[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මතු පරපුරේ ආධ්‍යාත්මික දියුණුව පිණිස එකමුතුව පෙළගැසෙමු

මතු පරපුරේ ආධ්‍යාත්මික දියුණුව පිණිස එකමුතුව පෙළගැසෙමු

ගිහි සමාජය සුසිල්වත් කිරීම උදෙසා බෞද්ධ සංස්කෘතියට පංචශීලය ඇතුළත් කොට ඇත. ත්‍රිපිටකය තුළ දී අපට මෙම පංචශීලය හමුවන්නේ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව තුළ සුළු සීල යටතේ ය.

තවද පංචශීලයෙහි පස්වන ශික්ෂාපදය පැනවීම තුළ සිදුකළ සමාජ මෙහෙවර අතිමහත් ය. එනම් ‘සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.’ මෙම සිල් පදය සමාදන් කරවීම තුළ පුද්ගලයා මතට ලොල්වීම වැළැක්වීමට බාධකයක් පනවන ලදී.

බ්‍රාහ්මණ යුගවල දී මෙම මදිරා පානයට බාධා හෝ තහංචි හෝ පැනවීමක් නොවීය. ණය වී හෝ කම්සැප ඉහළින් ම විඳිය යුතුයි වැනි අදහස් විය. සතුටින්, විනෝදයෙන් කල් ගෙවීමත්, යාගය උදෙසා සියලු සැප සම්පත් උත්පාදනය කිරීමත් මෙහිදී සිදුවිය. එසේම ලෞකික සැප යැයි මිනිසුන් දක්නා සියලුම දෑ දෙවියන්ට ද ඒ අයුරින් ම කැප කිරීම තුළින් ඔවුන් තම සුඛ විහරණය ම යළි යළිත් පැතූහ.

වේද සාහිත්‍යයට අනුකූල ව රහමෙර හෙවත් මදිරා පානයේ අතීතය සෝමපානය දක්වා දිවයයි. එය ශාක සාරයෙන් සකසා ගන්නා රා මෙන් මත්වන පාන විශේෂයකි. දෙවියන් සතුටු කිරීමේ දී යාග සඳහා භාවිත කළ මේවා එකල ක්ෂත්‍රිය කුලවල ජනපි‍්‍රය පානයකි. වර්තමානය වන විට විවිධ නාමයන්ගෙන් යුතු පලතුරු මිශ්‍රිත මත්පාන ලෙසත්, වෙනත් රසායනික ද්‍රව්‍ය එක් කළ මත් පාන වර්ගත් වෙළඳපොළට පැමිණ ඇත. එපමණක් නොව මත්ද්‍රව්‍ය ලෙස ගංජා, මර්ජුවානා, හසිස්, අයිස්, හෙරොයින්...... විවිධ මත්ද්‍රව්‍ය දක්නට ඇත. මේ මත්වන සියලු දේ මිනිසාගේ මොළය හා එහි ක්‍රියාකාරිත්වය අඩපණ කරලීමට සමත් වන අතර ඔවුන් අසාමාන්‍ය වීමට මේවා බලපානු ඇත. එදා බුදුන් දවස නාලාගිරි නම් දරුණු හස්ති රාජයාහට රා කළගෙඩි හැටක් පොවා බුදුන් වහන්සේ ඝාතනය උදෙසා එවන ලද්දේ ද මෙසේ පියවි සිහිය විකෘතියට පත්කොට අසාමාන්‍ය කිරීම තුළින් ය. මෙම මත් වන සියලු දේ තුළින් මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි අතර, එයින් සියලු ස්නායු සබඳතා ක්‍රියාකාරීත්වය දුර්වල හා අඩාලත්වයට පත් කරනු ලැබේ. එවිට තම ශරීරය පාලන හැකියාව අඩපණ වනු ඇත.

