[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුරදුන් උපන් ගමට වැඩම වූ මැදින් පුර පෝ දා

බුදුරදුන් උපන් ගමට වැඩම වූ මැදින් පුර පෝ දා

හේමන්ත සෘතුවේ අවසාන කාලයත්, ගිම්හාන සෘතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් වේ. මේ අනුව මධ්‍යය, මැද අතර යන අර්ථයෙන් මැදින් මහ යන්න ව්‍යවහාරයට එක් වී ඇති බව පැහැදිලි වේ.

මැදින් මහේ පුර පසළොස්වක පොහොය සඳ මෝරාගෙන එත්ම සැදැහැවත් බෞද්ධයන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන්නේ නිරායාසයෙන් ම අනුස්මරණය වූ ශාසනික සිදුවීම් රැසක් සිහිපත් වීමත් සමඟයි.

අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන උන්වහන්සේගේ ජන්ම භූමිය වූ කිඹුල්වත් නුවරට වැඩම කරවීම පිණිස ගමන් ආරම්භ කිරීමයි. එම වැඩම කිරීම හා බැඳුණු සිදුවීම් අතර ඥාතීන්ගේ මානය බිඳ හෙළීමට යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්ඳ කින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදුසසුන තුළ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහ රජතුමා මාර්ගඵල ලැබීම ප්‍රධානත්වයක් ගනියි.

කිඹුල්වත්පුර රජ කළ සුද්ධෝන රජුට තම පුතණුවන් වූ සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට පත්වූ පසු උන්වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාවක් නොවීය. තම පුතණුවන් දැකීමට බලවත් ආශාවෙන් සිටි පියමහ රජතුමා තම ඇමැතියකු ඇතුළු දූත පිරිසක් බුදුරදුන් වැඩම කරවා ගෙන ඒම සඳහා රජගහනුවර වේළුවනාරාමයට පිටත් කර හැරියේ ය. එම පිරිස බුදුරදුන් හමුවට ගොස් පැවිදි වූ අතර, රජුගේ ඉල්ලීම ඉටු නොකළහ.

මේ අයුරින් රජු නව වතාවක් ම බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගෙන ඒමට දූත පිරිස් පිටත් කර හැරි නමුදු රජතුමාගේ බලාපොරොත්තුව ඉටු නොවූ තැන කාළුදායි ඇමැතියා කැඳවූයේ ය. කැඳ කාළුදායි ඇමතු රජතුමා දරුව, මගේ පුත්‍රයා දකිනු කැමැත්තෙන් මම ඔහු කැඳවා ගෙන එනු පිණිස ඇමතිවරුන් නවදෙනෙකු, නව දහසක් රාජ පුරුෂයන් සමඟ රජගහනුවරට යැව්වේය. නමුත් ඔවුන් කිසිවෙක් මට ඒ ගැන ආරංචි මාත්‍රයකුදු ලබා නොදුන්හ. මහලු මගේ මරණය කවදා දැයි කිව නොහැකි ය. එනිසා මා මිය යන්නට පළමු මහේ පුත්‍රයාණන් දකිනු කැමැත්තෙමි. මගේ පුත්‍රයා කැඳවා ගෙන ඒමට ඔබට හැකි දැයි ඇසීය.

දේවයන් වහන්ස, මට මහණ වන්නට අවසර දෙතොත් ඔබ වහන්සේගේ අදහස ඉටු කර දෙන්නෙමි'යි කාළුදායි පැවසීය.

“ඔබට කැමැත්තක් කර ගෙන මගේ පුතණුවන් මගේ රාජ්‍යයට කැඳවා ගෙන එනු මැනවැ'යි මහරජතුමා පැවසීය. දේවයන් වහන්ස, යහපත'යි පැවසූ කාළුදායි ඇමතියා රාජ පුරුෂයන් දහසක් සහිත ව දසවැනි දූත කණ්ඩායම ලෙස රජගහනුවර වේළුවනාරාමය බලා පිටත් වූහ. බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අසා කාළුදායි ඇමැති ප්‍රමුඛ දහසක් දූත පිරිස රහත් භාවයට පැමිණ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. නොබෝ දිනකින් ම කිඹුල්වත් නුවරට වසන්ත සමය උදාවිය. මඟ දෙපස වූ ගස්වැල් මලින් පිරී ඵල බර විය. කෙත්වතු සරු විය. භාග්‍යවතුන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩම වීමට සුදුසුම කාලය එළඹ ඇති බව සිතූ කාළුදායි රහතන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් නුවරට යන සැට යොදුන් ගමන් මඟ වර්ණනා කරන්නේ පරිසරයේ චමත්කාර බව දක්වමිනි.

