ඇතිවී නැතිවී යන සිතිවිලි ධර්ම නුවණින් දකින්න

ඇතිවී නැතිවී යන සිතිවිලි ධර්ම නුවණින් දකින්න

සසර යනු සත්ත්වයා ජාති, ජරා, මරණ ආදී දුක් වේදනාවන් විඳීමින් යන දිගු ගමනක් වේ. තමාගේ සසර ගමනේ ආරම්භය සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර, අන්කිසිවෙක් නොදනිති.

හටගන්නා කර්මවල විපාක, ප්‍රතිසන්ධි සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් විපාක දෙමින් සත්ත්වයා සසරේ සැරිසරවයි. ඉන්ද්‍රියයන් ඔස්සේ අරමුණු ගැනීම හිස් වූ දෙයක් බවත්, එසේ වුවත් අවිද්‍යාව සහ අයෝනිසෝ මනසිකාරය හේතුවෙන් අරමුණු ගැනීම නිසා සංස්කාර රැස්වීම, බුද්ධ දේශනාව තුළින් කියාදෙනු ලබනවා.

ඇස, කන, නාසය, දිව, කය, මනස ඔස්සේ සිදුවන ක්‍රියාවලිය නතර කිරීමට එනම්, තවදුරටත් සංස්කාර රැස් කිරීම නතර කිරීමට බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ යෝනිසෝමනසිකාරයෙන් අරමුණූ පැමිණි විට ඒ කෙරෙහි නොඇළී උපේක්ෂාවෙන් යුතුව දැකිය යුතු බවයි. පැමිණෙන අරමුණු පිළිබඳ ව උපේක්ෂාවෙන් දැකිය යුතු වීමට හේතුව ශුන්‍යතාව යන සංකල්පය මඟින් උන්වහන්සේ පැහැදිලි කොට වදාළහ.

ඇස

ඇස යන්න, තමාගේ සිත තුළ තිබෙන සංඥාවක් පමණක් වෙනවා. තමාගේ ඇස කෙරෙහි මෙන් ම අනුන්ගේ ඇසක් ගැන තණ්හාවක්, මානයක්, දිට්ඨියක්, ආශාවක් ඇති වෙනවා නම්, ඒවා ජනිත වන්නේ, බාහිර රූපයේ නොව තමාගේ සිත තුළ ම වෙනවා. ඇස එක රූප කොටසක්. ඇස කියන සංඥාව, සිත තුළ තිබෙන දෙයක් විනා ඇසේ තිබෙන ධර්මයක් නොවෙයි. ඇස තුළ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු ගොඩවල්. මේ ලෝකයේ අජීවී සජීවී සෑම රූප ධර්මයක් ම සෑදී තිබෙන්නේ, මේ මූල ධාතු හතරෙන්. ඇස තුළ මේ මූල ධාතු හතර සහ ඒ මූල ධාතු හතර නිසා ඇතිවන උපාදාය රූපයත් තිබෙනවා. ඒ උපාදාය රූපය චක්ඛු ප්‍රසාද රූපය ලෙස හඳුන්වනවා.

පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන ධාතුත් සිත තුළ තිබෙන සිතිවිලි ධර්මයන්. මේ සිතිවිලි ඇතිවී, ඇතිවී නැතිවී නැතිවී යන ධර්මයන්. සිතේ ස්වරූපය එයයි.

