[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක

භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක

මේ සංසාර ගමන ඉතා බිහිසුණු ය. බියකරු ය. අවිද්‍යාව නම් අන්ධකාරයේ වෙළී සිටින සත්ත්වයා එයින් මුදවා ගැනීමටයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කල්ප කාලයකට පසුව සත්ත්වයාට අනුකම්පා පිණිස මනු ලොව පහළ වනුයේ.

ජාති, ජරා, මරණ, දුක් සහිත මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ඒ අනන්ත අපරිමිත මහා ගුණ කඳ බුදුගුණ නවයකට කැටි කොට තිබේ. මේ ගුණ නවය තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය නමැති මහා සමුදුරට එක්වන මහා ගංගා නවයක් බඳු යි. මේ ගංගා නවයෙන් කුමන ගංගාවකට බැස ස්නානය කළ ද, ඒ ශ්‍රාවකයාට හිමිවන්නේ සැපතකි. සතුටකි. සැනසීමකි.

නව අරහාදී බුදුගුණ ලෙස තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ, පුරිසධම්ම සාරථි, සත්තා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා ලෙසයි.

සකල ලෝකයේ සියලු ම දෙනාගේ බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් සෝවාන් පුද්ගලයකුට ඇතැයි ද, සියලු සෝවාන් පුද්ගලයන්ට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතැයි ද, සියලු සකෘදාගාමි පුද්ගලයන්ට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් අනාගාමි පුද්ගලයකුට ඇතැයි ද, සියලු අනාගාමී උතුමන්ට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් අර්හත් උතුමකුට ඇතැයි ද, සාමාන්‍ය රහතන් වහන්සේගේ බුදුගුණ දැනුමට වඩා මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේට ඇතැයි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේ අතරින් ද මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කච්චායන, මහා කොට්ඨිත යන මහ තෙරුන් වහන්සේට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතැයි ද, ඒ සතර මහ තෙරුන් වහන්සේගේ බුදුගුණ දැනුමට වඩා දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේට ඇතැයි ද, උන්වහන්සේ අතරින් මහා සැරියුත් මහ රහතන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතැයි ද, සැරියුත් මහ තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඇතැයි ද, ඉදින් සක්වල පුරා සිවුරු කොණින් සිදුරු කොණ ගැටෙන සේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලු පසේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සමුදායට මහත් වූ බුදුගුණ ඥානයක් එක් ලොවුතුරා බුදුරජාණන් වහන්සේට ඇතැයි ද සම්පසාදනීය සූත්‍ර අටුවාවේ දක්වා ඇත්තේ ය.

එවන් බුදුගුණ අතරින් මුල් ම ගුණය වන්නෙන් “අරහං” ගුණය යි.

අපේ සමාජයේ ඇතැම් දෙනා “අරහං” කියන බුදුගුණයට නිසි ගෞරවයක් දීම හෝ ඒ පිළිබඳ මනා දැනීමක් ඇතැයි සිතිය නොහැකි යි. ඇතැම් දෙනා තමන් අකැමැති ම වූ දේ වෙනුවට ‘අරහං’ කියන වචනය පාවිච්චි කරති. ඔවුන් ඒ සඳහා “අරහං” කියන වචනය යොදමින් ඒ කෑම නම් මට අරහං, ආදී ලෙස කියනු ඇසේ. ඔවුන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනා ගෞරවයක් හෝ අරහං ගුණය ගැන මනා දැනීමක් නොමැති නිසා එසේ කියනු ඇති.

අරහං බුදු ගුණය විස්තර වශයෙන් කියතොත් එය මහා සාගරය බඳු ය. කෙටියෙන් කියතොත් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද, කෙලෙස් සතුරන් නැති කළ හෙයින් ද, පටිච්චසමුප්පාද ධර්මය සම්පූර්ණ වශයෙන් අවබෝධ කොට සංසාර චක්‍රය සිඳලූ හෙයින් ද, සියලු ලෝකයාගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වූ හෙයින් ද රහසින්වත් පව් නොකළ හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

මුළු ජීවිත කාලය පුරාවට ම උන්වහන්සේ සිතින්, කයින්, වචනයෙන්, නුවණින් සහ සිහියෙන් යුතුව සෑම ක්‍රියාවක් ම සිදුකළ සේක. කිසිවකුගේ ගුරු උපදේශ රහිත ව තමන් වහන්සේගේ ඥානයෙන් නිර්වාණ අවබෝධය කරගත් බැවින් ද, සියලු පූජාවන්ට සුදුසු වන සේක. සසර දුක් නිවා සත්ත්වයා සනහා ඉතා සියුම් වූ ඒ නිර්වාණ ධාතුව තමන් වහන්සේගේ ම නුවණින් අවබෝධ කර ගැනීම මහත් වූ අසීරු කරුණකි. නමුත් සම්මා සම්බුද්ධත්වය යන ශ්‍රේෂ්ඨතම උත්තමභාවයට පත් බුදුරජාණන් වහන්සේ කෙ තරම් නම් පුද පූජාවන්ට සුදුසු වන සේක් ද?