අංගාරිනො දානි දුමා හදන්තෙ
විලෙසිනො ජදනං විප්පාහාය
තෙ අවිචි මන්තොව පහාසයන්තී
සමණො මහාවීර භගී රථානං

“මහා වීරයන් වහන්ස, සියලු ගස්වැල්වල කොළ වැටී රිකිලි වැඩුණු අතුපතර ගිනි අඟුරු වැනි රත් පැහැ මල් දලුවලින් පිරී, ගෙඩි හටගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. එම ගස්වැල් ගිනි දැල් මෙන් බැබළෙමින් පවතින්නේ ය. ශාන්ති නායකයාණන් වහන්ස, ශාක්‍ය රජදරුවන්ට අනුග්‍රහ පිණිස කිඹුල්වත් නුවරට වැඩම කරවීමට මේ සුදුසු ම කාලයයි.

දුමානි ඵුල්ලානි මනොරමානී
සමන්තතො සබ්බදිසා පවන්ති
පත්තං පහාය ඵල මස්සානං
කාලො ඉනො පක්කමනායවීර

පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවති. පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිති. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත්වීමට සුදුසු කාලයයි.

නෙවාති හීතං න පනාති උණ්හං
සුඛා උතු අද්ඔනියා හදන්තෙ
පස්සන්තු තං සාකියා කොලියාච
පච්ඡාමුඛං රොහිණීං තාරයන්තං
තද සීතල හෝ තද උණුසුම හෝ නැත.

භාග්‍යවතුන් වහන්ස, සෘතුව ශරීරයට සුව පහසුව ගෙන දේ. ගමනට සුදුසු ය. රෝහිණී ගඟින් එතෙර වී වඩින ඔබ වහන්සේ දැකීමට ශාක්‍ය කෝලිය රජවරු ආශාවෙන් බලා සිටිති.

වීරො භවෙ සත්ත යුගං පුනාවි
යස්මිං කුලෙ ජායති භූරී පඤ්ඤෙ

මහා වීරයන් වහන්ස, පියමග රජතුමාණන් වහන්සේ ඔබ වහන්සේ වඩින මඟ බලා සිටී. සෙනෙහෙබර පුතකු ආදරවන්ත පියකුට දිය යුතු උත්තම දායාදය පිය රජතුමාට දී වදාළ මැනැව. ඔබ වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවන්නට මා කෙසේ, බලාපොරොත්තුවෙන් සිටියෙමි'ද මගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටවේවා’යි කාළුදායි රහතන් වහන්සේ මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කර සිටියහ.

බුදුපියාණෝ සම්මා සම්බුද්ධත්වයට පත්ව තම ජන්මභූමියට වැඩම කරවන ප්‍රථම ගමනින් ම සිදුවන මහත් වූ අභිවෘද්ධිය දුටු උන්වහන්සේ කාළුදායි රහතන් වහන්සේගේ ආරාධනාව පිළිගෙන ලෝ සත්ත්වයා වෙත පතල මහා කරුණාවෙන් දිනකට යොදුන බැගින් පා ගමනින් ම කිඹුල්වත්පුර නුවර බලා වැඩම කිරීමට සැලසුම් කළ සේක.

අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව එළඹුණු ප්‍රථම මැදින් පුර පසළොස්වක පොහොය වූ අද වැනි පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ විසිදහසකට අධික භික්ෂූන් වහන්සේ පිරිවරා රජගහ නුවර සිට කිඹුල්වත් පුර නුවර බලා ගමන ආරම්භ කළහ. කාළුදායි මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මුළු ගමනේ සංවිධානය සිදුවිය. ෂඩ් වර්ණ සහ බුද්ධ රශ්මි මාලාවෙන් ප්‍රභාවත් ව රන් රුවක් මෙන් බබළමින් වඩිනා ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ය. කසාය වර්ණයෙන් පරිසරය ම වර්ණවත් කරමින් කෙළවරක් නොපෙනෙන මානයේ සිට උප ශාන්ත ගමනින් ඉදිරියට වඩින විසිදහසක් ඉක්ම වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ය. එදා අනේපිඬු සිටු දියණි චූල සුභද්‍රාව ගැයූ ශ්‍රමණ ගුණ අප්‍රමාණ ශ්‍රද්ධාවක් ජනිත කරයි. එනම්,

