[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රයිගම්පුරය බබළවන වීදියගොඩ ඇසළ මහා පෙරහර

රයිගම්පුරය බබළවන වීදියගොඩ ඇසළ මහා පෙරහර

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ බණ්ඩාරගම නගරද්වයට නුදුරු වීදියගොඩ මහා විහාරයේ නාථ දේවාලයේ වාර්ෂික ඇසළ පුණ්‍යොත්සවයේ අවසන් රන්දෝලි පෙරහර ජූලි මස 13 වැනි දිනට යෙදී තිබීම නිමිත්තෙනි
 


වීදියගොඩ මහා විහාරය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද් වීපයට වැඩමවීමෙන් ශ්‍රී ලංකාද්වීපයේ සුප්‍රතිෂ්ඨාපිත වූ සම්බුද්ධ ශාසනය යුගයෙන් යුගය විවිධ වූ උන්නතීන්ට සහ අවනතීන්ට පත් වෙමින් අද දක්වා ම සුරක්ෂිත ව පැවතීම සුවිශේෂි සංසිද්ධියකි. දුරාතීතයේ පටන් ම රයිගම් කෝරළයේ බෞද්ධ පසුබිමක් පැවති බවට නිදර්ශන ලෙස ආදි අනුරාධපුර යුගයට නෑකම් කියන වෙහෙර විහාරස්ථාන සහ පුරාවිද්‍යාත්මක ස්මාරක හමුවීම සඳහන් කළ හැකි වන්නේ ය. කෝට්ටේ යුගයෙහි සම්භාවනීයතම විද්‍යාස්ථානයක් වූ වීදාගම ශ්‍රී ඝනානන්ද පිරුවන පිහිටීමත් තත් පරිවේනාධිපති වීදාගම මෛත්‍රි හිමිපාණන් වහන්සේගේ අග්‍රගණ්‍ය සාහිත්‍යකරණය ද මෙම පුරවරයේ වැදගත්කම දැක්වීමට මනා වූ සාධකයකි.

වීදාගමට යාබද ග්‍රාමය වූ වීදියගොඩ ග්‍රාමවරය කෝට්ටේ යුගයේ සුප්‍රකට රණවිරුවකු වූ වීදිය බණ්ඩාර සෙනෙවිතුමාගේ ඇසුර නිසා වීදියගොඩ නම් ලද බවත්, එකී සෙනෙවියාණන් ගොඩනැඟූ නාථ දේවාලය වර්තමාන වීදියගොඩ රාජමහා විහාරයේ ආරම්භය ලෙසත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදුනු එක් කොටසක අගනුවර වූ රයිගම් පුරවරය ද වීදියගොඩට නුදුරෙන් පිහිටීම සුවිශේෂි කරුණකි.

මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ස්‍යාමෝපසම්පදාව පිහිටුවා ලංකා ද්වීපයේ ධර්ම ශාස්ත්‍රෝද්දීපනයත් ඇති කිරීමෙන් පසු සංඝරාජයන් වහන්සේගේ තෙවැනි ශිෂ්‍යවරයන් වහන්සේ වූ ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය වූ ගිනිගත්පිටියේ දීපංකර හිමියන් අක්ෂි වෛද්‍ය ප්‍රතිකාර සඳහා දක්ෂිණ ලංකාවේ බෙන්තර ග්‍රාමයට වඩින අවස්ථාවෙහි ඒ වන විට යුරෝපීය ආක්‍රමණවලින් නෂ්ටාවශේෂ වූ වීදියගොඩ පුදබිමෙහි නවාතැන් ගත් බවත් තත්ශිෂ්‍ය වූ මල්වතු මහාවිහාරයේ අනුනායක පදවියෙන් පුද ලද දෝපේ ගුණරතන හිමියන් මෙහි ආගමික කටයුතු ඇරඹූ බවත්, තත්ශිෂ්‍ය බෙන්තර සුදස්සන හිමියන් වීදියගොඩ රාජමහා විහාරාධිපති පදවියට පත් කොට මෙහි නූතන පුනර්ජීවනය ආරම්භ කළ බවත් සඳහන් වෙයි.