කයේ ස්වරූපයත් වහ වහා බිඳී බිඳී යන එකක්. ඇස ගැන යම්තාක් සිතුවිලි ඇතිකර ගත්තා නම්, ඒ සෑම සිතිවිල්ලක් ම තමාගේ සිත තුළ තිබෙන දෙයක් විනා එය ඇස කියන රූප කොටස තුළ විද්‍යමාන වන එකක් නොවෙයි. ඇස පිළිබඳ ව පහළ වන සෑම සිතිවිලි ධර්මයක් ම ඇතිවී, ඇතිවී නැතිවී, නැතිවී යන චිත්ත ප්‍රවාහයක්. ඇත්තේ සිතිවිලි දාමයක් පමණයි. ඒ සියලුම සිතිවිලි ඇතිවී, නිරුද්ධ වී යන නිසා, සිතින්, ප්‍රඥාවෙන් මේ චිත්ත ප්‍රවාහය දෙස බැලුවොත්, සිතිවිලි ධාරාව තුළ සත්ත්වයෙක්, ආත්මයක් වශයෙන් ගන්නට කිසිවක් ඉතිරි වන්නේ නැහැ. සිතේ පහළ වන සිතිවිලි මම ය, මගේ ය කියලා සිතුවත්, ඒ සිතිවිලි නැති වුණාට පස්සේ මම කියලා, මගේ කියලා ගන්නට කිසිවක් ඉතිරි වන්නේ නැහැ. මේ අනුව බැලුවා ම කලින් සම්පූර්ණයෙන් ඇසක් ලෙස දිස් වුවත් එය සම්පූර්ණයෙන් හිස් වූ ධර්මයක්. තමාගේ වසඟයේ තබා ගත හැකි යමක් නොවේ.

රූප

ඇසට පෙනෙන බාහිර රූප ද සත්‍ය වශයෙන් ම විදමාන නො වන ශූන්‍ය ධර්මයන් වෙනවා. ඇසට පෙනෙන රූප බැලීමේ දී සිදුවන ක්‍රියාවලිය, තමාගේ සිත තුළ නාම ධර්ම, සිතිවිලි සමූහයක් ඇති වී නැති වී යාම පමණයි.ඒ නාම ධර්ම තමා ඇතිකර නො ගත්තේ නම්, බාහිර රූපවල කිසිම වටිනාකමක් නැහැ. මේ අනුව බලන විට ලෝකයේ තිබෙන රූප දකිනවා යන්නෙන් සත්‍යය වශයෙන් ම අදහස් වන්නේ තමාගේ සිත තුළ නාම ධර්ම සමූහයක් ඇතිවී නැතිවී යාම පමණයි. මම ය, මාගේ ය කියා ගත හැකි කිසිවක් නැහැ.

චක්ඛු විඤ්ඤාණය

ඇසට රූපය පෙනීමෙන් පසුව, දුටු රූපය පිළිබඳ දැනීමක් ඇතිවනවා. ඇස නිසා පහළ වන චක්ඛු විඤ්ඤාණ සිතිවිලි, ඇති වූ විගස නැතිවී යනවා. මම වශයෙන්, මගේ වශයෙන් හෝ ආත්මයක් වශයෙන් හෝ ගන්න කිසිවක් ඉතිරි වන්නේ නැහැ.

ජීවිතය පුරා අපි කොපමණ ඇසින් රූප දැක, සිතුවිලි ඇති කර ගන්නට ඇද්ද? නමුත් අද ඒ සිතිවිලි දෙස ආපසු හැරී බැලුවහොත් ඒවා කිසිවක් ඉතිරිවී නැහැ. මේ නිසා චක්ඛු විඤ්ඤාණ සිත ද ශූන්‍යය වෙනවා. චක්ඛු විඤ්ඤාණ සිතිවිලි ද, මම ය, මාගේ ය කියා ගත නොහැකි වෙනවා.

චක්ඛු සම්ඵස්සය ශූන්‍යයයි

ඇස, රූපය සහ චක්ඛු විඤ්ඤාණය යන තිදෙනාගේ එකතුව චක්ඛු සම්ඵස්සය ලෙස හඳුන්වනවා.

