[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යුරෝපීය ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවැනි සඟ සමුළුව

යුරෝපීය ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවැනි සඟ සමුළුව

යුරෝපයේ ශ්‍රී ලාංකේය භික්ෂු සංගමයේ දෙවැනි මහ සඟ සමුළුව පසුගිය ජූනි මස 29 හා 30 යන දෙදින ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

භික්ෂු සංගමයේ සාමාජික රටවල් වන ඔස්ට්‍රියාව, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඉතාලිය, සයිප්‍රසය, ගී‍්‍රසිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන යුරෝපාකරයේ වැඩ සිටින ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේ මෙන්ම අමෙරිකාව, කැනඩාව, එංගලන්තය හා දකුණු කොරියාව ආදී රටවල්වලින් ආරාධිතව වැඩම කරවූ භික්ෂූන් වහන්සේ ද ඇතුළුව 60 නමක් පමණ භික්ෂූන් වහන්සේ පිරිසක් මෙම සඟ සමුළුව සඳහා සහභාගි වූහ. ඉතාලියේ සත්කාරකත්වයෙන් පැවැති මෙම සමුළුවේ මූලික තේමාව වූයේ ලෝක සාමය, සතුට සහ සහජීවනය පිළිබඳ එකමුතුව යන්නයි.

ජූනි 29 වැනි දින සඟ සමුළුවට වැඩම කොට වදාළ මිස්සක කමලසිරි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සියලු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් වර්තමානයෙහි පැනනැඟී ඇති ශාසනික අර්බුද හමුවෙහි ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වුණි. එම සමුළුවේ දී විවිධ මාතෘකා යටතේ සාකච්ඡාව සිදුකර අවසානයේ දී භික්ෂූන් වහන්සේ සහ ශාසනය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු 05ක් මිලානෝ ප්‍රඥප්තිය වශයෙන් භික්ෂු සංගමයේ ගරු සභාපති වියානා ඤාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති විජයරාජපුර සීලවංශ නාහිමිපාණන් වහන්සේ විසින් සඝ සමුළුවට ඉදිරිපත් කරන ලදි.

1. සාම්ප්‍රදායික භික්ෂු ආකල්ප ආරක්ෂා කර ගනිමින් යුරෝපීය නෛතික හා සංස්කෘතික හරපද්ධතීන් පිළිබඳ නම්‍යශීලීව කටයුතු කිරීම.

2. ශ්‍රී ලාංකේය තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේ යුරෝපය තුළ එකම භික්ෂු සමූහයක් වශයෙන් ක්‍රියාත්මක වීම සහ ථෙරවාදයට පරිබාහිර ව අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායන් සමඟ සහයෝගයෙන්ක්‍රියා කිරීම.

3. යුරෝපයේ ජීවත්වන දෙවැනි පරපුර වෙනුවෙන් බුදු දහමට අතිරේක ව ශ්‍රී ලාංකේය, ඉතිහාසය, සංස්කෘතිය හා භාෂාව පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් හා නිසි අධ්‍යාපනයක් ලබා දීමට ක්‍රියා කිරීම.

4. යුරෝපයේ වැඩ සිටින පටිබලසම්පන්න ස්ථවිරයන් වහන්සේ ගිහි පැවිදි බෞද්ධ ප්‍රජාව සඳහා නායකත්වය දෙමින් සහ නවක සහ මධ්‍යමක භික්ෂූන් වහන්සේට මඟ පෙන්වමින් උන්වහන්සේ සුරක්ෂිත කිරීම.

5. ලෝක සාමය හා සංහිඳියාව උදෙසා පෙනී සිටීමට සහ ලෝක ප්‍රජාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ක්‍රියා කිරීම.


ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
කටුවන සිද්ධත්ථ හිමි

අනතුරුව ජූනි මස 30 වැනි දින මිලානෝ Centro asteria සම්මන්ත්‍රණ ශාලාවේ දී තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් යුරෝපයේ ශ්‍රී ලාංකේය භික්ෂු සංගමයේ දෙවැනි මහ සඟ සමුළුව ඉතා ම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන හා සංස්කෘතික අංගයන්ගෙන් සමලංකෘත වූ අලංකාරවත් පෙරහරකින් මහා සංඝරත්නය උත්සව ශාලාව වෙත වැඩම කරවා ඇත. අමෙරිකාවේ මෙත්තා භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ සිටින මිස්සක කමලසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ලෝක සාමය උදෙසා බුදු දහමේ කාර්යභාරය සම්බන්ධයෙන් උත්සව සභාවේ ප්‍රධාන දේශනය සිදුකරමින් බුදුදහම ආරම්භයේ සිටම අවධානය යොමු කර ඇත්තේ අසතුටුදායක බව සහ අභ්‍යන්තර සාමය නොමැතිකම යන ගැටලුව ජය ගැනීම කෙරෙහි ය. යුද්ධය ලෝකය භීතියට පත්කරන අතර මානව සම්පත්, බුද්ධිමය සම්පත් සහ භෞතික සම්පත් මානව වර්ගයාගෙන් උදුරා ගනී. බුදුදහම ඉදිරිපත් කරන්නේ “සාමදාන” සංකල්පයයි. එනම් ලෝකයට සාමය ලබාදීමයි. බෞද්ධයන් සාමය වෙනුවෙන් පෙනී සිටිය යුතු අතර ලෝකයට සාමය උදාකිරීමට දායක විය යුතු ය.

නිවැරැදි දැක්ම යනු ලෝක සාමය උදාකිරීමට අතිශයින් වැදගත් සාධකයකි. ලෝකයේ ගැටලු නිවැරැදි ව හඳුනාගත හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණි. බෞද්ධයකුගේ ප්‍රධාන කාර්යභාරය සහ වගකීම ලෝකය ආලෝකවත් කිරීමයි. ලෝක ගැටුම් ඵලදායී සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුයි. මනුෂ්‍යත්වය සමඟ තීරණ ගැනීමට යුද්ධවලට සම්බන්ධ සියලුම පාර්ශ්ව සම්මුතියකට යා යුතු ය. මෙම කාර්යය සඳහා බෞද්ධයින්ට විශාල වශයෙන් දායක විය හැකි ය. මේ වන විට ලෝකයේ කිසිම තැනක බෞද්ධයන් විසින් යුද්ධයක් කරන්නේ නැත. එය ලොවට සාමය උදා කිරීමට දායක වීමට බෞද්ධයන්ට ලැබෙන අගනා අවස්ථාවකි. අප කළ යුතු පළමු දෙය නම් යුද්ධයක් නොකර සිටීමේ තත්ත්වය දිගට ම පවත්වා ගැනීමයි. අපි සාමකාමී විය යුතු අතර සාමකාමීවීමට අන් අයව දිරිමත් කළ යුතු අතර ලෝක සාමයේ වටිනාකම ගැන සාකච්ඡා කළ යුතුය යන කරුණු ප්‍රධාන වශයෙන් අවධාරණය කළහ. එම අවස්ථාවට සහභාගි වූ යුරෝපීය බෞද්ධ සංගමයේ සභාපති Stefno Davide Bettera මහතා විසින් ද බුදු දහමේ පණිවිඩය ලෝකයාට ගෙනයාමේ දී ථෙරවාදී භික්ෂූන් වහන්සේ විසින් සිදුකරනු ලබන මෙහෙවර පිළිබඳ අගයමින් ඉතා හරවත් දේශනයක් සිදුකර ඇත.

මෙම ලිපිය සකස් කිරීමේදී තොරතුරු ලබාදුන් යුරෝපයේ ශ්‍රී ලාංකේය භික්ෂු සංගමයේ මහා ලේඛකාධිකාරි රෝම ශ්‍රී ශාක්‍යමුණි විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා ගෞරව පූර්වක ස්තූතිය පිරිනමමි.

ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]