[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විශ්ව ව්‍යාප්ත ධර්මචක්‍ර ප්‍රවර්තනයේ ලාංකේය අභිමානය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය

විශ්ව ව්‍යාප්ත ධර්මචක්‍ර ප්‍රවර්තනයේ ලාංකේය අභිමානය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය

බක් මස සිව්වැනි දා 23 වැනි වරටත් පැවැත්වෙන වගයි

 

කිරින්දේ
ශ්‍රී ධම්මරතන නාහිමි

බූටාවත්තේ
ශ්‍රී සරණංකර නාහිමි
Ven.Thich Chon Tu (Thi Yen NgaTran)

 

ගුණගරුක ශික්ෂාකාමී විද්‍යාර්ථින් බිහිකරන තෝතැන්නකි

කුසලතාවයන්, ජීවිතාදර්ශයන් සමඟ ම උසස් දැනුමකින් පෝෂණය කරන බෞද්ධ අධ්‍යාපන ආයතනික ක්‍රමය තුළින් කාලීන අවශ්‍යතා සපුරාලන ගුණගරුක ශික්ෂාකාමී ගිහි පැවිදි විද්‍යාර්ථීන් පිරිසක් රට තුළ බිහි විය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මෙම අධ්‍යාපන ක්‍රමයට තෝතැන්නක් විය.

මෙහි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ගෙන් ජනතාව හුදෙක් අපේක්‍ෂා කරනුයේ දිවයිනේ පවත්නා අනෙකුත් විශ්වවිද්‍යාලයන්ගෙන් ලබා දෙන උපාධි සහිතකය ම නොව, ඊට වඩා සුවිශේෂී අර්ථ සිද්ධියකි. මෙම උපාධි සහතික ප්‍රදානය ලබන ගිහි පැවිදි සියලු උපාධිධාරීන් එය තරයේ වටහා ගත යුතු ය. පිරිසුදු ථෙරවාදී බුදුදහම දිවිහිමියෙන් නොනැසී ආරක්‍ෂා කර ගනිමින්, පරපුරෙන් පරපුරට දායාද කළ අපේ මහාතෙරුන් වහන්සේලාගේ ශාසනික ගමන් මඟ හා ශික්ෂණය මැනවින් වටහා ගෙන නිවැරැදි, යහපත් ජීවිතයකට සරිලන ආකාරයෙන් තමන් ලැබූ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලෝකාර්ථසිද්ධිය පිණිසත්, ශික්‍ෂණය හා සදාචාරය පිණිසත්, ගිහි පැවිදි සමාජයේ යහපැවැත්ම පිණිසත්, දායාද කිරීමට අදිටන් කළ යුතු ය.


‘ධම්මචක්කං පවත්තෙතුං’

මහෝපාධ්‍යාය
මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමි

පුරාවර්ෂ 40 ක ඉතිහාසයකට උරුමකම් ඇති මෙම විශ්වවිද්‍යාලය අද්‍යතනය වන විට ලොව වටා අනුබද්ධ ආයතන 12 ක් සම්බන්ධ කර ගනිමින් විශ්ව ව්‍යාප්ත ව ධර්ම චක්‍ර ප්‍රවර්තනය සිදු කරමින් පවති. පීඨ තුනකින් සමන්විත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, සිංහල, ඉංග්‍රීසි, සමය අධ්‍යයන, පුරාවිද්‍යාව හා නූතන භාෂා ආදී ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් සාමාන්‍යවේදී, විශේෂවේදී පාඨමාලා පවත්වා ගෙන යනු ලබන අතර, අභ්‍යන්තර විද්‍යාර්ථින් සියලු දෙනාට ම නේවාසිකාගාර පහසුකම් ද ලබා දී ඇත. 50000කට අධික ග්‍රන්ථ සංඛ්‍යාවකින් පරිපූර්ණ පුස්තකාලයක් මෙන් ම නූතන පහසුකම් සහිත දේශන ශාලා ද සිසුන්ට ලබා දී තිබේ.

