UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක පෝදා දෙසැම්බර් 28 වන දා

බුද්ධ ඤාණය පහළවීම 

සිල්ලර බුදුවරු යනුවෙන් පසුගිය සතියේ (උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණු දෙසැම්බර් මස 20 වන දා ) අප ලියූ කතු වැකිය පිළිබඳ ව දුරකතන ඇමතුම් රාශියක් ලැබිණ. සමහර අයට අවශ්‍ය වී තිබුණේ මේ ඊනියා බුදුවරුන් ගැන වැඩි විස්තර දැන ගැනීමට ය. තමන,් ආචාර්ය තිස්ස සේනානායක යැයි හඳුන්වා දෙමින් අපට කතා කළ මහත්මයකු පවසා සිටියේ, “අධර්මයට මුළා නොවන්න’ යනුවෙන් එස්.ඩී.රසිකා පි‍්‍රයදර්ශනි විසින් පසුගිය පත්‍රයට ලියන ලද ලිපිය ගාල්ලේ සිරිවර්ධන මහතා ගැන ලියූවක් බව ය. විරුද්ධවාදින් විසින් සිරිවර්ධන මහතාට හා තමන්ට එරෙහි ව ප්‍රචාරය කළ ‘මඩ’ විද්‍යුත් තැපැල් ලිපියක් ඇගේ ලිපියට පාදක වී ඇතැයි ඔහු කීය.

කෙ සේ වුව ද මේ පුද්ගලයන් පිළිබඳ ව කතා කිරීම පසෙක තබා බුද්ධත්වය ගැන මෙවර අවධානය යොමු කළෙමු. බුද්ධත්වය ගැන කතා කිරීමේ දී ඓතිහාසික මනුෂ්‍යයකු වශයෙන් ගෞතම බුදුන් වහන්සේ පහළ වූ සමාජ පසුබිම, උන්වහන්සේ ගේ් ජීවන චරිතය හා උන්වහන්සේ ඉටු කළ සමාජයීය කාර්යභාරය මැනවින් හැදෑරිය යුතු ය. එම මූලික අවබෝධය ලබා ගැනීම පිණිස සිංහල විශ්වකෝෂය මෙහි උපුටා දක්වමු.

“ගෞතම බුද්ධ (ක්‍රි.පූ. 623 –543 ) උත්තර භාරතයේ බිහි ව ලෝක ආගමක් බවට පත් බෞද්ධ දර්ශනයේ නිර්මාතෘවරයා හෙවත් ශාස්තෘවරයා ය. ඍග් වේදයෙන් ඇරැඹි අවුරුදු දහස් ගණනක් තිස්සේ උත්තර භාරතයේ වර්ධනය වෙමින් ආ භාරතීය දාර්ශනික විප්ලවය ක්‍රි.පූ. හයවන සියවස වන විට උච්චතම අවස්ථාවට පත් ව තිබිණ. ඒ වන විට ලෝකය හා සත්ත්වයාගේ ආරම්භය කුමක් ද? අවසානය කුමක් ද? මරණින් පසු කුමක් සිදුවේද? මෙලොවින් ඔබ්බෙහි පරලොවක් ඇත් ද? මෙලොව සිට පරලොවට යන සනාතන ආත්මයක් තිබේ ද? සත්ත්වයා, මෙලොව දී සිදු කරන හොඳ නරක ක්‍රියාවන්හි විපාක ඇත් ද? යනා දී දාර්ශනික ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගනු සඳහා විවිධ තරාතිරම්වල බුද්ධිමත්හු වනගත ව භාවනා වඩමින් ද තැන තැන විවාද පවත්වමින් ද ඤාණ ගවේෂණයේ යෙදී සිටිය හ. මෙ සේ සත්ත්වයාගේ විමුක්තිය හා පරම සත්‍යය සොයා ගෙන ගිය මහා දාර්ශනික ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙස ක්‍රි.පූ. හයවන සියවස වන විට උත්තර භාරතයේ හැට හතරක් පමණ දර්ශනවාද බිහි ව තිබිණ. ඒවා අතරින් වඩාත් ප්‍රමුඛ දර්ශන වාද හයක් පෙරමුණ ගෙන තිබිණ. මේ සියලු දර්ශනවල මුදුන් මල්කඩ වූයේ බෞද්ධ දර්ශනයයි. එහි නිර්මාතෘවරයා හෙවත් ශාස්තෘවරයා ගෞතම බුද්ධ නම් විය .”

ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ විශිෂ්ට ඤාණ දර්ශනය පසුකාලීන ව බොහෝ වෙනස්කම්වලට භාජනය වූ බව පැහැදිලි ය. එය සිදුවූයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම සඳහා බී.වී රාවෝ විසින් රචනා කරන ලද ලෝක ඉතිහාසය නමැති කෘතිය මෙහි උපුටා දක්වනු ලැබේ.