කල්ගත වීමේ දී මේ මත රුධිරගත වීමත් සමඟ ම රුධිරයට එය නොමැති වීමෙන් ශරීරය අඩපණ වීම, මස් පෙරළීම, කබ, සෙම්, සොටු ගැලීම, දහඩිය දැමීම, ආතතියට පත්වීම, හේතු කොට ගෙන ශාරීරික විරමන තත්ත්වය ඇති වේ. එවිට පුද්ගලයාට නැවත නැවත මත්ද්‍රව්‍ය ගැනීමට සිදුවීම හරහා ඇබ්බැහි වීමක් සිදුවේ. ඒ තුළින් සිදුවන තවත් බලපෑමක් වනුයේ පුද්ගලයා යථාර්ථයෙන් දුර පවතින සුවදායක ලෝකයකට ඇතුළත් වීමේ ලක්ෂණයයි. එයට පුද්ගලයා වඩාත් පි‍්‍රය වේ. මතට පෙම් බඳින්නෝ නිර්මාණය වනුයේ මේ හේතුවෙනි.

දැන් ඔබට වැටහෙනවා ඇති සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිල් පදය සමාජගත කිරීමේ වැදගත්කම. කුඩා කාලයේ පටන් මනසට මතට නැඹුරුවීමේ ආදිනව හුරු කිරීම තුළින් පුද්ගලයාට මත පිළිබඳ පවතින ආකල්ප, ආශාව, ආකර්ෂණය තුරන් කිරීමේ හැකියාව ඉන් බලාපොරොත්තු වේ. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරෝ පහර යොදා කඩනවාට වඩා කුඩා අවධියේ ම ළමා මනස තුළ මතට තිත තැබීමට හුරු කිරීම වඩාත් ඵලදායී වනු ඇත. මත් රකුසාගේ බැල්ම වැටීමට මත්තෙන් අප අපගේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීම සිදුකළ යුත්තේ ඒ බැවිනි.

සැබැවින් ම බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය, මංගල, වසල සූත්‍රය, පරාභව සූත්‍ර.....ආදී සූත්‍ර ඔස්සේ දේශනා කරන ලද්දේ පුද්ගලයකු සතු යුතුකම් වගකීම් සමුදාය කෙබඳු ද යන්නයි. ඒ අතර මාතාපිතු උපට්ඨානය, අඹු දරු යුතුකම් වගකීම්, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා සාකච්ඡා පැවැත්වීම, සුදසු ප්‍රදේශවල විසීම, යහපත් කර්මාන්ත කරමින් ජීවිකාව සරිකිරීම, කල්‍යාණ මිත්‍ර ඇසුර, ඥාති සංග්‍රහය, ආධ්‍යාත්මික අංශයට නැඹුරු වීම යනාදී කාරණාවල නිරතවීම තුළ පුද්ගලයාට නිකරුණේ නාස්ති කිරීමට කාල වේලාවක් නොමැති වන්නේ ය. පරාභව සූත්‍රය හරහා දේශනා කළ පුද්ගලයා පරාභවයට යන දොරටු දොළහක් වදාළ අතර, ඉන් එක දොරටුවක් ලෙස මත් වතුර, මත්ද්‍රව්‍ය භාවිතය ද වදාළහ.

මතට නැඹුරුවීම තුළ ධනය, ශ්‍රමය, කාලය, පවුල හා ශරීරික සෞඛ්‍ය පිරිහීම නොවැළැක්විය හැකි බව විස්තර කොට වදාළහ. සුරා සොඬකු වූ විට තම ධනෝපායන මාර්ගය වැසී යනු ඇත. දරුවන් බිරිඳ තමාගෙන් දුරස් වනු ඇත. ඥාති හිතමිතුරන් අතර අප්‍රසාදයට පත් වනු ඇත. ආගමට දහමට ගරහන්නකු බවට පත්වනු ඇත. පුද්ගල පෞරුෂත්වය ගිලිහී දිනෙන් දින මරණය කරා යනු ඇත. එහෙත් පුද්ගලයාහට එය නොවැටහෙයි. ඔහු තාවකාලික සුවයක ගිලි සිටිනු ඇත. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය ඔහුගේ දෙලොව ම නසන ක්‍රියාවක් ලෙස ද හඳුන්වා දෙන ලදී.