සන්තීන්ද්‍රියා සන්ත මනසං
සන්තං තෙසං ගතං ඨිතං
ඔක්ඛිත්ත චක්ඛු මිතභාණී
තාදිසා යමණා මම

සන්සුන් ඉඳුරන් ඇතිව, සන්සුන් සිතින්, සන්සුන් ගමනින්, සන්සුන් පැවතුමෙන්, බිමට නෙතින් යුතුව, දකින්නන් සනසවමින් ඇදෙන්නට අති මහා බුදු පෙරහරේ මැවෙන චිත්ත රූප කෙරෙන් බොදු හදවත් තුළ ගොඩනැඟෙන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් මිස අන් කවරක්ද? සාධු සාධු සාධු..

මැදින් පුර පසළොස්වක පොහොය දින ඇරැඹි බුදුපියාණන් වහන්සේගේ කිඹුල්වත් පුර චාරිකාව, වෙසක් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍ය වංශිකයෝ බුදුරදුන් වෙනුවෙන් නිශ්‍රේධ උයන පිළියෙල කරමින් උන්වහන්සේ ඉමහත් හරසරින් පිළිගත්හ.

සුද්ධෝදන මහ රජු ඇතුළු ශාක්‍යයෝ පසු පසින් ම ගමන් කළහ. පැමිණ සිටි සියලු රාජ පිරිස බුදුන් වහන්සේට නමස්කාර කළ ද අධිමාන්නයෙන් යුක්ත වූ වෘද්ධ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේ තමන්ට වඩා වයසින් බාල වන බැවින් නමස්කාර නොකොට පිරිස කෙළවරට වී සිටියහ. එහිදී ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට යමා මහ ප්‍රාතිහාර්ය දැක්වූහ. ශාක්‍යයන්ගේ මානය දුරු විය. ඉදිරියට පැමිණි සුද්ධෝදන මහජතුමා මේ මාගේ තුන්වන වැඳීමයි කියා බුදුරජාණන් වහන්සේට නමස්කාර කළේ ය. එවිට සියලු ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළහ.

තවද බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ මහා ශ්‍රාවක සංඝයා වහන්සේ වෙත නිග්‍රෝධාරාම පූජාව ද සිදුවුණේ බුද්ධ ශාසනයේ දෙවැනි ආරාම පූජාව වශයෙනි.

තවද කිඹුල්වත්පුර ගමනේ දෙවැනි දින බුදුරජාණන් වහන්සේ මහරහතුන් පිරිවරා ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩි අවස්ථාවේ සුද්ධෝදන රජතුමා ඉමහත් කම්පනයට පත්ව රාජ වංශයට මෙසේ නින්දා කරන්නේ ඇයි දැයි සෘජුව ම ප්‍රශ්න කරන්නට විය. මහරජතුමනි, ඒ ඔබේ වංශයයි. මාගේ වංශය බුද්ධ වංසයයි. බුද්ධ වංශයට අයත් සියලු බුදුවරුන් වහන්සේ පිඬු සිඟා වැඩියහ. මම ද එම චාරිත්‍රය අනුගමනය කරන බවට පැහැදිලි කරමින් දෙසූ දහම් අසා රජු සෝවාන් විය.

පසුව රජ මැඳුරට ගොස් දන් වළඳා, රජුට මහා ධර්මපාල ජාතකයත්, යශෝධරාවට සඳ කිඳුරු ජාතකයත් වදාරා ආපසු වඩිද්දී දායාද ඉල්ලා පසුපස පැමිණි රාහුල කුමරු කැඳවා පැවිදි කරවූහ. තුන්වැනි දිනයේ විවාහ ගෙවදීමට හා ඔටුනු පැළඳීම තිබියදී නන්ද කුමරු ද පැවිදි විය. ඉන් සංවේගයට පත් පියමහ රජතුමාගේ ඉල්ලීම පරිදි මව්පිය අවසරය නොලද දරුවන් පැවිදි කිරීම තහනම් කරමින් විනය නීතියක් ද පැනවූහ.

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොයක් වෙයි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]