[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බැඳෙන තරමට දුක ම උරුමය

බැඳෙන තරමට දුක ම උරුමය

ලොව තුළ ඇති සියලු විද්‍යාවන්, විෂයයන්, ක්‍රමවේද සකස්ව ඇත්තේ පුද්ගලයගේ දියුණුව පිණිස, සතුට පිණිස අත් කර දීමටයි.

මේ නිසා නොයෙක් දේ අල්ලා ගනියි. ගේ- දොර, වතු - පිටි, ඉඩ - කඩම්, මිල - මුදල් ආදි ලෙස භෞතික සම්පත් ද, දූ - දරු, නෑදැ - මිතුරු ආදි වු මානව සම්පත්, තනතුරු, නම්බු නාම අප අල්ලා ගන්නේ ඒ නිසයි.

බාහිර දේ අල්ලා ගැනීම නිසා අභ්‍යන්තරය ද අල්ලා ගනියි. ඒ රාගාදි නරක කෙලෙස් ය. මේ නිසා අපි භව සසර තුළ ඇලී, බැඳී, එල්ලී, දුකින් සිටිමු. ගැළවීමක් නැත. අප ඇද බැඳ තබන බැමි දහයක් අප එල්ලා තබන, ලණු දහයක්, කොකු දහයක් වෙයි. දස සංයෝජන යනු ඒවා වෙයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා යනු අප සසර බැඳ තබන රැහැන් ය. එල්ලා තබන කොකු ය.

මේ රැහැන්වල බැඳෙන්නේ, කොකුවල එල්ලෙන්නේ තමන්ට අයිති කර ගැනීමට ගන්නා ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. බැඳුන ජීවිත තුළ ඇත්තේ දුකයි, අසතුටයි පමණි. අත හැරීම තුළ, වෙනස් වීම, අලුත් වීම තුළ සතුට දියුණුව පවතින බව ලොවට ප්‍රකාශ කළේ ලොව්තුරු ශාන්තිනායක අමා මෑණී බුදු පියාණන් වහන්සේ පමණයි.

සිද්ධාර්ථ කුමාරයන්ගේ මහභිනිෂ්ක්‍රමණය, පවතින තත්ත්වය අතහැර අලුත් තත්ත්වයකට යෑමකි. ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයකට යෑම, රජ සැපත අතැහැර කිසිවක් අයිති නැති තත්ත්වයට පත් වීම, රම්‍ය සුරම්‍ය වශයෙන් වූ මාලිගා අතහැර රුක්ඛමූල සෙනසුන් ලබා ගැනීම, රාජාභරණ කසී සලු අතහැර පාත්‍ර සිවුරු පමණක් ඇති ජීවිතයකට පත් වීම, සිතිවිලි තුළින් ද අභිනිෂ්ක්‍රමණය විය. රාජ්‍ය භාවය සමග වූ මානය නැති විය. නිහතමානය ඇති විය. පිණ්ඩපාතයෙන් අහර ගත්තේ, හිස මුඩු කළේ මේ නිසයි. රාගය නැතිවිය. බුදු දහම තුළම ඇත්තේ අතහැරීමකි.

පවතින දුක අතහැර සතුට ලබන්න, පවතින දිරා පත්වීම හැර නොදිරන කෙනෙක් හදන්න, පවතින ලෙඩවීම අතහැර නිරෝගියෙක් හදන්න, පවතින මරණය නැති කොට අමරණීය තත්වයක් ගොඩ නැඟීම බුදු දහම තුළින් සිදු වෙයි.

අතහැරීම, අතහැරිය යුතු දේ, අතහැරීම තුළ ඇති දුෂ්කරතාව, නිවැරැදි අත්හැරීම සඳහා කළ යුතු දේ යන්න පිළිබඳ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ උරග සූත්‍රය තුළින් හොඳින් දක්වයි. පවතින තත්වයේ සිට අලුත් තත්වයකට මාරු වීම, ගමන් කිරීම අතහැරීමයි. වෙනස් වීමයි. අලුත් වීමයි.

දියුණුව සදහා බුදු රජාණන් වහන්සේ දේශනා කළ මේ අතහැරීම, මේ වෙනස් වීම , මේ අලුත් වීම අවශ්‍ය බව වර්තමාන භෞතික දියුණුව සඳහා කළමනාකරණ උපක්‍රම සොයන, සඵලදායිතාව සොයන උදවිය පිළිගනියි. පුද්ගලයා, ආයතන අර්බුදකාරි තත්ත්වයට පත්ව ඇත. අයිති කර ගැනීමේ තරගය, ඒ සඳහා යොදන උපක්‍රම, ඒ තුළින් ගොඩනැඟෙන දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික, සමාජ සංස්කෘතික තත්ත්ව අර්බුදකාරි තත්ත්වයයි.