බෝධි මූලයේ දී මාර සේනාව සමඟ යුද වදිද්දී උන්වහන්සේගේ උපකාරයට තිබුණේ සත්‍ය වචනයත්, අධිෂ්ඨානයත්, පිරූ පාරමි බලයත් පමණ යි. සත්‍ය වූ, අර්ථ සහිත වූ වචන කතා කළ හෙයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

භාග්‍යවතුන් වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලයේ දී සියලු කෙලෙස් නසා බුද්ධ රාජ්‍යයට පත් වූ සේක. ඉන්පසුව ලෝකයෙහි අන් කිසිවකුට නො ලැබෙන පරිදි අප්‍රමාණ සිව්පසය ලැබීම ද තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයකි. ජීවමාන කාලයේ දී උන්වහන්සේට කෝටි සංඛ්‍යාත ධන වියදමෙන් සැදැහැවත්හු වෙහෙර විහාර කරවා පූජා කළහ. ගඟක් ගලා යන්නාක් මෙන් අපමණ ආහාරපාන, සිවුරු, පිරිකර උන්වහන්සේ වෙත ගලා එන්නට විය. මිනිසුන් පමණක් නොව, දේව බ්‍රහ්මාදීහු ද උන්වහන්සේට අපමණ පූජා පැවැත්වූහ. පිරිනීවීමෙන් පසුව අද දක්වා ම උන්වහන්සේට අපමණ සත්කාර ලැබෙන්නේ ය. එක් දිනෙක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන මල්, පහන්, ආහාරපාන රාශියක් එක්තැන් කළහොත් කෙ තරම් ද කියා ඔබට සිතාගත හැකි ද?

දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණ පිළිසඳර කතා කොට එකත්පසව හිඳ මෙසේ කීය.

“පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජ පරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහලු බ්‍රාහ්මණයන්ට වන්දනා කිරීමට හෝ දැක හුනස්නෙන් නැඟිටින්නට හෝ අසුනක් දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. පින්වත් ගෞතමයන් වහන්ස, මා අසා තිබෙන කරුණ එසේම ද? එය සත්‍යයක් ද?

බ්‍රාහ්මණය, මා විසින් වන්දනා කිරීමට හෝ හුනස්නෙන් නැඟිටීමට හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, ගසකින් ගිලිහී තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස ගිලිහී බිම වැටෙන්නේ යැයි වදාළ සේක. එය තථාගතයන් වහන්සේගේ ආනුභාවයයි. අරහං නම් ගුණය යි. (අංගුත්තර නිකාය අට්ඨක නිපාතය)

භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේ දී කෙලෙස් මාර සේනාව මුළුමනින්ම පරාජයට පත්කළ සේක. 1. ක්ලේශ කාමය, 2. අරතිය, 3. සා - පිපාසය, 4. තෘෂ්ණාව, 5. ථීනමිද්දය, 6. බිය 7. විචිකිච්ඡාව 8. ගුණමකු බව, 9. ලාභ සත්කාර හා යසස, 10. තමන් උසස් කොට අනුන් පහත් කොට සිතීම දසමාර සේනාවෝ යි. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේ දී මේ දසමාර සේනාවෝ සම්පූර්ණයෙන් ම නසා දැමූ හෙයින්, අරහං නම් වන සේක.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ තුන්ලෝකවාසීන්ගේ ආමිස, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වූ හෙයින්, අරහං නම් වන සේක. දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් අනන්ත වූ කරුණා මෛත්‍රියෙන්, සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර උතුම් බුද්ධ රාජ්‍යයට පැමිණි නිසා තුන් ලෝකවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වූ සේක. බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ විඳ, දිවෙන් රස විඳ, කයෙන් පහස ලබා, මනසින් අරමුණු සිතා ඒ කෙරෙහි නො ඇලුනු නිසා ද, නො ගැටුණු නිසා ද, මුළා නොවුණ නිසා ද, ආශාව දුරු කළ නිසා ද අරහං නම් වන සේක.

මේ නොයෙක් ආකාරයට ශ්‍රාවකයාට අවස්ථාව තිබෙනවා අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය තේරුම් සහිත ව ඉගෙන ගෙන වන්දනා කරන්න. නව අරහාදි ගුණ අතරින් අරහං ගුණය ඉතා සුන්දර ය. අර්ථ සහිත ය. ඒ සුන්දර අරහං ගුණයට අපගේ නමස්කාරය වේවා.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]