UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂ වූ පූජනීය වස්තුවක් පිළිබඳ සඳහන් වෙයි. ඒ කුමක් පිළිබඳවද?

පිළිතුර -බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටි අවස්ථාවලදී උන්වහන්සේ බැහැදැකීම සඳහා සැදැහැතියන්ට වැඳපුදා ගැනීමට ආනන්ද හිමියන් විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නමින් හැඳින්වෙයි.

ප්‍රශ්නය - ඉපැරැණි ගොඩනැගිලි අතරෙන් අනුරාධපුර මහා විහාර සීමාව තුළ කරවන ලද නව මහල් ලෝවාමහා ප්‍රාසාදය කුමක් සඳහා කවුරුන් විසින් ඉදිකරන ලද්දක්ද?

පිළිතුර - මහා සංඝයා වහන්සේගේ විනය කර්ම කිරීම සඳහා උපෝෂථාගාරයක් වශයෙන් ද උන්වහන්සේලාගේ ආවාස ගෘහයක් වශයෙන්ද ප්‍රයෝජන වනසේ දුටුගැමුණු මහරජතුමා විසින් කරවා මහාසංඝරත්නයට පූජාකරන ලදී. ආරම්භයේදී නවමහලකින් යුතු වුවත් සද්ධාතිස්ස රජු දවස ගින්නෙන් විනාශවීම නිසා පසුකලෙක සත්මහලකින් යුතුව තැන වූයේ ය.

ප්‍රශ්නය - ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ‘ධම්ම සේනාපති’ යන නමින් ප්‍රකට වූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර -සාරි නම් බැමිණියගේ පුත් උපතිස්ස ‘සාරිපුත්ත’ හෙවත් සැරියුත් නම් විය. උන්වහන්සේ පැවිදිව පසළොස් දිනක් ගියදා තම බෑණුනුවන් වූ ‘දීඝණඛ’ පිරිවැජියාට බුදුන් වහන්සේ දෙසූ ‘වෙදනාපරිග්ගහ’ සූත්‍රය අසා රහත් වූහ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් නුවණැතියන් කෙරෙන් තමන් වහන්සේට දෙවැනිකොට අගතැන්පත් කොට උන්වහන්සේ දකුණත් සවු බවට ද පත්කළහ.

ප්‍රශ්නය - මහනුවර දළදා මාලිගාවට පත්තිරිප්පුව නමින් ගොඩනැගිල්ලක් එකතු කළ රජතුමා කවූද?

පිළිතුර - කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමේ ප්‍රථම අධ්‍යාපන ආයතනය වශයෙන් සැලකෙන්නේ කුමන ස්ථානයක් ද?

පිළිතුර - අනුරාධපුර මහාවිහාරයයි.

ප්‍රශ්නය - ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජීවිතයේ අවසාන සමයේ හැඳීන්වූ නාමය කුමක් ද?

පිළිතුර - සිරි දේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේ යන නාමයෙනි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ රජු වශයෙන් පිළිගත් කවරෙකු වුවද අනිවාර්යයෙන්ම ආරක්ෂා කළයුතු වගකීමක් වශයෙන් බැඳී සිටි පූජනීය වස්තු දෙකක් විය. ඒ මොනවාද?

පිළිතුර- දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව

ප්‍රශ්නය - එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වසන සේක්, මෙසේ වදාළහ. ‘ මහණෙනි! පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙකක් වෙයි. අත්හල යුතු මේ අන්තදෙක මොනවාද?

පිළිතුර - හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් විසින් සෙවනා ලද අනාර්ය වූ අවැඩ පිණිස මවන්නා වූ කාමසුඛල්ලිකානු යෝගය සහ දුක් සඳහාම හේතු වන්නා වූ අනාර්ය වූ අවැඩ පිණිසම වූ අත්තකිලමතානු යෝගයයි.

ප්‍රශ්නය - සෙංකඩගලපුර (මහනුවර) ඇසළ පෙරහර ආරම්භයේදී දේවාල පෙරහර නමින් හැඳින් වූ අතර පසු යුගයකදී මෙය දළදා පෙරහර යනුවෙන් භාවිතා විය. මෙය සිදුවූයේ කුමන රාජ්‍ය පාලන සමයේදීද?

පිළිතුර - කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී දළදා පෙරහර ආරම්භ විය.

ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ ‘ප්‍රඥා පාරමිතාව‘ විස්තර කරන සම්මානනීය ජාතක කථා ප්‍රස්තුතයේ නාමය කුමක් ද?

පිළිතුර - උම්මග්ග ජාතකය

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ‘චන්ද කින්නර’ ජාතක කථාව (සඳකිඳුරු ජාතකය) දේශනා කළේ කුමන කරුණක් මුල් කරගෙනද?

පිළිතුර - දෙව්දහ නුවර ‘සුප්පබුද්ධ’ රජුගේ් දියණිය ‘භද්දකච්චායනා’ නම් වූවාය. ඇය සොළොස් වියෙහිදී සිද්ධාර්ථ කුමාරයා විවාහ වීමෙන් අනතුරුව ‘බිම්බාදේවි’ යශෝදරාදේවී යන නමින්ද ප්‍රසිද්ධ වූවාය.

