[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක පෝ දා 2024-07-13

පසුතැවීමෙන් මිදෙන්නට නම් ...

හේ සැවැත් නුවර විසූ අනලස් ගොවියෙකි. දිනක් සිය කුඹුර සීසානු පිණිස අලුයමින් ම කුඹුරට ගියේ ය. පෙර දා ධනවතකුගේ ගෙයක් බිඳ ධනය සොරකම් කළ සොරු පිරිසක් මහ රෑ ඒ ධනය බෙදා ගත්තේ මේ ගොවියාගේ කුඹුරේ දී ය. ඒ මොහොතේ එක් සොරෙක් සෙසු සොරුන්ට නොදැනෙන සේ දහසින් බැඳි මසු පියල්ලක් එහි සැඟවූයේ ය. සොරු පිරිස රෑ ම ඉන් නික්ම ගියහ. එහෙත් සැඟවූ මසුපියල්ල කුඹුරෙහි ම අමතක වුණි.

අප තථාගතයන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක් මේ අහිංසක ගොවියා දුටු සේක. ඔහුට වන විපත පමණක් නොව සෝවාන් මඟට පිවිසීමේ භාග්‍යය ද ඇති බව දුටු සේක. ඒ අසරණයාට පිහිට වනු පිණිස අප බුදුපියාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සමඟ අලුයමින් ම ඒ ගොවියා සීසාන කුඹුරට වැඩි සේක. සී සාමින් සිටි ගොවියා භාග්‍යවතුන් වහන්සේ දැක ගෞරවයෙන් නමස්කාර කොට තමන්ගේ වැඩෙහි ම නියැළුණේ ය. ඒ අවස්ථාවේ මසු පියල්ල වැටී ඇති තැනින් වඩින බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ආනන්ද, විසකුරු සර්පයා දුටුවේ ද?” යි විමසූහ.

ආනන්ද තෙරුන් වහන්සේ ද, “භාග්‍යවතුන් වහන්ස, දුටුවෙමි”යි පිළිතුරු දුන්හ. මේ දෙබස කන වැකුණු ගොවියා විසකුරු සර්පයා සොයනු පිණිස විමසිලිමත් විය. එහෙත් දකින්නට ලැබුණේ මසු පියල්ලක් පමණි. එය කුඹුරේ ම සඟවා හේ නැවත සී සාන්නට පටන් ගත්තේ ය.

ස්වල්ප වේලාවකින් සොරුන්ගේ පා සටහන් ඔස්සේ යන රාජ නිලධාරීන් ගොවියාගේ කුඹුරට එන්නේ, සඟවා ඇති මසු පියල්ල දැක සොරා වෙන කවරකු හෝ නොව මේ ගොවියා ම යැයි සැක කරමින් ඔහුට තලා පෙළා රජු වෙත පැමිණවීය. රජු ගොවියාට දඬුවම් නියම කළ කල්හි ගොවියාට සිහිය එළඹුණි. අලුයම කුඹුර අසලින් වැඩි බුදුරජාණන් වහන්සේ විසකුරු සර්පයා යැයි වදාළේ මේ විපත දැක යැයි සිතා ගොවියා තථාගතයන් වහන්සේත්, ආනන්ද තෙරුන් වහන්සේත් අතර සිදු වූ සංවාදය කීප විටක් ම කියන්නට වූයේ ය. බුදුරජාණන් වහන්සේ ගැන කී නිසා ගොවියාගෙන් තොරතුරු විමසූ කල සිදු වූ සියල්ල පවසා සිටියේ ය. එය ඔහුගේ නිදහසට හේතු විය.

සිහි කළ පමණින් පසුතැවිලිවීමට සිදුවන, කඳුළෙන් සිහි කරන, නරක විපාක ලැබෙන නරක දේ නොකිරීම ඉතා යහපත් බව බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම් නිමිති කොට දේශනා කොට වදාළ සේක.

නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං - විපාකං පට්සෙවති

ධම්ම පදයේ එන මේ ගාථා ධර්මය දේශනා කොට වදාළේ ඒ අර්ථයෙනි. ජීවිතය පිළිබඳ අපූර්ව පාඩමක් උගන්වන මේ ධර්මතාව බාල, තරුණ, මහලු කාහටත් එක සේ වැදගත් ය. කළ යුතු නොකළ යුතු දේ තෝරා බේරා ගන්නට අපට උසස් මනසක් ලැබී තිබේ. එහෙත් බොහෝ දෙනෙක් තමන්ට අර්ථයෙකැයි සිතා අනුන්ට අනර්ථ දේ කරති. එහෙත් අවසන් ඵලය සතුටින් භුක්ති විඳිය නොහැකි ය. අනර්ථයෙහි යෙදී අප කළ කම් පල දෙන කල, ඒවා පිළිගන්නට වෙන්නේ කඳුළින් නම් ඒ කඩාවැටීම තුළ මොනතරම් පසුතැවීම් ඇතිවනවා ද? දරුවන්, මව්පියන් ආදී ලෙස සමාජයේ විවිධ ස්ථරවල දී අපි විවිධ භූමිකාවන්ට පණ දෙමු. එහිදී තමන්ට පැවරෙන වගකීම් කොටසක් වේ. ඒ සියල්ල කළ යුතු තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන ලෙස ය. පනින්නට පෙර දෙපාරක් සිතන්න යැයි ජන වහරේ කියමනකි. තමන් යමක් කියන්නට, කරන්නට, පෙර හොඳින් සිතා බැලිය යුතු බව ඉන් අර්ථ ගන්වයි. හොඳින් සිතා බලා කරන දෙය යහපත් නම් පසුතැවීම නැත. ජීවිතයේ සෑම අවස්ථාවකට ම මේ ධර්මය ගළපා ගන්නේ නම් ඒ ජීවිතයට කඳුළ අහිමි ය.

ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]