දියුණුව සඳහා පුද්ගලයා, සමාජය, ක්‍රියාවලිය, තාක්ෂණය, ව්‍යූහය, උපාය මාර්ග, සංස්කෘතිය, නායකත්වය, සන්නිවේදනය වෙනස් විය යුතු බව වර්තමානයේ ද පිළිගනියි. මේ ලෞකික දියුණුව උදෙසායි. බුදුරජාණන් වහන්සේ ලෞකික දියුණුව උදෙසා, පාරලෞකික දියුණුව උදෙසා, ලොකෝත්තර දියුණුව උදෙසා පවතින තත්වය අත හැර, වෙනස් තත්වයකට, අලුත් තත්ත්වයකට යා යුතු බව උරග සූත්‍රයේ දී දේශනා කළහ. පුද්ගල සන්තාන වෙනස සමාජ වෙනසට හේතු වන බව එහි දක්වයි. පුද්ගල අත හැරීම සමාජ දියුණුවට හේතුවන බව එහි දක්වයි.

උරග සූත්‍රයේ දී අත හැරීම දැක්වීමට කදිම උපමාවක් ගනී. “ උරගො ජිණ්නමිව තචං පුරාණං ”

උරගයකු, නයකු, පොළඟකු, ගැරඬියකු, පිඹුරෙකු ,ජිණ්ණං - දිරාපත් වූ, පුරාණං තචං පැරැණි හම, නැතහොත් හැව අතහරින්නාක් මෙන් යැයි කියයි. උරගයකු හා සම්බන්ධ ව ගත් කල මෙය පහසුවෙන් කරන දෙයක් නොවෙයි. උරගයා හැව අරින්නේ අපහසුවෙනි. ඌ දැඩි වේදනාවක් විඳියි. ඒ එක දිනක් නොව දින කිහිපයක් විය හැක. ඒ සඳහා හේ ගහක්, ගලක්, කොටයක් උපකාරි කර ගනියි. දැඩි වීර්යයක් ගනියි. එහෙත් හැව ඇරිය විට ඌ යළිත් අලුත් වෙයි. ඌට සුවපහසුවක් දැනෙයි. සතුටක් දැනෙයි. පෙර සේ හැසිරෙයි. මේ උපමාව තුළින් අතහැරීමට ඇති අපහසුව, අතහරිද්දි වන වේදනාව, ඒ සඳහා යොදන කාලය හා වෙහෙස දක්වයි. අතහැරීම සඳහා ඇති දුක හා අතහැරීමෙන් ඇතිවෙන සතුට දක්වයි.

බුද්ධ ශ්‍රාවකයා අතහැරීම කළ යුතුයි. අවබෝධය යනු වෙනස් වීමයි. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බණ අහලා වෙනස් විය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ විය. ඒ නිසා උන්වහන්සේ අවබෝධය ලැබූ බව කියයි. සෝ භික්ඛු ජහාති ඕරපාරං "ඒ භික්ෂුව මෙතෙර අතහැර එතෙරට යැ'යි යන්න මෙහි අදහසයි. මෙහි මෙතෙර යනු සාම්ප්‍රදායික තත්ත්වයයි. සාම්ප්‍රදායික ක්‍රමවේදයයි. ගැඹුරෙන් ගත හොත් මේ පෘථග්ජන ජීවිතයයි. එතෙර යනු වෙනස් වූ තත්ත්වයයි. අලුත් වූ තත්ත්වයයි. ගැඹුරෙන් ගත හොත් නිවන නැමති ජල පහරට ප්‍රවේශ වුණා යන සෝවාන් තත්ත්වයයි.

අත හරින්න ඕන මොනවාද යන්න මෙහි දක්වයි. ඒවා නම් ක්‍රෝධය, රාගය, තණ්හාව, මානය, කාමය, කෝපය, කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, උපදින උපදින අකුසල්, යන නි‍ෂේධනාත්මක චෛතසික තත්ත්වයන් ය.

බුදු දහමට අනුව කෙනෙකුගේ දියුණුව හෝ පරිහානිය ඇති කරන්නේ ඔහු ගේ සිතයි. සිත තුළ ඇතිවන කෙලෙස් නිසා පුද්ගලයා විනාශ වෙයි. සමාජය විනාශ වෙයි. මේ නරක කෙලෙස් පදනම් කොට විවිධ පාපකාරි අකුසල් හි යෙදෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාචා, පරුෂා වාචා, සම්ඵප්පලාපා, අභිධ්‍යා, විෂම ලෝභය, ව්‍යාපාද අනුන් මැරීමේ පෙළීමේ චෙතනාව, මිථ්‍යා දෘෂ්ටිය, විවිධ යහපත් නොවු, අර්ථවත් නොවූ ඇදහිලි විශ්වාස, වැඳුම් පිදුම් ආදි පාප කර්මයන් සිදු වන්නේ මේ නිසයි. මේ පාපකාරි චෛතසික තුළින් පුද්ගලයා විනාශ කරයි. සමාජය විනාශ කරයි.

