[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආත්මාරක්ෂාව සලසන බලගතුම ආයුධය

ආත්මාරක්ෂාව සලසන බලගතුම ආයුධය

අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤ තරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුංසුමාර නුවර භේස කලා වනයේ දී බෝධිරාජ කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

බිම්බිසාර මහ රජුගේ පුත් බෝධිරාජ කුමරු පෙර කළ පුණ්‍ය මහිමයෙන් මහත් ඉසුරු සම්පතින් හැදී වැඩී සෙසු කුමරුන් අතර වැජඹුණේ ය. මෙම කුමරුට දඹදිව සියලු මාළිගා පරදවා දෙව්විමනක් වැනි මාලිගාවක් තැනවීමට ආශාවක් ඇති විය. එය හැකි ඉක්මනින් නිම කරවීය. මේ මාලිගය අහසේ පියාසර කරන මාලිගයක් වැනි ය.

ඉතා අලංකාර ය. කෝකනද නම් වූ මෙම මාලිගාවට පිවිසීමේ මංගල්‍යය ද ඉතා උදාර ලෙස සිදු කිරීමට සිත් විය.

ප්‍රථමයෙන් බුදුරදුන් හා මහ සඟරුවන වැඩම කරවා දන් පිලිගන්වා මාලිගයට ගෙවදීමේ උත්සවය කරන්නට කටයුතු පිළියෙළ කරවීය.

මාලිගයට පිවිසෙන තැන් පටන් ශ්වේත වර්ණ පිළි අතුරා මට දරුවකු ලැබෙන්නේ නම්, බුදුරදහු මේ පාවාඩ මතින් වඩිනා සේක්වා’යි අදිටන් කර ගත්තේ ය. එහෙත් බුදුරදහු පාවාඩ මතින් නොවැඩියහ. පාවාඩ ඉවත් කළ පසු මාලිගය තුළට වැඩි සේක.

දන් වළඳා අවසන් වූ පසු බෝධිරාජ කුමාරයා බුදුරදුන් සමඟ සතුටු සාමීචි කතා පවත්වා බුදුරදුන් පාවාඩ මත නොවැඩීමට කාරණා විමසූහ. කුමරු සිතූ පැතුම් ඉටු නොවන නිසා යැයි වදාළ සේක. එසේ දරුවන් නොලැබීමට කරුණු විමසූ කල කුමරුගේ අතීත භවයක දී කළ අකුසලයක් කුමරුට මතක් කර දුන් සේක.

කුමරුනි, ඔබ පෙර ආත්මයක නැව් නැඟී යන විට නැව කැඩී ගියේ ය.

ඉන් පසු පිහිනා ගොස් දිවයිනකට ගොඩබැස ආහාරයට ගන්නට දෙයක් නො මැතිව සිටියදී බෙහෝ කුරුලු බිත්තර හා කුරුල්ලන් ආහාරයට ගත් නිසා එහි ප්‍රතිවිපාක වශයෙන් මේ ආත්මයේ දරු සම්පත් නැතිවු බව දේශනා කොට වදාළ සේක.

තමන්ට තම ආත්මය පි‍්‍රයවීම සොබා දහමකි. එහෙත් එම ස්වභාවය බුද්ධියෙන් සිතා, ආත්මය ප්‍රාණඝාතාදී අකුසල්වලින් මුදවා දාන, සීල, භාවනාදී කුසල්වලට යොමු කළ යුතු වන්නේ ය.

ලෝකයේ සෑම කෝලාහලයක් ම සිදුවන්නේ අත්තුක්කංසන පරවම්භන හෙවත් තමා උසස් කොට සැලකීම හා අනුන් පහත් කොට සැලකීම නිසා ය. නවීන විද්‍යා ඥානයන්, බුද්ධ ධර්මයේ දැක්වෙන විවෘත මානසික කුසලතාවත් ලෝක ජනතාවට හඳුන්වා දෙන්නේ නම්, මානව සමාජය මෙතරම් දරුනු වන්නේ නැත.

ආත්මය වශයෙන් අප හඳුන්වන්නේ මානසික බලයක් ඇති ශරීරයටයි. එහෙත් එයින් වන හානිය හෝ යහපත හෝ පිළිබඳ වගකීම ඇත්තේ එම ආත්මය අයිති තැනැත්තාට ම ය.

දාන,ශීල, භාවනාදී පින් දහම් කිරීමෙන් තම ආත්මය ආරක්ෂා වන්නේ ය. සත්ව හිංසාව නිසා ඇතිවන කරදර හිරිහැර සන්තාප අපමණ ය. බන්ධනාගාර, උසාවි, පොලිසි ආදී තැන්වල ක්‍රෝධයෙන්, අමනාපයෙන් බේදභින්න වී ලතැවෙන්නේ පස්පව් දස අකුසල් කරන මිනිසුන් ය. මිනිසා මිනිස්කමින් පහතට වැටී තිරිසන් ගතියෙන් ආත්මය ගෙවා, මරණින් මතු සතර අපාගත වන්නේ පස්පව් නිසා ම ය.

අන්ධානුකරණය නිසා මිනිසා භෞතික සම්පත් අවිචාරී ව පරිහරණය කරයි.

ආත්ම ආරක්ෂාව සඳහා වර්තමාන මානව සමාජය ඉතා භයානක අවි ආයුධ භාවිත කිරිමෙන් විශාල ධනස්ඛන්ධයක්, කාලයක්, ශ්‍රමයක් වියදමක් දරන්නට සිදු වීමෙන් සමස්ත වශයෙන් ලෝකයම අවිනිශ්චිත කාලයක නැවතී ඇත. මෙම ස්වරූපය නැතිකොට ශුභවාදී ලෝකයක් දකින්නට, එමෙන්ම මරණින් මතු දෙව් මිනිස් සැප සම්පත් කෙළවර නිවන් සම්පත් ලබා ගැනීමට මෙම ධර්ම දේශනාව මූලාධාර වේවායි ප්‍රාර්ථනා කර ගන්න.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]