සතුට, විනෝදය, මත්පැන් යන භූමිකා රංගනය අද සමාජය තුළ සුලභ ය. තම ජීවන පිරමීඩය ජය ගත් විට තම සතුට සැමරීමට මතට ලොල් වී උපයාගත් සියල්ල නැවත ශූන්‍ය කර ගනී. අනෙක් අතට දුක්බර ජීවිත ගත කරන්නවුන් තාවකාලික සතුට පතා යථාර්ථයෙන් දුරස් ව ජීවත්වීමට මතට ඇබ්බැහි වනු ඇත. පුද්ගලයා අතර පවතින ආධ්‍යාත්මීය හිඩැස පූර්ණ කිරීම උදෙසා ඉහත දැක්වූ සූත්‍ර දේශනා බෙහෙවින් ඉවහල් වනු ඇත. ඒ තුළ මනා ජීවන කළමනාකාරීත්වයක් ලැබෙනු ඇත. පෞරුෂත්ව වර්ධනයක් සිදුවනු ඇත. ඒ තුළින් දෙලොවට ම වැඩදායී වන මාවතක් විවර වනු ඇත.

බුදු දහම අනිත්‍යය පමණක් වදාළ දහමක් නොව යහපත් ලෞකික ජිවිතයකට අවශ්‍ය කාරණාවන් ද දෙසූ තුන්කල් දෙසුමකි. ඒ තුළ ආර්ථික, දේශපාලනික, සාමාජික, සංස්කෘතික, ලිංගික, ආගමික, ආධ්‍යාත්මික යන සියලු ක්ෂේත්‍ර අනාවරණයන් අන්තර්ගත ය. ධර්මය යනු සර්පයකු බඳු ය. එය නිවැරැදි ලෙස නිවැරැදි ස්ථානයෙන් අල්ලා ගත් විට තම දිවිය දෙලොවට ම සුවදායී කාර ගත හැකි ය. මතින් තොර සමාජයක් ගොඩනැංවීමෙහි ලා ධර්මය තුළ ලබා දෙන ආලෝකය කෙරෙහි අප සිත් යොමු කළ යුතු ය. ධර්මපානය ඉතා මිහිරි ය. එහෙත් එය නොදන්නා වුන් මත්පානයට නැඹුරු වී සසරේ වල්මත් වනු ඇත.

එහෙත් වර්තමානයේ දී එම ධර්ම රසය ලොවට දේශනා කිරීමට සිටින බුද්ධ පුත්‍රයන් වහන්සේගේ චරිතය ද ඝාතනය වන අන්දමේ අමනෝඥ ක්‍රියා, වීඩියෝ දර්ශන, පුද්ගල චරිත, සමාජ මාධ්‍ය හරහා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරලීමක් සිදුකරනු ලැබේ. මෙය ද එක්තරා ආකාරයක මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් විසින් මතට එරෙහි ව හඬ නඟන්නන් විනාශ කිරිමට අටවන උගුලක් ද වෙයි. මේවා මතට එරෙහි වන සියලු දර්ශන ලොවෙන් තුරන් කරලීමට, නිහඬ කරලීමට කරන වක්‍රාකාර ඇටවුම් වෙයි. මේ පිළිබඳ බුද්ධිමත් ව සිතා බලා කටයුතු කිරීමේ කාලය උදා වී ඇත.

මන්ද, යම් දහමක් විනාශ කිරීමට නම් එම දහම තුළට පැමිණ ඒ තුළ හිඳ ප්‍රකෘතිය විකෘතිය කිරීමක් හරහා එය පහසුවෙන් කළ හැකි වේ. මෙවැනි ක්‍රියා දායමයන් ශාසන ඉතිහාසය තුළ මීට පෙර ද සිදු වී ඇත.

දස අකැප වස්තූන් කැප යැයි පවසමින් සිදු කළ ක්‍රියාදාමයන් හේතුවෙන් දෙවැනි ධර්ම සංගායනාවක් සිදුකිරීමේ අවශ්‍යතාව පැනනැඟුණේ ද එබැවිනි. ධර්මයේ හැසිරෙන්නන් ධර්මය විසින් ආරක්ෂා කරන බවත්, මතෙහි හැසිරෙන්නන් මත්බව තුළින් ම විනාශ කරන බවත් යළි යළිත් පසක් කර පෙන්වා දෙමින් සමාජ ජාලා ඔස්සේ, අපගේ මතු පරපුරෙහි ආධ්‍යාත්මික පැතිකඩ හිස් නොවනා ලෙස පිරවීමෙන් මතට තිතක් තැබීමේ ඉඩප්‍රස්ථා උදාවනු ඇත.

ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]