බුදුන්වහන්සේ කිඹුල්වත්පුර නුවරට වැඩ දෙවන දින පිඬුසිඟා වඩිනා විට යශෝදරා දේවිය නරසීහ ගාථා අටකින් බුදුගුණ වනමින් මාලිගයෙහි සිටින්නී යශෝදරා දේවියගේ මාලිගයට වැඩමවා ඇයගේ ශෝකය නිවාලන්නට ‘සඳකිඳුරු දා’ දෙසා ඇයගේ ගුණ වර්ණනාකර වැඩිසේක.

ප්‍රශ්නය - ආනන්දය! ‘සුභද්‍ර’ට මා වෙත පැමිණීමට ඉඩ දෙන්න. ඔහු මා වෙහෙසට පමුණු වන්නෙක් නො වේ. තවදුරටත් කරුණු විමසා සැකදුරු කර ගැනීමට පැමිණ සිටී. මේ සිදුවීම කුමක්ද?

පිළිතුර - කුසිනාරානුවර විසූ ‘සුභද්‍ර’ නම් පිරිබ්‍රාජකයෙක් තථාගයන් කෙරේ පැහැද තමන් තුළ උපන් සැකයක් දුරුකර ගැනීම පිණිස පැමිණියේ ය.

ඔහු තථාගතයන් වහන්සේ දක්වන සේ තෙවරක් කී නමුත් තථාගතයන් වහන්සේගේ අවසන් මොහොත වෙහෙසකර වනු අකමැති ආනන්ද හිමියන් ඔහුට අවසර නුදුන්හ.

මේ දෙදෙනාගේ කථාව අසා සිටි බුදුහිමියන් ‘සුභද්‍ර’ පිරිවැජියා කැඳවන ලෙස අනඳ හිමියන්ට නියම කළහ.

ප්‍රශ්නය - වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’ සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එහෙයින් සිහියෙන් යුතුව නොපමාව නිවන පිණිස වූ සියලු කටයුතු සපුරා ගන්න.

මෙම බුද්ධ වචනය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර- බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට මොහොතකට පෙර ‘මහණෙනි! දැන් තොප අමතමි’ යනුවෙන් ඉහත සඳහන් අවවාදය දේශනා කළහ. එම දේශනය අවසාන බුද්ධ වචනය වශයෙන් බුදු සිරිතට එකතු විය.

ප්‍රශ්නය - අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වූප සමො සු ඛො

“සංස්කාර ධර්ම සියල්ල අනිත්‍යයහ. හැමදෙන නැසෙන සුලුය. ඔව්හු ඉපිද නැතිවෙත් එබැවින් ඔවුන්ගේ් සංසිදීම සැප පිණිස වේ.

මේ ප්‍රකාශය කවුරුන් විසින් කුමන අවස්ථාවකදී කරන ලද්දක් ද?

පිළිතුර - තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් සහම්පති මහාබ්‍රහ්මයා ආදිකොට ඇති සුවිශේෂ පුද්ගල සංවේගාලාප අතර සක් දෙව්රජුගේ බුද්ධ පරිනිර්වානය පිළිබඳව කළ සංවේග ප්‍රකාශයයි මේ.

ප්‍රශ්නය - විපාක කර්මයකදී ‘මහද්ගත කුසල’ කර්ම නමින් සඳහන් වන කුසල කර්ම හා ආනන්තර්ය අකුසල කර්ම විපාක පිළිබඳ හැඳින්වීමක් කරන්න.

පිළිතුර - ප්‍රථමධ්‍යානයෙහිදී රූපාවචර ධ්‍යාන සතරද, ආකාසානඤ්චායතනාදී අරූපා වචර ධ්‍යාන සතරද යන සමාපත්ති අට මහද්ගත කුසල කර්ම වෙයි.

මෙයින් අනතුරු ආත්මභාවයෙහි (මරණින් මතු) ඒකාන්තයෙන් බඹලොව උපත ලබයි. මෙය ගරුක කුසල විපාක නමින්ද හැඳින්වෙනු ඇත. පංචානන්තර්ය කර්ම හා නියත මිත්‍යාදෘෂ්ටික අකුසල පක්ෂයෙහි ගරුක කර්මවෙයි. මහද්ගත කුසල කර්ම හා ආනන්තර්ය අකුසල කර්ම කළ පුද්ගලයාට පළමුකොට විපාක දෙන්නේ ආන්තර්ය අකුසල් කර්ම විපාකයයි. මුල් මහද්ගත කුසලකර්ම විපාකය ඉන් වැළකේ. දෙව්දත් තෙරුන් ධ්‍යානලාභී වුවද පළමු කළ මහද්ගත කුසල කර්ම විපාක වලකා පසුව කළ ‘ලෝහිතුප්පාදක’ සංඝභේද යන ආනන්තර්ය අකුසල කර්ම විපාක විඳීමට සිදුවිය.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]