[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අවබෝධයෙන් පැහැදිය යුතු තෙරුවන් ගුණ

අවබෝධයෙන් පැහැදිය යුතු තෙරුවන් ගුණ

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය රැගෙන බව අමුතුවෙන් කිව යුතු නැත. හය දෙනකුගෙන් යුත් පිරිසක් සමග කළ එම ආගමනය තුළින් ලක්වැසියාට ධර්මයේ අම මිහිර ලබා ගැනීමේ වාසනාව උදාවිය. ඊට අමතරව ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, ආධ්‍යාත්මික ආදී සෑම අංශයක ම දියුණුවක් ලබා දෙන්නට මාර්ගෝපදේශකයකු හැටියට ද මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළහ.

උන්වහන්සේ ලක්දිවට පැමිණ දේශනා කළ සූත්‍ර අතුරින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඉතා වැදගත් වේ. එයට හේතුව වන්නේ එම සූත්‍රය තුළින් තුණුරුවන්ගේ ගුණ ඉස්මතු කිරීමයි. කිසිදිනක ධර්මයේ පහස නො ලැබූ පිරිසකට ධර්මය අවබෝධ කරවීම අපහසු කාර්යයකි. ඒනිසා පළමුවෙන් කළ යුතු වූයේ ශ්‍රද්ධා ගුණ ඇති කරවීම යි. තවද තුණුරුවන් කෙරෙහි අචල විශ්වාසයක් ඇති කරලීමේ පරමාර්ථය ද මිහිඳු හිමි තුළ තිබෙන්නට ඇත. මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමා ඇතුළු රටවැසියාට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය තුළින් ම ධර්මය දේශනා කිරීමට හේතු වූයේ විශේෂ කරුණු රාශියක් පදනම් කරගෙන ය. විශේෂයෙන් එවකට ලක්දිව වනාන්තරවල ඇතා, සුළභ ව දැකිය හැකි දර්ශනයක් වීමත්, රටේ රජතුමාගේ පවා ප්‍රධාන වාහනයක් වීමත්, සතුන් අතරින් විශාල ම පා සටහන් ඇති සතා වීමත් ආදී කරුණු නිසා ඇත් පා සතර උපමා රූපක වශයෙන් ගෙන බුදුරජාණන් වහන්සේගේ ඥාන පද හතර ගැන විස්තර කිරීමටත්, තුණුරුවන් ගුණ කියාදීමටත් මිහිඳු මහරහතන් වහන්සේ උත්සාහවත් වූහ.

බුදුරජාණන් වහන්සේ එම සූත්‍රය දේශනා කිරීමට හේතුව නොහොත් නිදානය පිළිබඳ විමසා බැලීමේ දී දෙදෙනෙක් අතර ඇති වූ බුද්ධිමත් සංවාදයක් පිළිබඳ කරුණු පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කාලයෙහි ජානුස්සෝනි නම් බමුණෙක් විය. ඔහු කොසොල් මහ රජතුමාගේ පුරෝහිත තනතුර ද දැරීය. මොහුගේ සිරිතක් වූයේ මාස හයකට වරක් නගරයේ ශ්‍රී විභූතිය නැරඹීමට පෙරහර මධ්‍යයේ සුදු වෙළඹ රියකින් ගමන් කිරීම ය. එසේ යන ජානුස්සෝනි බමුණාට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කොට ආපසු එන පිලෝතික පරිබ්‍රාජකයා හමුවිය. පසුව ජානුස්සෝනි බමුණා. පිලෝතික පරිබ්‍රාජකයාගෙන් තොරතුරු විමසීය. එහිදී ඇති වූ සංවාදය මෙසේ ය.

ජානුස්සෝනි : යහළුව, ඔබ මේ කොහේ සිට එන්නෙහි ද ?

පිළෝතික : යහළුව, මම බුදුරජාණන් වහන්සේ හමුවී එන්නෙමි.

ජානුස්සෝනි : යහළුව, ඔබ බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන කුමක් දන්නෙහි ද ?

පිළෝතික : යහළුව, එය කීමට මම කවරෙක් ද ? තවත් බුදු කෙනෙක් ම එය දනී.

ජානුස්සෝනි : යහළුව, ඔබ බුදුරජාණන් වහන්සේට උදාර පැසසුම් කරති.

පිළෝතික : යහළුව, බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන්ගෙන් පවා පූජා ලැබීමට සුදුසු ය.

ජානුස්සෝනි : යහළුව, ඔබ බුදුරජාණන් වහන්සේගේ කවර ගුණයක් දැක පැහැදුනේ ද?

පිලෝතික : යහළුව මම මහ ගුණ හතරක් දැක පැහැදුනෙමි ”

පසුව පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගේ ගුණ වඩාත් තහවුරු කරවීම පිණිස ඇත් පා සටහන් උපමාව ඉදිරිපත් කරමින් එය විස්තර කළේ ය.

එනම්, යම්කිසි දක්ෂ ඇතුන් අල්ලන්නකු කැලයට ගොස් ලොකු ඇත් පා දැක එය මහා හස්තිරාජයාගේ යැයි දැන ගන්නා සේ මම ද බුදුරජාණන් වහන්සේගේ ඥාන පද සතරක් දැනගත් බව ප්‍රකාශ කළේ ය.

