතිබිම්බ ඇතුළත් විශාල තොරතුරු සම්භාරයක් අභ්‍යන්තර ලෝකයේ අඩංගුයි. මෙම තෙරතුරු විභාග කර බැලීම විමුක්තියට හේතු වෙයි.

සිහිය යනු සහභාගික නිරීක්ෂණය යි. භාවනානුයෝගියා සහභාගිවන්නා හා නිරීක්ෂකයා යන ද්විත්ව භූමිකාවන් රඟ දක්වයි. යමකුට දැනෙන භෞතික හෝ මානසික හෝ සංවේදනා ඒ මොහොතේ දී ම නිරීක්ෂණයට බඳුන්වෙයි. සිහිය බුද්ධිමය දැනීමක් නොවේ. එය සරල දැනීමයි. සිහිය අපක්ෂපාතී වුව ද එය අකාරුණික අනුකම්පා විරහිත දෙයක් නොවේ. එය ජීවන ක්‍රියාවලිය පිළිබඳ අවදිමත් අත්දැකීමකි. සුපරීක්ෂාකාරී සහභාගීත්වයකි.

සිහිය වචනයෙන් විස්තර කිරීම ඉතාමත් අසීරු කාර්යයකි. ඒ එය සංකීර්ණ නිසා නොව එය ඉතා සරල හා විවෘත නිසාවෙනි. සෑම ජීවන අත්දැකීමක දී ම මේ සමාන ගැටලු මතුවෙයි. ඉතා සරල සංකල්ප තහවුරු කර ගැනීම හැමවිට ම ඉතා අසීරු ය. මේ බව සනාථ කරන, පැහැදිලි උදාහරණ ශබ්ද කෝෂයකින් ඔබට දැකගත හැකියි. දීර්ඝ වචන සඳහා සාමාන්‍යයෙන් ලුහුඬු හැඳීන්වීමක් ඇති අතර, කෙටි වචන සඳහා පිටුගණන් දිග හැඳීන්වීම් ඇත. භෞතික විද්‍යාවේ දී පැහැදිලි කිරීමට අසීරු ම කාර්යය වන්නේ මූලික සිද්ධාන්ත යි. කොන්ටම් යාන්ත්‍රණයේ වඩාත් මූලික කරුණ ඊට උදාහරණයකි. සිහිය පූර්ව සංකේත ක්‍රියාකාරිත්වයකි. මුළු දිනක් පුරා වචන සංකේත සමඟ හරඹ කළ ද එය සම්පූර්ණයෙන් නිවැරැදි ව ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් එය සිදුකරන දෙය ප්‍රකාශ කළ හැකියි.

මූලික කාර්යයන්

සිහියට මූලික කාර්යයන් තුනක් ඇත. ඒවා එම පදයේ ක්‍රියාකාරීත්වය අර්ථ දැක්වීම් ලෙස භාවිත කළ හැකි ය.

සිහිය අප කරමින් සිටිය යුතු කාර්යය මතක් කර දෙයි.

එය පවතින දේ ඒ ආකාරයෙන් ම දකියි.

එය සෑම සංසිද්ධියක ම සත්‍ය ස්වභාවය දකියි.

වැඩි විස්තර සහිතව ඒවා විමසා බලමු.

කළ යුතු දෙය මතක් කර දෙයි

භාවනාවේ දී ඔබ අවධානය යොමු කරන්නේ එක දෙයක් කෙරෙහි පමණි. මෙම ඉලක්කයෙන් ඉවත්ව ඉබාගාතේ සිත යන විට, ඒ බවත්, ඔබ කරමින් සිටිය යුතු දෙය පිළිබඳවත් මතක් කරන්නේ සිහිය යි. භාවනා අරමුණට ඔබගේ අවධානය නැවත රැගෙන එන්නේ සිහිය යි. අභ්‍යන්තර දෙ බසකින් තොරව මේ සියල්ල ක්ෂණයකින් සිදු වෙයි. සිහිය සිතීම නොවේ. නැවත නැවතත් පුහුණුවීමෙන් මෙම ක්‍රියාකාරීත්වය මානසික පුරුද්දක් ලෙස ස්ථාපිත කරගත් පසු ජීවිතයේ අනෙකුත් අංගයන්ට ද එය රැගෙන යයි. පළපුරුදු භාවනානුයෝගීන් වාඩි වී භාවනා කිරීමේ දී පමණක් නොව මුළු දිනය පුරා ම පිරිසුදු අවධානය සෑම සිදුවීමක් සඳහා ම ලබා දෙයි.

