සසරින්
එතෙර වූ
මිතුරන් සත්දෙනා
විනී නානායක්කාර
අමාමහ නිර්වාණය සාක්ෂාත් කර ගනු පිණිස අප්‍රතිහත ධෛර්යයකින් හා ප්‍රබල අධිෂ්ඨාන
ශක්තියකින් යුක්ත ව ජීවිත පූජාවෙන් ශ්‍රමණ දම් පිරූ කුළුපග මිතුරන් වූ භික්ෂූන්
වහන්සේ සත් නමක් පිළිබඳ විස්මයජනක කතා පුවතක් කාශ්‍යප බුදුහිමියන්ගේ ශාසනය පැවති
යුගයට අදාළ ව අසන්නට ලැබේ.
කිසිවකුටත් ළඟාවිය නොහැකි එක් ගල් පර්වතයක මුදුනට තමන් වහන්සේ විසින් ම සකස් කර
ගන්නා ලද දිගු ඉණිමඟක ආධාරයෙන් නැඟ ගැනීමෙන් පසුව ඉණිමඟ ඉවතට හෙළා දැමූ උන්වහන්සේ
උතුම් වූ අරහත් ඵලයට පැමිණ ඍද්ධි බලයෙන් එතැනින් ඉවත්ව යා හැකි වනතෙක් භාවනානුයෝගී
ව ගත කිරීමටත්, ඊට අපොහොසත් වෙතොත් එතැන ම මියපරලොව යාමටත් එකඟ වූහ.
පස්වැනි දිනය වන විට අරහත්භාවයට පත්වූ එක් නමක් ඍද්ධි බලයෙන් ගම්මානයට වැඩම කර පිඬු
සිඟා වැඩීමෙන් අනතුරුව මිතුරු ස්වාමීන් වහන්සේ වෙත ආපසු පැමිණ පිණ්ඩපාත දානය
පිළිගැන්වීය. එහෙත් එවැනි වැඩපිළිවෙළකට මුල් කතිකාවතේ දී එකඟ නොවූ බැවින් පිණ්ඩපාත
දානය එකහෙළා ප්‍රතික්ෂේප කළ අනෙක් සයනම රහතුන් වහන්සේට කැමැති දිශාවකට වඩින ලෙසට
ඉල්ලා සිටියහ.
සත්වැනි දිනයේ දී තවත් එක් නමක් අනාගාමී ඵලයට පත්වූ අතර අපවත්වීමෙන් පසුව බඹ ලොව
උපත ලැබීය. ඉතිරි පස්නම කිසිදු මාර්ගඵලයක් නොලබා ම අපවත් වූහ. ඉන් අනතුරුව ඔවුන්
පස් දෙනා ආත්ම ගණනාවක් තිස්සේ සසර සැරිසරා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ
සිටි සමයේ දී දඹදිව නොයෙකුත් ස්ථානවල උපත ලබා අවසන පහත පරිදි නිර්වාණය සාක්ෂාත් කර
ගත්හ.
කුමාරකාශ්‍යප
මහ රහතන් වහන්සේ
රජගහනුවර විසූ එක් සිටු දියණියක් ගිහි ගෙය කලකිරී පැවිදි ජීවිතයක් ගත කිරීමට මවුපිය
අවසරය පැතූ මුත්, පවුලේ එකම දරුවා වූ ඇයට ඒ සඳහා අවසර නොලැබිණ. මවුපියන් විසින්
සිටු පුත්‍රයකුට සරණ පාවා දීමෙන් පසු සිය ස්වාමියාගේ අවසරය ඇතිව දෙව්දත් තෙරුන්ගේ
පාර්ශ්වයට අයත් අසපුවක මෙහෙණි සස්නට පිවිසියා ය.
