[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක පෝ දා 2024-03-24

නරක පුරුදු වළකමු

ඇබ්බැහිවීම යන්න මෙකල සුලබ ව අසන්නට ලැබෙන වදනකි. යහපතෙහි ද ඇබ්බැහි විය හැකි ය. ධර්මානුකූල ජීවිතයකට, ප්‍රතිපත්තිගරුක ජීවිතයකට, පින් කුසල් වඩන්නට ඇබ්බැහි වූ පුද්ගලයා තමන්ගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද සුබවාදී තැනකට ගෙන යන්නෙකි. එහෙත් අද සමාජයේ කතාබහට ලක්වන්නේ නරක ඇබ්බැහිවීම් නිසා වන සමාජමය අර්බුද පිළිබඳ ය.

නොහික්මුණ පුද්ගල ඇසුර, වැඩිහිටියන්ගේ අවධානයෙන් ගිලිහීම, නොසලකා හැරීම, අන්ධානුකරණය ආදි දේ ප්‍රධාන කොට ගනිමින් අද ඇතැම් පාසල් දරුවන් පවා අශීලාචාර ඇබ්බැහිවීම්වලට යොමුව තිබේ. විශේෂයෙන් ජංගම දුරකතන අවභාවිතයට හා මත්ද්‍රව්‍යයට, අධික කාමාශාවන්ට, තණ්හාධික බවට ඇබ්බැහිවීම නිසා සිදුවන විනාශයන් මහත් ය. එහි අහිතකර විපාක අද මුළු මහත් ලෝකයම අත්විඳී.

අප බොහෝ දෙනෙක් වරදකරුවන් දකින්නේ අපෙන් දුරස්වූවන් ලෙසිනි. කරදර, විපත්, තමන්ට දැනෙන්නේ තමන්ට හෝ තමන්ගේ සමීපතමයකුට ඒ දෙයට මුහුණ දෙන්නට වූයේ නම් ය. අපි සියලු දෙනා දම්වැල් පුරුක් මෙන් මේ සමාජය තුළ එකිනෙකාට විවිධාකාරයෙන් බැඳී සිටිමු. කවර පුද්ගලයකු වරදක් කළ ද එහි අහිතකර තත්ත්ව කෙදිනක හෝ සියලු දෙනාට විඳින්නට වන බව අමතක නොකළ යුතු ය. එහෙයින් වරද දුටු තැන නිවැරැදි කරන්නටත්, වරදක් නොවන ලෙසට තමන්ගේ සිතිවිලි හා හැසිරීම් හසුරුවා ගන්නටත් සියලු දෙනා තම තමන්ට ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ය.

නිරෝගි බව පරම ලාභය බව බුදු දහමේ ඉගැන්වෙයි. සිත, කය ලෙඩ වූ කල නොලැබුණු දියුණුවක් ලබන්නටත්, ලැබූ දියුණුවෙන් ප්‍රයෝජන විඳීමටත් නොහැකි වේ. නිරෝගි පුද්ගලයා නොලැබුණු දියුණුව ලැබීමටත්, ලැබූ දියුණුවෙන් ප්‍රයෝජන විඳීමටත් සමත් වන්නේ ය. පුද්ගල අභිවෘද්ධියට හේතුවන පළමු කරුණ නිරෝගි බව වන්නේ එබැවිනි.

කායික මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා පිළිපැදිය යුතු විවිධ ප්‍රතිපත්ති තිබේ. ඒ අතර පන්සිල්වලට අයත් මත්ද්‍රව්‍යවලින් වැළකීමේ ශික්ෂාපදය මනා ලෙස ආරක්ෂා කිරීම ඉතා වැදගත් වෙයි.

මත්ද්‍රව්‍ය හා මත්වතුරට ඇබ්බැහි වූවෝ අද සමාජයට ම පිළිලයක් වී තිබේ. මේ ඇබ්බැහිවීම් නිසා විවිධ රෝගවලට ලක්ව පීඩා විඳින්නෝ අපමණ ය. ආර්ථිකව පරිහානියට ලක්වූවෝ අපමණ ය. ඔවුන් නිසා අඹුදරුවන් මහමඟට වැටුණු අවස්ථා විරල නැත. වඩාත්ම සැලකිය යුතු මෙවැනි ඇබ්බැහිවීම්වලට පාසල් දරුවන් පවා ගොදුරු කර ගැනීම ය. එවැනි ජාවාරම්කරුවෝ පසුගිය කාලසීමාවේ වරින්වර නීතියේ රැහැනට හසුකර ගැනිණි.

බහුතරයක් සිසුන් ගැවසෙන ස්ථානවල දී ඔවුන් රවටා උපක්‍රමශීලී ව දුසිරිතට ඇබ්බැහි කොට, ආර්ථික වාසි සලසා ගැනීම මෙම පුද්ගලයන්ගේ පරමාර්ථය යි. මොවුන්ගේ උගුල්වලට හසුවන අපේ සමහර අහිංසක පාසල් සිසුන් අඳුරට ම ඇදෙනු විනා කෙසේ නම් ආලෝකයක් දකින්න ද? මේ ඛේදවාචකය නවතන්නට මවුපිය, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, සමාජ නායකත්වයට පැවරෙන වගකීම සුළුකොට නොතැකිය යුතු ය.

කවර බලපෑම් පැමිණිය ද නරක ඇබ්බැහිකම්වලට ගොදුරුවන සියල්ලන් ඉන් මුදවා යහපතට ඇබ්බැහි කරවීමේ අවශ්‍යතාව එක් සිත්ව තේරුම් ගැනීමට සියලු දෙනා කටයුතු කරන්නේ නම් අගනේ ය.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]