එය, අවුරුදු හෝ දශක ගණනක් මුළුල්ලේ භාවනාවේ යෙදෙන්නන් ළඟා කර ගැනීමට තැත්කරන උසස් අරමුණකි. අපගේ සිතිවිලිවල සිරවී සිටීමේ පුරුද්ද වසර ගණනක් පැරැණි බැවින් එය දැඩි ලෙස එසේ ම එල්ලී සිටිනු ඇත. ඒ පමණට ම දැඩි බවකින් නො කඩවා සිහිය පවත්වා ගැනීම තුළින් පමණක් ඔබට එයින් මිදීමට පිළිවන. සිහිය පවතින විට ඔබ සිතිවිලිවල හිරවෙන අවස්ථාව ඔබට දැකගත හැකියි. සිතිවිලි ක්‍රියාවලියෙන් මඟ හැර ඔබ ව මුදවා ගැනීමට ඉඩ සලසා දෙන්නේ ද මෙම දැනීමයි. එවිට සිහිය ඔබ ව නියම අරමුණ කරා ගෙන යනු ඇත. එම වේලාවේ ඔබ භාවනාවේ යෙදෙමින් සිටියි නම් ඔබගේ ඉලක්කය භාවනා අරමුණයි. විධිමත් භාවනාවේ නොයෙදෙන අවස්ථාවක දී නැඟී එන සෑම දෙයක් ම පිරිසිදු අවධානයෙන් යුතු ව දැකීමයි. “ආ දැන් මේක... ආ දැන් මේක....”

සිහිය, පිරිසුදු අවධානය සහ පිරිසුදු අවධානය නොයොදන අවස්ථාවේ දී එසේ කිරීමට අපට මතක් කර දෙන ක්‍රියාව යන දෙක ම වෙයි. පිරිසුදු අවධානය යනු යමක් සනිටුහන් කිරීමයි. එය නො පවතින විට ඒ බව දැක නැවත එය පිහිටුවා ගනියි. පිරිසුදු අවධානය නොමැති බව සනිටුහන් වූ මොහොතේ ම ඒ බව දැකීම ම පිරිසිදු අවධානය යි. එවිට ඔබ නැවත පිරිසිදු අවධානය කරා යොමු වී ඇත.

සිහිසවිඥානය මත, එයට ම සුවිශේසී වූ දැනීමක් නිර්මාණය කර ගනියි. එය සැහැල්ලු පැහැදිලි, ශක්ති සම්පන්න හැඟීමකි. සංසන්දනාත්මක ව ගත් කල සිතිවිල්ල බරකින් යුක්ත ය. කල්පනා කරන සුළු හා සතුටු කිරීමට අපහසු ය. නමුත්, මේවා ද හුදෙක් වචන පමණක් ම ය. ඔබගේ පුහුණුව මෙහි වෙනස පෙන්වා දෙයි. එවිට, සමහරවිට, ඔබට තමාගේ ම වචනයෙන් එය විස්තර කිරීමට හැකි වනු ඇති අතර, මෙහි සඳහන් වචන තේරුම් රහිත වනු ඇත. පුහුණුව ප්‍රධාන ම දෙය බව මතක තබා ගන්න.

ඉල් අමාවක

නොවැම්බර් 19 බදාදා
පූ.භා. 09.45 අමාවක ලබා
20 බ්‍රහස්පතින්දා
අ.භා 12.18න් ගෙවේ.
19 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]