ඔබ අධ්‍යයනය කර ඇති ධර්ම කරුණු ප්‍රායෝගික ව දිවිමඟට එක්කර ගන්නා සේ ම අන් අයට ද මෙම සනාතනික ධර්මය ඔබට හැකි පමණින් ඔබ කැමැති මාධ්‍යයකින් කියා දෙන්න. ගද්‍යයෙන්, පද්‍යයෙන්, චිත්‍රයෙන්, මූර්තියෙන්, නාට්‍යයෙන් බෞද්ධ ඉගැන්වීම් එළිදැක්වීමට අවශ්‍ය ශික්ෂණය ඔබ මේ වන විටත් ලබා ගෙන ඇත.

මඩ ගොහොරුවක හැදී වැඩී ජලයෙන් උඩට එන පියුම් පොහොට්ටුවක් විකසිත වන්නේ සූර්යාලෝකයත් සමඟිනි. බුද්ධ ධර්මය නැමැති සූර්යාලෝකය ඔබේ මනසට ප්‍රවිෂ්ට ව ඇති හෙයින් දුටු දුටුවන් සනසන පියුමක් විලසින් සමාජය පුරා සුවඳ විහිදුවන ගුණ නැණ සපිරි විද්‍යාර්ථීයකු බවට පත්වීමට තුණුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවි රැකවරණත් ලැබේවා’යි ආශිංසනය කරම්හ.


සියලු මංගල කරුණු පූරණයෙහිලා උපයුක්ත පරමාදර්ශී පුද්ගලයකු විය යුතුයි

දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය ධර්මදූතයන් බිහිකිරීම මූලික අරමුණෙහි ලා ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය අරමුණු ඉටුකිරීම සඳහා ඔබ සුදුසුකම් ලබා ඇති බව ඔබ වෙත ප්‍රදානය කෙරෙන උපාධිය මඟින් අවධාරණය කෙරෙයි. එය වසර ගණනාවක් තුළ දී පියවරින් පියවර ඔබ විසින් ගන්නා ලද උත්සාහයේ උත්කෘෂ්ඨ ප්‍රතිඵලයකි.

දේශීයවත්, ජාත්‍යන්තරවත් පිළිගත් විද්වතුන්ගේ ඉගැන්වීම්, මඟපෙන්වීම් හා උපදේශකත්වය යටතේ ඔබගේ දැනුම, ආකල්ප, කුසලතා මෙන් ම ඔබගේ ආධ්‍යාත්මය ද සංවර්ධනය කර ගැනීමට ඔබට හැකි වී ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔබ සැමවිට විශ්වවිද්‍යාලයීය අරමුණු ඉටුකිරීමෙහි ලා බැඳී සිටින අතර, සියලු දෙනාගේ දියුණුව, යහපත හා අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. සුලු වරදෙහි පවා බිය දකිමින් ගුණගරුක, නීතිගරුක හා සත්පුරුෂ ගුණයෙන් අණූන ව සියලු මංගල කරුණු පූරණයෙහි ලා උපයුක්ත පරමාදර්ශී පුද්ගලයකු වනු දැකීම අපේගේ අපේක්ෂාව යි.


මෙතෙක් ආ ගමන්මඟ ප්‍රශංසනීයයි

පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීම හා බුදුදහම ප්‍රචාරය කිරීම, ධර්මදූත කටයුතු සඳහා අවශ්‍ය ධර්මධරයන් මෙන් ම පිරිවෙන්වල සහ අධ්‍යාපන ආයතනවල බුද්ධ ධර්මය හා පාලි භාෂාව ඉගැන්වීමට හැකියාව ඇති විද්වතුන් බිහි කිරීම මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථයයි. එම කාර්යය වඩාත් පුළුල් ව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ විදේශීය ආයතන රැසක් ද සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, ජර්මනිය, ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බංග්ලාදේශය, ජපානය, චීනය සහ අමෙරිකාව යන රටවල ආරම්භ කර ඇත.

අදි දින උපාධිය ලබන ගිහි පැවිදි සියලුම විද්‍යාර්ථින් වෙත මාගේ සුබ පැතුම් පිරිනමන අතර, මුලු ලොවට ම ථෙරවාදී බුදුදහම පැතිරවීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පත්වීමට සියලු ශක්තිය ලැබේවා’යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


