සීතාවකපුර ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ බෙරන්නාවේ
විමල නාහිමියෝ
පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරය, ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමය යන උභය
විහාරාධිපති බෙරන්නාවේ විමල නා හිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා
සංඝ සභාවෙන් පිරිනමන කොළඹ මහ දිසාවේ සීතාවක පුර සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. ඒ
පිළිබඳ සන්නස් පත්‍රය පිරිනැමීම නොවැම්බර් 08 වැනි දා සිදු කෙරිණි.
බුද්ධ පුත්‍රයන් වහන්සේ සසුනඹරේ දිලෙන සුපුන් සඳ සේ ය. එවන් වූ යතිවරයාණන් වහන්සේ
නමක් වන බෙරන්නාවේ විමල නා හිමියෝ ද සුවිශේෂී ගුණාංගයන්ගෙන් සුපෝෂිත ය. උන්වහන්සේ
සුපටිපන්න ය. උජුපටිපන්න ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙරන්නාව සීපෝන් ජනපදය විමල නා හිමියන්ගේ ජන්ම භූමිය විය.
1961 සැප්තැම්බර් 22 වනදා කේ.ආර්. කරුණාසේන යන නමින් උපත ලැබූ උන්වහන්සේ සහෝදර
සහෝදරියන් හය දෙනකුගෙන් යුත් පවුලේ පස්වැන්නා ය. මේ කුල කුමරුගේ පියාණන් වහන්සේ
කේ.ආර්. පුංචි බණ්ඩා ය. අයි.එම්.පුංචි මහත්මිය මෑණියන් වූවා ය.
වසර දහතුනක මූලික පාසල් අධ්‍යාපනයෙන් පසුව ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති ව වැඩ
විසූ පූජ්‍ය දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ මැදිහත්වීමෙන් පාදුක්ක ශ්‍රී මහා
විහාරස්ථානයට පැමිණි මෙම කුල කුමරු 1974 ජුනි මස 20 වැනි දා උතුම් පැවිදි දිවියට
පත් වූ සේක.
පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථ විද්‍යාචන්ද්‍ර පිරිවෙන් විහාරය
හා පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම උභය විහාරාධිපති ව වැඩ විසූ ධර්මධර විනයධර
මණ්ඩාවල ශ්‍රී සෝරත හිමියන් වෙතින් “බෙරන්නාවේ විමල” නමින් පැවිදි දිවියට පත් වූහ.
ඉතා දක්ෂ ලෙස සිප් සතර හැදෑරූ මෙම කුල කුමරුගේ සසර පිරූ පාරමී ගුණයක් සේ දසුන
පින්බර ය. පැවැත්ම සංවර ය.
මූලික පිරිවෙන් අධ්‍යාපනය විහාරස්ථානයේ ම පිහිටි ශ්‍රී විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙන්
ලද උන්වහන්සේ උසස් අධ්‍යාපනයට යොමු වූයේ ඉතා දක්ෂ ලෙස ය. 1988 දී ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සේක.
ගිහි ජීවිතයට වඩා දැඩි විනය නීති මාලාවකින් බැඳී පවතින අසීරු වූ පැවිදි දිවිය උන්
වහන්සේට සුපුරුදු සේ ගෙවෙන්නට ඇත්තේ පෙර සංසාර ගත පුරුද්දකට මෙනි.
1982 ජූලි 17 වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන්
අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. 1994 වසරේ දී උඩුමුල්ල ශ්‍රී විමලජෝති පිරිවෙනෙහි
ආචාර්යවරයකු ලෙස සේවයට එක්ව නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය හෙබවමින් සිටියදී 2013 වසරේ
දී විශ්‍රාම ගත්හ. ඉන් පසුව එහි ද විහාරාධිපති වූහ.
මෙලෙස උභය විහාරාධිපති ධුරය හොබවන උන්වහන්සේගේ නොමද වීර්යයත්, කැපවීමත් නිසා ම
පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානය බොදුනුවන්ට සැනසිල්ලත්, සැදැහැති බවත්
නිබඳව ම තිළිණ කළ දර්ශනීය විහාරස්ථානයක් විය. කදිම ස්වභාවික පරිසරයකින් යුතු මේ
පුදබිම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
අයත් වෙයි. පවුරක් සේ උස් වූ කඳු වළල්ලක පිහිටි මෙම පුදබිම අබියස ඇත්තේ පාදුක්ක
ඉංගිරිය පිටකොටුව ප්‍රධාන බස් මාර්ගය යි.
