UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නුවණින් - වෑයමෙන් රැකිය යුතු මනස

කවරම හෝ සමාජයක් නිර්මාණය වීමේ දී එහි කේන්ද්‍රීය සාධකය වන්නේ පුද්ගලයා ය. පුද්ගලයාගේ කායික දක්‍ෂතා හා මානසික දක්‍ෂතා මත එකී සමාජයේ සමාජ සංවර්ධනය සමාජ ප්‍රගමනය හා සමාජ ඒකාබද්ධතාවය ගොඩනැං වේ. කායික දක්‍ෂතා හා මානසික දක්‍ෂතා පුද්ගලයා තුළ වර්ධනය වීමට කායික නිරෝගී බව හා මානසික නිරෝගී බව තිබිය යුතු ය.

මෙම කායික හා මානසික නිරෝගී බව එකිනෙක මත රඳා පවතින අතර, මින් මානසික නිරෝගී බව අතිශය වැදගත් සංසිද්ධියක් වේ. මානසික නිරෝගී බව ඇති කර ගැනීම සඳහා සිත තුළ ගොඩනැඟෙන මනෝභාවයන් නිවැරැදිව හඳුනා ගැනීමක් සිදු කළ යුතු අතර, සෘණාත්මක මනෝභාවයන් පාලනය කිරීම ද කළ යුතු ය. එය ඉතා සංකීර්ණ ක්‍රියාකාරකමක් වේ. එසේ වූවත් පුද්ගල සංවර්ධනය හා සමාජ සංවර්ධනය උදෙසා එකී චිත්ත වේගයන් පාලනය කිරීම සිදුකළ යුතුමය. චිත්තවේග පාලනය සඳහා බුදුදහම නිර්දේශිත විධික්‍රමයන් විමසා බැලීම මෙහි අරමුණයි.

බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව සිතිවිලි පාලනය කර ගැනීමට සිදු වන්නේ සිත කිළිටි කරන, සිත අපිරිසුදු කරන ධර්ම චිත්තාභ්‍යන්තරයෙහි ගොඩනැඟෙන හෙයිනි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය මාර්ගයට හා ඵලයට ප්‍රවිෂ්ට වූවන්ට හැර අනාර්ය තත්ත්වයෙහි සියලු දෙනාට සිතිවිලි පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවයි. ඒ සඳහා උත්සාහය (උට්ඨානමතෝ), එළඹ සිටි සිහිය (සතිමතෝ) හා ඉඳුරන් දමනය කර ගැනීම (සඤ්ඤතස්සච), නුවණින් විමසා බැලීම, (නිසම්ම කාරිනෝ) සහ දැහැමින් දිවි පැවැත්වීම (ධම්මජීවිනො) අප්‍රමාදීව සිදු කළ යුතු බවයි.

සිතිවිලි පාලනයකින් තොරව වරදවා තබන ලද සිත (මිච්ඡාපණිහිතං චිත්තං) සොරෙක් සොරෙකුට (දිසෝ දිසං) කරනා නපුරට වඩා බලවත් නපුරක් (පාපියෝ කරේ) කරන අතර, මනාකොට සිතිවිලි පාලනය කිරීම (සම්මා පණිහිතං චිත්තං) මවුපියන් හෝ වෙනත් ඥාතීන් සිදුකරන යහපතට වඩා උතුම් යහපතක් සිදු කරන බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක. එමෙන්ම උන්වහන්සේ සඳහන් කරන්නේ පරසතුරන් විසින් ආක්‍රමණය කළ නොහැකි සුරක්‍ෂිත නගරයක් මෙන්, කෙලෙස් සතුරන්ට ආක්‍රමණය කළ නොහැකි පාලනය කළ සිතක් නිර්මාණය කර ගැනීම තුළින් ජීවිතය ජයග්‍රහණය කළ හැකි බවයි. (නගරූපමං චිත්ත මිදං ඨපෙත්වා - ජිතංච රක්ඛේ)

සිතිවිලි පාලනය කර ගැනීමට නොහැකි වන්නේ සිත තුළ ගොඩනැඟෙන අදක්ෂතාවයන් නිසාය. ධර්මයෙහි මේවා අකුසල මූල (අකුසලා ධම්මා) ලෙස දක්වයි. ක්ලේශ, ආසව, අනුසය ලෙසද මේවා හඳුන්වයි. අකුසල මූල පුද්ගලයාගේ සිත ගිලන් කරවයි. රෝගී කරවයි. වරද සහගත කරවයි. ඒ නිසා සිත පාලනය කර ගැනීමට අපහසු වේ. පුද්ගලයා අක්‍රීය කරන අකුසල මූල ධර්ම තුනක් ධර්මයේ සඳහන් වේ. එනම්,