යෝ උප්පතිතං විනේති කෝධං
විසටං සප්පවිසං’ච ඕසධේහි

සිත තුළ උපන් ක්‍රෝධය නැති කළ යුත්තේ සර්ප විසක් ඖෂධයෙන් නැති කරන ආකාරයටයි.

කෙනෙකුගේ සිත තුළ ක්‍රෝධය පවතී නම් එය සර්ප විසක් හා සමානයි. නයි විස තිබුණොත් ඔහු විනාශ වෙයි. ඒ අයුරින් ක්‍රෝධය තිබුණොත් ඔහුත් විනාශ වෙයි.

විලට බැස නෙලුම්මල් නෙළන්නා සේ
කාම රාගය නැති කළ යුතු ය.

මහ සැඩ දිය පහරක් වියළා දමන්නා
සේ තෘෂ්ණාව නැති කළ යුතුයි.

මහ රළ පහරකින් ඒදණ්ඩක් බිඳ
දමන්නා සේ මානය නැති කළ යුතුයි.

මල් නෙළන්නකු දිඹුල් ගසින් මලක්
නොලබන්නා සේ කාමාදි භවයෙහි
සාරයක් නොලබයි.

මේ ආදි වශයෙන් කදිම උපමා දක්වමින් මෙම චෛතසික නැති කරන ආකාරය දක්වයි.

එය නැති කළ යුතු ආකාරයක් ද වෙයි. අතිධාවනකාරීව, වේගවත් ව නැති කරන්නට උත්සාහ නොගනියි. එමෙන් ම අලසව නැති කිරීම පමා කරන්නේත් නැත.

කෙලෙස් අතිධාවනකාරී ව නැති කරන්නට ගියහොත් එයත් හානි කර වෙයි.

චක්ඛුපාල තෙරුන් වහන්සේ නිදා ගැනීමේ ඉරියව්වෙන් බැහැර ව අනෙක් ඉරියව් තුනින් භාවනා කළහ. උන්වහන්සේට නිවන ලබා ගන්නට හැකි වූහ. එහෙත් දෙනෙත් ආරක්ෂා කර ගන්නට බැරි විය. අතිධාවනකාරී ව, වේගවත් ව මේවා නැති කරන්නට ගියොත් එවන් හානි වෙයි.

එසේම ප්‍රමාද ව, අලස ව කටයුතු කළොත් මේ කෙලෙස් නැති කරන්නට නොහැකි වෙයි. මහා කාල හිමි බණ භාවනා කොට රහත් බව ලැබී ය. ඒ නිසා ඔහුගේ බිරින්දෑවරුන්ට ඔහු නතු කර ගන්නට නොහැකි විය. මහ ගල් පර්වතයක් සූළඟට සෙළවිය නොහැකි සේ ඔහු ශක්තිමත් විය. මාරයාට ඔහු සෙළවිය නොහැකි විය.

චූල කාල එසේ නොවී ය. ඔහු අලස ය, හීන වූ වීර්යය ඇත්තේ විය. ඉන්ද්‍රිය දමනය නොවූ අයෙකි. ඔහු ඔහුගේ බිරින්දෑවරුන්ගේ උපක්‍රමයට හසුව සිවුර හැර යළිත් ගිහි ජීවිතයට වැටිණි. දුබල ගසක් මහා සුළඟට හසුව මුලින් ම උදුරා දමන්නා සේ ඔහු මාරයාට ගොදුරු විය.

ක්‍රෝධය , මානය, රාගය නැති කරන්නට වෙහෙසෙන්නා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බව මෙයින් දක්වයි. මධ්‍යම ප්‍රතිපාදව අනුගමනය කරනවා යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි. එසේ කිරීම තුළින් මෙලොව ජීවිතය සතුටින් ගත කරයි. මෙලොව දියුණුව ලබයි. පරලොව ජීවිතය සතුටු කර ගනියි. සුගතිවල උපදියි. සක්කාය දිට්ඨිය මම ය, මාගේ යන ආකල්පය, මමත්වය, විචිකිච්ඡාවබුද්ධාදි අට තැන්හි සැකය. සීලබ්බත, පරාමාස- මිථ්‍යා ඇදහිලි විශ්වාස, වඳුම් පිදුම්වල යෙදීම, කාමච්ඡන්ද - කම් සැප විදීමේ කැමැත්ත, ව්‍යාපාද - අනුන් මැරීමේ පෙළීමේ චේතනා නැති කොට උතුම් වූ නිවනින් සැනසීම ලබයි. 

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]