දෙස් විදෙස් සන්නාමයක් හිමි කරගත් සුවිශේෂී අධ්‍යාපන ආයතනයකි

ධම්මචක්කං පවත්තේතුං ආදර්ශ පාඨය පෙරදැරිව ප්‍රමුඛතම වූ ද, විශිෂ්ටතම වූ ද බෞද්ධ විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේ දැක්මෙන් යුතුව කුසලතාවයන්ගෙන් පරිපූර්ණ, තථාගත ධර්මයෙන් විශද වන ජීවන දර්ශනය ශ්‍රී ලංකාවෙහි මෙන් ම විදේශයන්හි ද ප්‍රවර්ධනය කොට පෝෂණය කිරීමට සමත් බහුශ්‍රැත ධර්මදූතයන් හා ශාස්ත්‍රධරයන් ලොවට දායාද කරලීමේ මෙහෙවර ඉටුකිරීම වස්, ප්‍රතිෂ්ඨාපිත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට මාගේ සුභ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ශ්‍රී ලංකාවට මෙන් ම ලෝකයට විශිෂ්ට සේවාවක් සිදු කළ හැකි දැනුමෙන්, අවබෝධයෙන් සහ ආකල්ප සම්පත්තියෙන් යුක්ත විද්‍යාර්ථීන් බිහිකරමින්, මෙවර 23 වැනි වරටත් පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට මාගේ ශුභාශිංසන පිරිනමමි.


සම්බුද්ධ ශාසනයට සිදුකරන මෙහෙවර ප්‍රශංසනීයයි

අපට ලොවට දිය හැකි උතුම්ම දායාදය ථේරවාදී බුදුදහමයි. එකී මෙහෙවර පෙරදැරිව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, සම්බුද්ධ ශාසනයට රටට හා ලොවට වැඩදායී ගුණ නැණ බෙලෙන් යුතු ශික්ෂාකාමී විෂයානුබද්ධ දැනුම සහ ආකල්පවලින් පරිපූර්ණ ශිෂ්‍ය කුලකයක් බිහි කිරීමේ මෙහෙවර ඉතා වටී.

ආචාර ධර්මානුකූල පැවැත්මකට පෙළ ගස්වමින් මානසික ශික්ෂණයකින් යුතු පිරිසක් බවට පත්කිරීම සඳහාත්, පිරිවෙන්වල, පාසල්වල බුද්ධාගම හා පාලි ඉගැන්වීම සඳහා පුහුණු කිරීමටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දරන කැපකිරීම් මහත් ය.

මෙරට හා විදේශයන්හි බෞද්ධ දර්ශනය පතුරුවාලීමේ ධර්මදූත සේවාව සඳහා පුහුණු වූ ශාස්ත්‍රධරයන්ගේ විසිතුන් වැනි උපාධි ප්‍රදානෝත්සවයට සුභ පතමි.


ලොව අග්‍රගණ්‍ය ථෙරවාදි බෞද්ධ විශ්වවිද්‍යාලයක් බිහිවනු දැකීම අපගේ අරමුණයි

වසර 43ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම, ශ්‍රී ලංකාවේ හා විදේශීය රටවල බෞද්ධ හා පාලි අධ්‍යයනය සංවර්ධනය කිරීම සහ එම ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සඳහා පහසුකම් සැලැස්වීම යන අරමුණු ප්‍රධාන කොට ගෙන අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා සංවර්ධනය කරමින් පවත්වා ගෙන යනු ලබන ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කීර්තියට පත් විශ්වවිද්‍යාලයකි.

ඒ අනුව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් මෙහෙයවන ලද අභ්‍යන්තර බාහිර උපාධි පාඨමාලාවන් හා පශ්චාද් උපාධි පාඨමාලාවන් සාර්ථක ව නිම කොට උපාධි ලබන දේශීය විද්‍යාර්ථීන් හා විදේශීය විද්‍යාර්ථීන්ට සුබ පැතීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි. එම විද්‍යාර්ථීන් විසින් ශ්‍රී ලංකාවේ නොනැසී පවත්නා ථෙරවාදී බුදුදහම ලොව පුරා ප්‍රචළිත කිරීම සඳහා ධර්ම දූතයන් වශයෙන් නොමඳ දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි.

උත්තරීතර බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ දේශ දේශාන්තරයන්හි ප්‍රචළිත කිරීම සඳහා ධර්මධර, විනයධර, සුපේෂල, ශික්‍ෂාකාමී පැවිදි මෙන්ම ගිහි විද්‍යාර්ථීන්, ධර්මදූතයන් බිහි කරන රාජ්‍ය අනුග්‍රහය මත නව මංපෙත් සොයා යන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෝකයේ ප්‍රමුඛ වූ ද, විශිෂ්ටතම වූ ද, බෞද්ධ විශ්වවිද්‍යාලය බවට පත් වේවා යි එහි විසිතුන් වන උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවේ දී මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.