එහෙත් ඒ වන විට සිය කුස තුළ දරුවකු පිළිසිඳ සිටි බව ඇය දැන නො සිටියා ය. මේ හේතුව
මත මෙහෙණිය, අසපුවෙන් පිටමං කරන ලද මුත් තථාගතයන් වහන්සේ වෙත යොමුවීමෙන් අනතුරුව
උන්වහන්සේගේ උපදෙස් පරිදි විශාඛා සිටුදේවිය, කොසොල් රජු, අනේපිඬු සිටුතුමා හා උපාලි
රහතන් වහන්සේ ආදී කමිටුවකින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඇගේ නිර්දෝශීභාවය
තහවුරු වීමෙන් මෙහෙණි සස්නේ රැඳී සිටීමට හැකි වූවා ය. උපත ලද දරුවා කොසොල් රජ
මාලිගයේ ඇති දැඩි වී කුමාරකාශ්‍යප නමින් පැවිදි ව, මහණදම් පුරා උතුම් වූ අරහත් ඵලයට
පත් විය.
දාරුචීරිය
මහ රහතන් වහන්සේ
භාගිය රට කුල ගෙයක උපත ලබා වෙළෙඳාමේ නිරත වූ දෙවැනි මිතුරා මහා සමුද්‍රයේ දී නැව
මුහුදුබත් ව දැව කැබැල්ලක ආධාරයෙන් ගොඩබිමකට පීනා ගොස් දිවි ගලවා ගත් අතර, ඇඳිවත ද
අහිමිව සිටි හෙයින් ගස්වල පොතු ඇඟ දවටාගෙන සිඟමනෙන් ජීවත් විය. ගම් වැසියෝ මේ අමුතු
පුද්ගලයා රහතන් වහන්සේ නමකැයි සිතා දාන මානාදියෙන් සංග්‍රහ කළහ. තමන් ඇත්තට ම රහත්
බව ලබා ඇතැයි යන වැරැදි අවබෝධය ඔහු තුළ ද විය.
මේ අතර එම තත්ත්වය දිවැසින් දකින බඹලොව වැඩ සිටින මිතුරා දාරුචීරිය හමුවේ පෙනී සිට
වරද පෙන්වා දී ඒ වනවිට ජේතවනාරාමයේ වැඩ සිටි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත
යොමු කරවී ය. පිඬුසිඟා වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේගෙන් තමාට ධර්මය දේශනා කරන
මෙන් බැගෑපත් ව අයැදි දාරුචීරිය දෙවතාවක් ම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පැවැත්වූ
කෙටි ධර්ම දේශනාව අවසානයේ දී ක්ෂණයකින් අරහත් ඵලයට පත් වී, පැවිදි බවට අවශ්‍ය
පිරිකර සොයා යාමේදී ගව දෙනක විසින් අනිනු ලැබ පිරිනිවන් පෑහ.
සභිය
මහ රහතන් වහන්සේ
පබ්බතිය රට විසූ එක් ක්ෂත්‍රිය කුමාරිකාවක් ශිල්ප හදාරනු පිණිස සිය මවුපියන් විසින්
එක්තරා පරිබ්‍රාජකයකු වෙත යවනු ලැබීය. මෙම පරිබ්‍රාජකයා සමඟ වැරැදි කාම සේවනයෙන්
කුමරිය ගැබ්ගත් බව දැනගත් මවුපියෝ ඇය සිය නිවෙසින් පන්නා දැමූහ.
උපන් දරුවා වැඩිවියට පත්වූ පසු නොයකුත් ශිල්ප හදාරා බහුශ්‍රැත භාවයට පැමිණ
ක්ෂත්‍රීය කුමාරවරුන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමේ නිරතව සිටි අවස්ථාවේ දී පෙර භවයක
එකට බණ දහම් පිරූ මිතුරු බ්‍රහ්මයා සභිය නම් වූ මෙම තෙවැනි මිතුරා වෙත පැමිණ ඔහුට
ප්‍රශ්න විස්සක් උගන්වා ඊට පිළිතුරු සැපයිය හැකි ශාස්තෘවරයකුගේ ශ්‍රාවකයකු වන ලෙසට
උපදෙස් දුන්නේ ය.