විහාරස්ථානයේ ශ්‍රී සෝරතාභිධාන ගුණානුස්මරණ ධර්ම ශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ,
දෙමහල් සංඝාවාස මන්දිරය, ශ්‍රී විද්‍යා චන්ද්‍ර ධර්ම නිකේතනය, රන්වැට සහිත බෝධි
ප්‍රාකාරය හා සුගන්ධ කුටිය, විහාර ප්‍රවිෂ්ට මකර තොරණ හා ධවල ප්‍රාකාරය, බණ පිරිත්
මණ්ඩපය ආදියෙන් විහාරස්ථානය පරිපූර්ණ කිරීම සිදු කළහ. එමෙන්ම ලියන්වල ශ්‍රී
සුවිශුද්ධාරාම විහාරස්ථානය ඉතා කෙටි කාලයකින් අලංකාර කිරීම ප්‍රදේශවාසී බෞද්ධයන්ගේ
ගෞරව බහුමානයට ලක් විය.
තවද සමාජ සේවා කටයුතු අතර බැබළුණු බෙරන්නාවේ විමල නා හිමියෝ ශ්‍රී මහා
විහාරස්ථානයෙන් ඇරැඹි පන්සලෙන් ගමට යන සංකල්පය මත “සහන සේවා පදනම” මඟින් සිදු කළ
කර්තව්‍ය ද ඉමහත් ය. අංග සම්පූර්ණ නිවාස 50ක්, අර්ධ නිවාස, වැසිකිළි, කැසිකිළි
ඉදිකිරීම, පාදුක්ක අරුක්වත්තේ ‘රමණී විවේකාරාමයේ’ විහාර මන්දිරය හා ධාතු මන්දිරය
සහිත දෙමහල් ගොඩනැඟිල්ල ඉදිකරවා සසුනට පූජා කිරීම, සෑම පුර පසළොස්වක පොහොය දිනකට ම
සහන මලු, ශිෂ්‍යාධාර හා වෛද්‍යාධාර පවුල් 100කට පමණ ලබා දීම, වාර්ෂික ව පාසල්
දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, ප්‍රදේශයේ සිදුවන ජල ගැලීම් ආදී ස්වභාවික විපත්වල දී
ආපදා මධ්‍යස්ථානයක් ලෙස විහාරස්ථානයේ පහසුකම් සැලසීම ආදිය යි.
තවද උපන් ගමට ද සේවය කිරීමට විමල නා හිමියෝ ඉදිරිපත් වූ අයුරු ආදර්ශවත් ය. තම ගමට
පිවිසෙන දුෂ්කර මාවත කි.මී. 2ක පමණ ලක්ෂ 20ක පමණ මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය
කිරීම, සීපෝන් ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ආවාසය, චෛත්‍යය, ධර්ම ශාලාව හා විහාර
මන්දිරය ඉදිකොට සසුනට පූජා කිරීම ද සිදු විය. මෙලෙස නා හිමියන් වහන්සේ තම උපන්
බිමට, විහාරස්ථානයට කළ සේවය පමණක් නොව බුදු වදන පසක් කරමින් සිදු කළ ගිලානෝපස්ථානය
ද අගැයිය යුතු ම ය. රෝගීන් 100 දෙනෙකුට පමණ නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීම, නොමිලේ
රෝද පුටු ලබා දීම, අත්වාරු, කිහිලිකරු, ඇඳන්, ඇස් කණ්ණාඩි ආදී වෛද්‍ය උපකරණ ලබාදීම
ද සිදු කළහ.
තවද සසුන් කෙත බැබළවීමට උර දෙන නාහිමියන් වහන්සේ යටතේ විහාරස්ථාන දෙකෙහි ම උපසපන්
භික්ෂුවක් හා සාමණේර හිමිවරුන් පස් නමක්ද, අන්තේවාසික ශිෂ්‍ය හිමිවරුන් දස නමක් ද
වැඩ වෙසෙති.
මෙලෙස ශාසනික ජාතික ආගමික වශයෙන් නොමද සේවාවක් කළ උභය විහාරාධිපති බෙරන්නාවේ විමල
නාහිමියන් වහන්සේට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් කොළඹ
මහා දිසාවේ සීතාවක පුර සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍රය පසුගිය මස
08 වැනිදා පස්වරු 3.00 ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
ශ්‍රීමත් මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරිණි. අභිනව නාහිමියන්
වහන්සේ පිළිගැනීමේ උත්සවය 09 වැනිදා පස්වරුවේ මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයේ දී
සිදු කෙරිණි.
කොළඹ මහා දිසාවේ සීතාවකපුර ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන උභය විහාරාධිපති
බෙරන්නාවේ විමල නා හිමිපාණන් වහන්සේට ශාසනික උන්නතිය උදෙසා මෙහෙවර කිරීමට ශක්තිය,
ධෛර්යය ලැබී, සසුනඹරෙහි දිලෙන මිණි පහනක් සේ චිරාත් කාලයක් බැබළේවා’යි ප්‍රාර්ථනා
කරමු.
-
ජම්මික ප්‍රබෝධනී වැලිකල |