01. ලෝභ
02. දෝස
03. මෝහ යනුවෙනි.
මෙම මූල ධර්ම තුන හේතු සාධක කරගෙන විවිධ අදක්‍ෂතා සිත තුළ නිර්මාණය වේ. එම අදක්ෂතා 1500 ක් දක්වා වර්ධනය විය හැකි ය. (කෙලෙස් 1500)

පංච නීවරණ ධර්ම, සතර ආශ්‍රව ධර්ම, දස සංයෝජන ධර්ම පුද්ගල සිත රෝගී කරනා ක්ලේශයන්ය. මේවා මනෝභාවයන් ලෙස ද, චිත්ත ආවේගයන් ලෙසද හඳුන්වයි. මේවා තුළ පෙළඹීම ඇත. ඒ නිසා පාලනය කර ගැනීම අති දුෂ්කර වේ. සිත කිලිටි කරනා මෙම මනෝභාවයන් පුද්ගල සිතෙහි තැම්පත්ව තිබේ. එහි අවස්ථා 03 ක් හඳුනාගත හැකි ය. එනම්,

01. අනුසය අවස්ථාව - යම් සිද්ධියක් හෝ යම් කාරණයක් සිදුවන තුරු ක්ලේශයන් සැඟව පවත්නා අවස්ථාව

02. පරියුට්ඨාන අවස්ථාව - අරමුණක් ලද විගස කෙලෙස් නැඟී සිටින අවස්ථාව. මෙම අවස්ථාව තුළ ක්ලේශයන් නැවත යටපත් වීම හෝ ඉදිරියට යාම සිදුවිය හැකි ය.

03. විතික්කම අවස්ථාව - පරියුට්ඨාන අවස්ථාවෙන් නොනැවතී ප්‍රාණඝාතය ආදිය සිදු කොට දුසිල් බවට පුද්ගලයා පත්කරන අවස්ථාව.

සමාජීය ජීවිතය තුළ පුද්ගල මනස මෙම අවස්ථා 03 තුළ දෝලනය වීම නිරන්තරව සිදු වේ.ඒ නිසා චිත්තවේග පාලනය කිරීම සඳහා මෙම ක්ලේශ අවස්ථා 03 මනාව හඳුනාගත යුතු ය. තම සිතේ කෙලෙස් අවදි වන ආකාරය හා ඒවා ක්‍රියාත්මක වී තමාගේ මානසික සංහිදියාව බිඳ දමන ආකාරය වටහා ගත යුතු ය. එවිට විතික්කම තත්ත්වයට පත්වීමට ඉඩ නොදී සිතිවිලි පාලනය කර ගැනීමට සමත් වේ.

මජ්ඣිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ පුද්ගල සන්තානය තුළ ගොඩනැඟෙනා මෙවැනි මනෝභාවයන් 44 ක් සඳහන් වේ. ඒ අතරින් බහුතරයක් පුද්ගල ප්‍රායෝගික ජීවිතය තුළ දැකගත හැකි චිත්තාවේගයන්ය. එනම්,

01. සැක ඇති බව (විචිකිච්ඡා)
02. ඊර්ෂ්‍යාවන්තකම (ඉස්සා)
03. මසුරු බව (මච්ඡේර)
04. කිපෙනසුළු බව (කෝධ)
05.එකට එක කිරීම (පලාස)
6. වංචාකාරකම (මායා)
7. අකීකරුකම (දුබ්බච)
8. මාන්න අධික බව (අතිමාන)
9. කුසීත බව (කුසීත)
10.ගුණමකු බව (මක්ඛ)

මෙවැනි මනෝභාව සිත තුළ ගොඩනැඟෙන විට සිත රෝගී බවට, ගිලන් බවට පත්වේ. මේ නිසා එම ආවේග පාලනය කළ යුතු වේ. සුවිශේෂවම පුද්ගලයා තුළ ගොඩනැඟෙන ප්‍රශ්න, ගැටලු වලට මූලික හේතුව වන්නේ මෙම ආවේග (කෙලෙස්) සිත තුළ ගොඩනැඟීමයි. එයින් සිතේ ප්‍රභාස්වර බව නැතිවී යයි. ප්‍රශ්න, ගැටලු විසඳා ගැනීමට නම් සිත ප්‍රභාස්වර බවට පත්කර ගත යුතු වේ. මේ සඳහා සිතිවිලි පාලනය කර ගත යුතුමය.