චක්ඛු සම්ඵස්සය යනු එකිනෙක වෙන් කළ නොහැකි සේ චක්ෂූ විඤ්ඤාණය හා සැදී, එහි ම අංගයක් ව චක්ඛායතනය ඇසුරු කොට, රූපායතනය අරමුණු කොට උපදනා වූ එක්තරා චෛතසික ධර්මයක් වෙනවා. කලින් පැහැදිලි කළ ආකාරයට, ඇස ශූන්‍ය නම්, රූප ශූන්‍ය නම්. චක්ඛු විඤ්ඤාණය ශූන්‍ය නම්, මේ ත්‍රිත්වයේ එකතුව වන චක්ඛු සම්ඵස්සයට පිහිටා සිටීමට තැනක් නොමැති නිසා, එයත් ශූන්‍ය වෙනවා. මම ය, මාගේ ය කියා ගත හැකි කිසිවක් නොමැති, සම්පූර්ණයෙන් ම ශූන්‍ය වූ, හිස් වූ ධර්මයක් වෙනවා.

වේදනාව

චක්ඛු සම්ඵස්සය නිසා සුඛ, දුක්ඛ හෝ මැදහත් වශයෙන් වූ, යම් වේදනාවක් ඇති වේ නම්, ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් හෝ එහි නැති නිසා එයත් ශූන්‍ය වෙනවා. වේදනාව ඇතිවී, පැවතී, නැතිවී යනවා. ආත්මයක් යැයි ගැනීමට කිසිවක් ශේෂ වන්නේ නැහැ. වේදනාව, මගේ වේදනාව යැයි සිතන්නේ නම්, එයත් තමාගේ සිත තුළ පවතින හුදු දැනීම් මාත්‍රයක් පමණක් වෙනවා. මේ ආකාරයට, ඇතිවන නාම ධර්ම නැතිවී යන නිසා ම වේදනාව යන්නත් ශූන්‍ය ධර්මයක් වෙනවා.

ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු

ඇස පිළිබඳ ව කරුණු පහක් ගෙන හැර දැක්වූවා. මේ හැම එකක් ම තමාගේ සිත තුළ පහළ වන නාම ධර්ම පමණක් බව සඳහන් කළා. ඇස තමාගේ සිත තුළ තියෙන සිතිවිලි ධර්ම ටිකක් පමණයි. ඇසට පෙනෙන තමන්ගේ හෝ බාහිර හෝ රූප ඕනෑ එකක් නාම ධර්මයක් පමණයි. චක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්ඵස්සය යන ඒවාත් හුදු නාම ධර්ම හැර අන් කිසිවක් නොවෙයි. චක්ඛු සම්ඵස්සය නිසා වේදනාවක් ඇති වුණා නම්, එයත් විඳීම් මාත්‍රයක්, නාම ධර්මයක් හැර අන් කිසිවක් නොවෙයි.

මේ සියල්ල එක්ව සැලකූ කල, ඇස සම්බන්ධ මේ කොටස් සියල්ලෙන් වන්නේ නාම ධර්ම සමූහයක් ඇතිවී, පැවතී, නැති වීමයි. එලෙස, ඇතිවී, පැවතී, නැතිවී යන ඒ ධර්මවල ආත්ම වශයෙන් හෝ ආත්මයට අයත් දෙයක් වශයෙන් ගන්නට කිසිවක් නැති නිසා, සියල්ල ම ශූන්‍ය යි, හිස්. අනෙක් ඉන්ද්‍රියයන් ගැනත් සිතිය යුත්තේ මෙලෙසින් ම යි. කනට, නාසයට, දිවට, කයට, මනසට වශයෙන් වූ අනෙකුත් ඉන්ද්‍රියයන් හා අදාළවත් සිතිවිලි ධර්ම ඇතිවී ඇතිවී නැතිවී, නැතිවී, යෑම හැර, ආත්ම වශයෙන් හෝ ආත්මයට අයත් දෙයක් වශයෙන් හෝ ගන්නට කිසිවක් ඇත්තේ නැහැ. සියල්ල ඇති වූ සැණින් නැතිවී යනවා. සියල්ල ම අනිත්‍ය යි. සිතිවිලි ආශ්‍රිත ව ඇතිවන හුදු ක්‍රියාවලියක් පමණයි.