තවද ඔහු සඳහන් කරන්නේ විවිධ අය බුදුරජාණන් වහන්සේ පැරද්දවීමට එන බවත්, එසේ එන ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ ආදී විවිධ දක්ෂතා තිබෙන, විවිධ හැකියාවන් තිබෙන පණ්ඩිතයින්ගේ පරමාර්ථය වූයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් බුදුරජාණන් වහන්සේ හමු වී අපි මේ විදිහේ ප්‍රශ්න අසමු. ඒවාට නියම පිළිතුරු දීමට බුදුරජාණන් වහන්සේට නොහැකි වුවහොත් අපි නියම පිළිතුර දී වාදයට අල්ලා ගනිමු. ඒ වගේම වාද කර පරද්දල හොඳට ම ලජ්ජා කරමු යැයි ආදි වශයෙනි.

ඔවුන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය පසු බුදුරජාණන් වහන්සේ ඔවුන් සමඟ පළමු ව ධාර්මික වූ පිළිසඳර කතාවක යෙදෙන අතර, එම පිළිසඳර කතාවෙන් ම ඔවුන් පුදුම වී මවිතවී ගොතාගෙන ගිය සියලු ප්‍රශ්න අමතක වී ඔවුන්ගේ පණ්ඩිතකම් නැතිවී මාන්නය දුරුවී, සිංහයකු ළඟට ආ මුව පොව්වකුගේ තත්ත්වයට වැටෙන බව පිළෝතික පරිභ්‍රාජකයා ජානුස්සෝනි බමුණාට සඳහන් කර සිටියේ ය. ඊට පසු එසේ මාන්නය දුරු කර ගත් ඔවුන් සඳහන් කර සිටින්නේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත ය, සම්මා සම්බුද්ධ ය, ධර්මය ස්වාක්ඛාත ය, සංඝයා සුපටිපන්න ය, යනුවෙනි. එසේ සත්‍යය වටහාගත් ඔවුන් තුණුරුවන් ගුණ අගය කරමින් ම ත්‍රිවිධ රත්නය සරණ ගොස් පැවිදි වීමෙන් හෝ නො වීමෙන් බුද්ධශ්‍රාවක බවට ද පත් වන්නේ ය.

එම පුවත ඇසූ ජානුස්සෝනි බමුණා ඉමහත් ප්‍රීතියට පැමිණ රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ සිටි පැත්තට වැඳ නමස්කාර කොට බුදුරජාණන් වහන්සේ හමුවීමට යන බව ප්‍රකාශ කළේ ය. පසු දිනක බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය ජානුස්සෝනි බමුණා පිලෝතික පරිබ්‍රාජකයා සමග ඇති වූ සංවාදය හා කතාබහ පිළිබඳව බුදුරජාණන් වහන්සේට සැළ කළේය. ඊටපසු බුදුරජාණන් වහන්සේ පිළෝතික පරිබ්‍රාජකයාගේ ඇත් පා උපමාව සම්පූර්ණ නො වන බව වදාරා එය මෙසේ විස්තර කර දුන් සේක.

යම්කිසි හස්ති පාලකයෙක් කැලේට ගොස් ඇත් පා සටහන් දැක එය මහා ඇතාගේ පා සටහන් නො වන බව තේරුම්ගෙන එතැනින් නො නැවතී මහ ඇතා සොයා ගෙන යන්නේ ය. ඒ යන අතරතුර ඔහුට වාමනිකා නම් වූ විශාල පා සටහන් ඇති මිටි ඇතින්නියක් හමුවේ. එතැනින් නොනැවතී තවත් ඉදිරියට යන ඔහුට තව විශාල පා සටහන් හා උස් ගස්වල අතු කඩා ගස්වල පිට අතුල්ලා සිටින උච්චාකාළාරිකා නම් වූ ඇතින්නිය හමුවේ. එතැනිනුත් මේ මහා ඇතා යැයි තීරණය නො කොට කැලේ තවත් ඉදිරියට ගමන් කරන කල, විශාල පා සටහන් ඇති අසළ ගස්වල දළ පහරින් ඇන ඇති උච්චාකණේරුකා නැමැති ලොකු ඇතින්නියක් දැක ගත හැකි ය. එසේ වුව ද ඔහු මහ ඇතා කියා තීරණය නො කරයි. තවත් කැලයේ ඉදිරියට යන මෙම දක්ෂ නාගවනිකයාට විශාල පා සටහනුත්, කඩා බිඳ දැමූ උස් ගස්වල අතුපතරුත්, උස් ගස්වල දළ පහරවලුත් දැක ගත හැකි ය. එසේම ගසක් මුල හිඳීන හෝ එළිමහනේ ඇවිදින හෝ වැතිර සිටින මහා හස්ති රාජයා දැක ගන්නට ලැබේ. එහිදී මේ දක්ෂ හස්ති ශිල්පියා මේ ඇත් රජා ම බව නිගමනය කරනු ඇත.