වැලිවිට සරණංකර හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රෝද්දීපනිය වයඹ, සපරගමු සහ දකුණු පළාත් ඔස්සේ බස්නාහිර පළාතට සංක්‍රමණය වූ බව පොදු පිළිගැනීම වුවත් බස්නාහිර පළාතේ ම ප්‍රභවය වූ සංඝ පරම්පරාවක් ලෙස වීදියගොඩ සංඝ පරම්පරාව සඳහන් කළ හැකි ය.

බෙන්තර සුදස්සන හිමියන්ගෙන් පසු වීදාගම සෝභිත, මඩපාත සෝණුත්තර, ගම්මන්පිල දේවානන්ද, වීදියගොඩ අරියවංශ , වැල්මිල්ලේ හේමාලෝක යන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වීදියගොඩ රාජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරමින් අනල්ප මෙහෙවරක් සිදු කළහ. මෙම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙතින් රයිගම් සල්පිටි කෝරළ පමණක් නොව, දිවයින පුරා ම විහාරස්ථාන සිය ගණනක් ආරම්භ කරමින් සහ සහස්‍රාධික වූ සුපේෂල ශික්ෂාකාමී සංඝයා වහන්සේ පිරිසක් දායාද කරමින් සම්බුද්ධ ශාසනය ඒකාලෝක කොට ඇත.

වීදියගොඩ සංඝ පරපුර මල්වතු මහාවිහාරයේ පශ්චිම ලංකාවේ සුවිශේෂිත ම සංඝ පරපුරකි. මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය ඇතුළු ප්‍රධාන, උප ප්‍රධාන, අධිකරණ, ද්විතීය ආදී වූ නායක පදවිවලින් ද උපාධ්‍යාය, කර්මාචාර්‍ය ආදී ශාසනික තනතුරුවලින් ද සම්මානිත ය.

සකලාංග පරිපූර්ණ වූ විහාරස්ථානයක් වශයෙන් ගොදුරු ගම් හතකට අයත් මහා විහාරස්ථානය වශයෙන් පමණක් නොව මහානුභාව සම්පන්න යැයි සැදැහැවතුන්ගේ සම්භාවනාවට පත් වීදිය බණ්ඩාර සෙනෙවිතුමා තම යුද ජයග්‍රහණයක් සඳහා බාරහාර වූ සහ ජයග්‍රහණයෙන් පසු ගොඩනැංවූ පෞරාණික නාථ දේවාලය ද වීදියගොඩ ඓතිහාසිකත්වය තීව්‍ර කරයි.

වීදියගොඩ රාජමහා විහාරයත්, පෞරාණික නාථ දේවාලයත් මූලික කොට ගෙන ආරම්භ වී ඇති ඇසළ පෙරහර මංගල්‍යය ද කවර කලෙක ආරම්භ වූයේ දැයි පැවසීමට සාධක නොමැති වුවත් එය සියවස් ගණනාවක පැරැණි මතක සටහන් සහිත වූ පෞරාණික පෙරහරක් ලෙස හඳුන්වා දීමට පුළුවන. වීදියගොඩට ම අනන්‍ය වූ පෙරහර චාරිත්‍ර සහිත ව පැවැත්වෙන මෙම පෙරහර වත්මන් විහාරාධිපති වල්ගම ධම්මින්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ විහාරාධිකාරී හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්ය වීදියගොඩ විජිතාලෝක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ජූනි මස 29 වැනි දින කප් සිටුවා ඉනික්බිති ව චාරිත්‍රානුකූල ව ජූලි 6,7,8 දිනවල කුඹල් පෙරහර, ජූලි 9 හා 10 දිනවල පාවඩ පෙරහර, ජූලි 11 හා 12 දිනවල වීදි පෙරහර ආදී පෙරහර කටයුතු සිදු කොට ජූලි මස 13 වැනි දින රාත්‍රියේ අවසන් රන්දෝලි මහා පෙරහර පවත්වා 14 වැනි දින දියකැපීමේ මංගල්‍යය ද 20 වැනි දා දෙවොල් මඩු ශාන්ති කර්මය ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.


නාථ දේවාලය

ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]