“තුන්වන ධර්ම සංගායනාවේ දී බුදු දහම පිළිබඳ ව එවකට ගොඩනැඟී තිබූ ඇතැම් මතභේද විසඳා ගැනීම ද බුදු දහම ඒ ඒ කොටස් වශයෙන් බෙදා එම කොටස් “ ග්‍රන්ථ” වශයෙන් වෙන් කර ගැනීම ද සමාප්තියට පත් කර ගන්නා ලදී. කණිෂ්ක අධිරාජයාගේ අනුග්‍රහයෙන් කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේ දී සිවු වන සංගායනාව පැවැත්වුණ අතර එය මහායාන බුදු දහම කල එළි දුටු අවස්ථාව ය.”

“ මහායානවාදය සම්පූර්ණත්වයට පත් වූයේ කණිෂ්ක අධිරාජ්‍යයාගේ කාලයේ දීය. මේ නිසා පැරැණි සම්ප්‍රදායික බුදු දහමෙන් හෙවත් ථෙරවාදයෙන් වෙන් වූ නව මඟක් ඇති විය. චාම් එ මෙන් ම අති පූජ්‍ය වූ බුදුන් වහන්සේ දෙවි කෙනකුගේ තත්ත්වයේ ලා වන්දනාමාන කිරීම මහායානවාදයේ එක් ලක්ෂණයකි. දේවත්වයේ ලා සැලකූ බුදුන් වහන්සේගේ ප්‍රතිමා ඉදිකොට ඒවා ඉදිරියේ හිඳ පුද පූජා පැවැත්වීම පටන් ගත් අතර බුදුන් වහන්සේගේ මෙන් ම බෝධිසත්ව වරුන් ගේ ද අලංකාර ප්‍රතිමා සහ චිත්‍රවලින් විහාර සහ චෛත්‍යවල බිත්ති වැසී යන්නට විය. ගන්ධාර ගුරු කුලයට අයත් ප්‍රතිමා ශිල්පීන් මුල්වරට බුදුන් වහන්සේගේ ප්‍රතිමා නෙළන්නට ඇතැයි සැලැකේ. විශාල පර්වත විද තනා ගන්නා ලද ගල් ලෙන්වල සහ මහා ශාලා වල නොයෙකුත් කැටයම් කෙරුණ අතර ප්‍රධාන වශයෙන් ඒවාට තේමාවන් වූයේ බෝධි සත්වයන්ගේ චරිත නිරූපණය කළ ජාතක කථා ය. මහායානවාදයේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූයේ සාතවාහන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ නාගර්ජුන නම් ආචාර්යවරයා ය.”

නාගර්ජුන , අසංග, වසුබන්ධ හා ආර්ය දේව ආදී දාර්ශනිකයන් විසින් ගොඩනඟන ලද මහායාන දර්ශනය අනුව බුද්ධතාව විශ්වය පුරා පැතිර පවතින බව විශ්වාස කැරේ. මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා ලියා ඇති “ මහායාන බෞද්ධ සම්ප්‍රදාය” නමැති ලිපියෙහි මෙ සේ සටහන් ව තිබේ.

“ බුද්ධතාව නිසර්ගයෙන් පිහිටා ඇති ශක්‍යතා විශේෂයකි. අප විසින් කළ යුත්තේ එය පිරීමයි. ප්‍රගුණ කිරීමයි. ප්‍රභාවනය කිරීමයි. ප්‍රබුද්ධ කොට ගැනීමයි. ජපානයේ සම්භාවිත සෙන් භාවනා ක්‍රමයට අනුව දිගු කලක් තිස්සේ බද්ධ පර්යංක ව සිටගෙන සිත නිදහසේ ගලායන්නට ප්‍රගුණ කළ කල්හි, කිසියම් මෙහොතක සිත නිරුද්ධ වී එතෙක් අධ්‍යාත්මයේ නිදිගෙන සිටි බුද්ධතාව පුබුදුවා ගත හැකිය. එය ‘ක්ෂණ බුද්ධතා’ යනුවෙන් හැඳින් වේ. දිගු කලක් තිස්සේ සෙන් භාවනා ක්‍රමය ප්‍රගුණ කළ කෙනකුට තම අධ්‍යාත්මය තුළ නිදිගෙන සිටින බුද්ධතාව කූද්දාගත හැකි ය. බුද්ධතාව පිබිදුණු කෙණෙහි ඔහු ක්ෂණික ආලෝක පථයකට පිවිසෙයි.”

මේ මහායාන මතවාදය විවිධ ආකාරයෙන් මතුවනු දැකිය හැකි ය. බුද්ධ ශරීරයෙන් තොර ව තමා තුළ බුද්ධ ඤාණය පහළ වී ඇතැයි කියන බුදුවරුන් ද එහි ප්‍රතිඵලයකි.

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]