දක්ෂ හස්ති ශිල්පියා (නාගවනිකයා) මහ ඇතා සොයා යන්නා සේ ම දක්ෂ තැනැත්තා ද බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණයෙන් යුක්ත බව ද, ධර්මය මුල මැද අග යහපත් බව ද අර්ථවත් බව ද සර්ව සම්පූර්ණ බව ද, සංඝයා සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න යන ගුණයන්ගෙන් යුක්ත බව ද, වටහා ගන්නේ ය.

එසේ වටහා ගත් දක්ෂ තැනැත්තා ත්‍රිවිධ රත්නය සරණ ගොස් ගිහි ජීවිතයෙන් මිදී පැවිදි භාවය ද ලබා ගන්නේ ය. දස අකුසල්වලින් මිදී කුරුල්ලකු සේ සැහැල්ලු පැවැතුම් ඇති ව ජීවිතය පවත්වා ගෙන යන්නේ ය. එසේම ඉන්ද්‍රිය සංවරය උපදවා ආධ්‍යාත්මික සුවය ද ලැබීමට තරම් උත්සුක වන්නේ ය. ආර්ය සතිසම්පජඤ්ඤයෙන් ද යුක්ත වේ.

පසුව භාවනාව දියුණු කොට කාමච්ඡන්දාදී පංච නීවරණයන් දුරු කොට සිත පිරිසිදු කොටගෙන විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතාදියෙන් සම්ප්‍රයුක්ත ප්‍රථමධ්‍යානය උපදවා ගනු ඇත. ඊට පසු එම ආර්යය ශ්‍රාවකයා ද්විතීය, තෘතීය චතුර්ථධ්‍යානය ද, පුබ්බේ නිවාසානුස්සති ඤාණය ද චුතූපපාත ඤාණය ද, උපදවා ගනු ඇත. එසේ වුවද තුණුරුවන් ගැන නියම නිගමනයකට පැමිණීමට සමත් නොවේ.

අවසානයේ දී ආර්‍යය ශ්‍රාවක තෙමේ සියලුම කෙලෙසුන් නැති කිරීමේ නුවණ හෙවත් ආසවක්ඛය ඤාණය ද උපදවා ගැනීමට සිත යොමු කිරීමත්, එතුළින් චතුරාර්ය සත්‍ය ධර්මය යථාභූත ඥානයෙන් අවබෝධ කර ගැනීමටත් සමත් වේ. එවිට ඔහුගේ සිත කාම, බව, විභව, අවිජ්ජා යන ආශ්‍රවයන්ගෙන් මිදේ. එසේ වුවද තුණුරුවන් ගැන නියම අවබෝධයක් නො ලබන ඔහු නුවණ පහළ කර ගන්නේ ම දැන් කාමාදී ආශ්‍රවයන්ගෙන් මිදුනෙමි'යි කියා ය. නැවත නො ඉපදීම, බඹසරෙහි හැසිරීම, තවත් නිවන පිණිස කළ යුතු දෙයක් නැති බව යනාදීන් පිළිබඳ සිත යොමු කරනු ඇත.

බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බමුණාට හත්තිපාද උපමාව සම්පූර්ණ කරමින් සඳහන් කර සිටින්නේ,

බ්‍රාහ්මණය, මේ ක්‍රමයට නොහොත් පිළිවෙළට කෙලෙසුන් නැති කොට නිර්වාණය අවබෝධ කර ගැනීමට තථාගත පදය ද තථාගත නිෂේවිතය ද තථාගත රඤ්ජිතය ද වෙන බවත්, එවිට නියම ලෙස ත්‍රිවිධරත්නය ගැන දැනගන්නා බවත් ය.

මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය එදා මිහිඳු මහරහතන් වහන්සේ විසින් එවකට රටේ රජතුමා වන දෙවන පෑතිස් රජුටත්, එම පිරිසටත් දේශනා කළේ ඔවුන්ට ත්‍රිවිධ රත්නයේ ගුණ අවබෝධ කර දීමට ය. එහිදී රජතුමා ප්‍රමුඛ පිරිස තිසරණ පංචශීලයේ පිහිටි බවත් වැඩිදුරටත් සඳහන් වේ.

එදා මිහිඳු මහරහතන් වහන්සේ කළ එම දේශනාව තුළින් මෙරට ආගමික පුනරුදයේ අත්තිවාරම ශක්තිමත් විය. එතුළින් රට වැසියා ත්‍රිවිධ රත්නය කෙරෙහි අපමණ ගෞරවයක් භක්තියක් දැක්වීමට පුරුදු වූහ.

පොසොන් පෝ දින සිදු වූ එම සුවිශේෂී සිදුවීම් සිහියට ගෙන ත්‍රිවිධ රත්නය සරණ ගොස් පන්සිල් රකින පිරිසක් බවට හැම කෙනෙක් ම පත්වීමට උත්සාහවත් වන්නේ නම් මෙලොව ජය ගැනීමටත්, පරලොව සුගතිගාමි වීමටත්, මතු නිවනින් සැනසීමටත් හැකි වන බව මතක් කිරීමට කැමැත්තෙමි.

ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]