ඇසින් රූපයක් දකින විට ඒ හා සම්බන්ධ වන ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, සම්ඵස්සය, වේදනාව ආදී සියල්ල පෙර නො තිබීම ඇතිවී, පැවතී වහා නිරුද්ධ වන ධර්මයන් බව ඉහත පැහැදිලි කළා. එහි මම ය, මාගේ ය කියා ගත හැකි කිසිවක් නොමැති බව ද පැහැදිලි කළා. නමුත් මෙම ක්‍රියාවලියේ දී හටගන්නා වේදනාව නිසා ඇතිවන ලෝභ, ද්වේශ සහ මෝහ ආදී කෙලෙස් ධර්මයන්, කුසල, අකුසල කර්ම සහ කර්ම පථ බවට පත් වෙනවා. එම කර්ම, කර්ම පථවල විපාක, ප්‍රතිසන්ධි සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් පැමිණීමෙන් සත්ත්වයා මේ භයානක සංසාරයෙහි සැරිසරවනවා. එබැවින් මෙම ක්‍රියාවලිය තුළදී, ලෝභ, ද්වේශ, මෝහ ආදී කෙලෙස් ධර්ම ඇති නොවන පරිදි යෝනිසෝ මනසිකාරයෙන් පැමිණෙන අරමුණු දෙස බැලිය යුතු වෙනවා.

සිතිවිලි පාලනය කිරීම

බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව සිතිවිලි පාලනය කර ගැනීමට සිදු වන්නේ සිත කිළිටි කරන, සිත අපිරිසුදු කරන ධර්ම චිත්තාභ්‍යන්තරයෙහි ගොඩනැඟෙන නිසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය මාර්ගයට හා ඵලයට ප්‍රවිෂ්ට වූවන්ට හැර අනාර්ය තත්ත්වයෙහි සිටින සියලු දෙනාට සිතිවිලි පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවයි. ඒ සඳහා උත්සාහය, එළඹ සිටි සිහිය, ඉඳුරන් දමනය කර ගැනීම, නුවණින් විමසා බැලීම සහ දැහැමින් දිවි පැවැත්වීම ආදිය අප්‍රමාදී ව සිදුකළ යුතු වෙනවා.

රූප දැකීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන, ඇස ශූන්‍ය යි. ඇසට පෙනෙන රූප ශූන්‍ය යි. චක්ඛු විඤ්ඤාණය ශූන්‍ය යි. අනතුරුව චක්ඛු සම්ඵස්සය ඇති වනවා. එයත් ශූන්‍ය යි. එයින් වේදනාව ඇතිවනවා. වේදනාවත් ශූන්‍ය යි. මේ වේදනාව හුදු වේදනාවක් පමණක් නොවෙයි. වේදනාවක් ඇති වූ පසු පහළ වන ලෝභ, ද්වේශ, ආදී යම්තාක් සිතුවිලි ධර්මත්, වේදනාව ශුන්‍ය යි යන්නට අයත් වෙනවා. මේ සියල්ල ම නිසා, සිතුවිලි ධර්මයක් ඇතිවීම, නැතිවීම හැර වෙන කිසිවක් සිදුවන්නේ නැහැ. මේවා කොයි ආකාරයෙන් තණ්හාවෙන්, මානයෙන්, දිට්ඨියෙන් ගත්තත්, උපාදාන කළත්, මම කිව්වත්, මගේ කිව්වත්, මගේ ආත්මය කිව්වත් කවර ආකාරයකින් ග්‍රහණය කළත් මේ සෑම එකක් ම හුදු සිතුවිලි ධර්ම ටිකක් ඇතිවී නැතිවී යෑම හැර අන් කිසිවක් නොවෙයි. හුදු ක්‍රියාවලියක් පමණක් වෙනවා.

ඉල් අමාවක

නොවැම්බර් 19 බදාදා
පූ.භා. 09.45 අමාවක ලබා
20 බ්‍රහස්පතින්දා
අ.භා 12.18න් ගෙවේ.
19 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]