අධ්‍යාපනයේ යහපත් වෙනසකට විශ්වවිද්‍යාල පෙරමඟ ගත යුතුයි

සමාජයට කාලීන වශයෙන් වැදගත් වන බොදු සදූපදේශයන් තෝරා බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට මෙවක ඇත්තේ මඟහැරිය නොහැකි වගකීමකි. ගෝලීය වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ දී පවා මේ සබුද්ධිකභාවයට වැඩි ඉල්ලීමක් අද ඇති වී තිබේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට විදේශීය ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක් පවතින්නේ එහෙයිනි.

ආසියාවේ බෞද්ධ විශ්වවිද්‍යාල අතර ප්‍රමුඛ ආයතනයක් වශයෙන් ජාත්‍යන්තර බෞද්ධ ප්‍රචාරක සේවාවන්හි පවා නියැළි, වගකීමක් සහිත දෙස් විදෙස් ශාසනික සේවාවක් සලසන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සිය උපාධි ප්‍රදානෝත්ස්වය අභිමානවත් ව සමරනු ලබන මෙම මහඟු අවස්ථාවට සුබ පැතුම් එක් කිරීමට හැකි වීම පිළිබඳ අතිශය සතුට පළ කරමි.ඒ වෙනුවෙන් ඇප කැප වූ විශ්වවිද්‍යාල පරිපාලනයට ඇතුළු සියලු ම දෙනාට කෘතවේදීත්වය දැක්වීමට ද මෙය අවස්ථාවක් කරගනිමි.


සමාජ යහපැවැත්ම උදෙසා කටයුතු කිරීම විද්‍යාර්ථීන්ගේ අරමුණ විය යුතුයි

අද දින උපාධි ප්‍රදානෝත්සවයේ දී දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් 945 දෙනෙකු වෙත ප්‍රථම උපාධි හා පශ්චාද් උපාධි පිරිනැමීමට නියමිත ය.

මීට අමතරව බුදුදහම වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් අතිවිශාල සේවාවක් ඉටුකළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමක් විෂයයෙහි සම්මාන ආචාර්ය උපාධි දෙකක් හා භික්ෂුණීන් වහන්සේ නමක් වෙනුවෙන් සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධියක් වශයෙන් සම්මාන උපාධි තුනක් මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රදානය කෙරෙති.

ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි බුදුදහම පතුරුවාලීම හා ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විසින් බෞද්ධ ධර්මය සහ විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම අභිමතාර්ථය ඉටු කර ගනු වස් විශිෂ්ට සේවාවක් ඉටු කර ඇති බව සඳහන් කළ යුතු ය.

බෞද්ධ දර්ශනයේ හරය මානව හදවත් තුළ පෝෂණය කරමින් සමාජ යහපැවැත්ම උදෙසා කටයුතු කිරීම අද දින උපාධි ලබන මෙම විද්‍යාර්ථීන්ගේ අරමුණ විය යුතු ය. එම අරමුණට කැපවීමට ඔබ සියලු දෙනාට ශක්තිය, ධෛර්ය ලැබේවා යන්න ආශිංශනය කරමි.


අභියෝග ජය ගනිමින් ප්‍රගතිය වෙත යාම සතුටකි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ගෝලීය වශයෙන් පිළිගත් උපාධියක් ලබා ගැනීම සුවිශේෂී වූ ගෞරවයක් බව නොඅනුමාන ය.

උපාධිය කිසි විටෙකත් සමුගැනීමක් සනිටුහන් නොකළ යුතු ය. ඔබ දැන් ඔබේ රටට සහ තෝරාගෙන ඇති අධ්‍යයන කේෂ්ත්‍රයට අඛණ්ඩ දායකත්වයන් ලබා දෙන ගමනක් ඇරඹීමට සූදානම් වී ඇත.

අපගේ සියලුම උපාධිධාරීන්ට ඔවුන්ගේ අනාගත කටයුතු සෑම අයුරකින් ම සාර්ථක වීමට මම මගේ සුභ පැතුම් පිරිනමමි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]