සභිය පරිබ්‍රාජක ඒ අනුව පුරාණ කාශ්‍යප, මක්ඛලීගෝසාල, අජිත කේසකම්බල, පකුදකච්චායන,
සංජය බෙල්ලට්ටපුත්ත, නිඝන්ඨනාථපුත්ත යන ෂඩ් ශාස්තෘන් වෙතට ගිය නමුත් ප්‍රශ්න විස්සේ
අර්ථයවත් ප්‍රකාශ කිරීමට ඔවුන් අසමත් වූයෙන් අවසන බුදුරදුන් බැහැදැක ධර්මය ශ්‍රවණය
කොට නොබෝ කලකින් රහතන් වහන්සේ නමක් වූහ.
දබ්බ
මහ රහතන් වහන්සේ
මල්ල රට රජුට දාව මෙහෙසියගේ කුස පිළිසිඳ ගත් කුමරෙක් මවුකුසින් බිහිවීමට පෙර මව
හදිසියේ මියගිය නමුත්, දෛවයේ හාස්කමකින් දරසෑයේ ගින්නේ සැරට ගැබ පුපුරා ඉවතට විසි
වී ගොස් ජීවත්වීමේ භාග්‍යය ලැබුවේ ය. මිත්තණිය විසින් ඇතිදැඩි කරනු ලැබූ දබ්බ නමැති
මෙම සිව්වැනි මිතුරා සත් හැවිරිදි වියේ දී බුදු සමිඳු වෙත ගොස් පැවිදිව ඒ හා සමඟම
රහත් ඵලයට පැමිණියේ ය.
ඉහතින් සඳහන් කළ රහතන් වහන්සේ සිවුනම ම විවිධ දක්ෂතාවන් මත අග්‍රස්ථානයෙහි ලා
පිහිටුවන ලද අසූ මහා ශ්‍රාවකයන්ට ඇතුළත් වූවෝ වෙති.
පුක්කුසාති
මහ රහතන් වහන්සේ
තක්ෂිලා නුවර රජමාලිගයේ උපත ලද මුත්, රජ සැප කෙරෙහි උනන්දුවක් නොදැක්වූ පුක්කුසාති
නමැති පස්වැනි මිතුරා දිනෙක ගෞතම බුදුරජාණන් වහන්සේ දකිනු රිසියෙන් ජේතවනාරාමයට යන
අතර රෑ බෝවූයෙන් එක්තරා මැටි වළං සාදන්නකුගේ ශාලාවක නතර විය. මෙදින ම බුදුරජාණන්
වහන්සේ ද එම ශාලාවේ ම රාත්‍රී නවාතැන් ගත් අතර, මීට පෙර කිසි දිනක නොදුටු තමන් සොයා
යන ශාස්තෘන් වහන්සේ සමඟ සිය අභිමුඛයෙහි සිටිනුයේ ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ බව
නොදැන අල්ලාප සල්ලාපයෙහි නිරත වූ පුක්කුසාතිට බුදුරජාණන් වහන්සේ රැය මුළුල්ලෙහි
ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ දී රහතන් වහන්සේ නමක් බවට පත් වූ
පුක්කුසාති උතුමාණෝ තමන් මුලදී සිදුකළ අනුචිත ආමන්ත්‍රණයන් සම්බන්ධයෙන් සමාව අයැද
සිටියහ.
මේ මිතුරන් සත් දෙනම මෙයින් කල්ප ලක්ෂයකට පෙර මෙලොව පහළ වූ පදුමුත්තර නම්
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටම අනාගතයේ කෙදිනක හෝ රහතන් වහන්සේ බවට පත්වීමේ
අධිෂ්ඨානය ඇතිව පෙරුම්දම් පිරූ අය වෙති. උන්වහන්සේ තුළ අඛණ්ඩ ව පැවති අපරිමිත
උත්සාහයත්, අන්‍යයන්ට උදව් කිරීමේ කල්‍යාණ මිත්‍ර ලක්ෂණයත් මෙම කතා වස්තු තුළින්
මනාව පෙන්නුම් කෙරේ. |