සිත රෝගී කරන වරද සහගත කරන දුබලතා අඩුවීම නිසා සිත නිරෝගී බවට පත්වේ. වරදට පෙළඹීමේ ස්වභාවය නැතිවේ. ඒ අනුව සිත පාලනය කර ගැනීම දක්‍ෂතාවයකි. එබඳු දක්‍ෂතා 03 ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. ඒවා කුසල මූල (කුසලා ධම්මා) යනුවෙන් හඳුන්වයි. ඒවා නම්,

01. අලෝභ
02. අදෝස
03. අමෝහ යන්නයි. මේවා බුදු දහමේ සඳහන් පරම නිෂ්ඨාව වන නිවන කරා පුද්ගලයා යොමු කරන අතර පුද්ගල මනසේ වර්ධනය කර ගත යුතු, දියුණු කරගත යුතු ධර්මතා ද වේ.

චිත්ත සංවරය සඳහා උපයෝගි කර ගත හැකි ක්‍රමවේද රැසක් බුදුන් වහන්සේ අවධාරණය කර ඇත්තාහ. එකී ක්‍රමවේද භාවිතයක් බවට පත්කර ගත් විට පුද්ගල මනස මෙන්ම සාමාන්‍ය සමාජිය ප්‍රශ්න රැසකට ද විසැඳුම් ලබා දීමට හැකියාව ලැබේ.

මජ්ඣිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ බුදුන්වහන්සේ පෙන්වා දෙන්නේ සිතට එන සෑම සිතුවිල්ලක් පිළිබඳවම ප්‍රත්‍යාවේක්ෂණය (පච්චවේක්ඛිත්වා) කළ යුතු බවයි. ප්‍රත්‍යවේක්ෂණය කළ යුතු විධික්‍රමයක් ද බුදුන් වහන්සේ එහිදී පෙන්වා දෙන සේක. එනම් සිත තුළ ඇතිවන මනෝ භාවය තමාට යහපතක් ගෙනදෙනවාද? අයහපතක් ගෙන දෙනවාද? අනුන්ට යහපතක් ගෙන දෙනවාද? අයහපතක් ගෙන දෙනවාද? යන්න විමර්ශනය කළ යුතු බවයි.

එසේ විමසීමේ දී තමාට හා අනුන්ට (පුද්ගලයා - සමාජය) අයහපතක් ගෙන දෙන සිතිවිල්ලක් නම් එය පාලනය කර ගත යුතු බවයි. දිගින් දිගට වර්ධනය නොකළ යුතු බවයි. තමාට හා අනුන්ට (උභය පක්‍ෂයටම) යහපත ගෙනදේ නම් එම සිතිවිල්ල වර්ධනය කළ යුතු බවයි. මේ අනුව බුදුන් වහන්සේ සිතිවිලි පාලනයට ඉතා හොඳම මිනුම් දණ්ඩක් අවධාරණය කරන සේක. මෙය අගනා මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයකි. ප්‍රත්‍යාවේක්ෂණය මනෝ විද්‍යාවේ දැක්වෙන අන්තරාවලෝකනය නැමැති සංකල්පය හා සම්බන්ධය. අන්තරාවලෝකනය නම් අභ්‍යන්තරයට එඹී බැලීමයි. ඒ අනුව මෙය හෘදය සාක්‍ෂියට එකඟව සිතිවිලි වල හොඳ නරක තීරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස ද හැඳින්විය හැකි ය.

පුද්ගලයා සමාජ සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම සඳහා බලපාන ප්‍රධානතම හේතු සාධකය වන්නේ සිත තුළ ගොඩනැඟෙන කෙලෙස් සහගත සිතිවිලි ය. ආවේග පාලනය කිරීම තුළ හා නුවණින් කටයුතු කිරීම (යෝනිසෝමනසිකාර) මඟින් මෙම ගැටුම් රාශියක් සමථයකට පත්කර ගත හැකි වා මෙන්ම මානසික සංහිදියාවෙන් යුතු පුද්ගල පිරිසක් බිහිකර ගත හැකි ය.

පුද්ගල මනසෙහි නිසර්ගයෙන් ඇතිවන සිතිවිලි සමනය කර ගැනීම සඳහා ප්‍රායෝගිකව පුද්ගලයා ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළක් මජ්ඣිම නිකායේ විතක්ක සණ්ඨාන සූත්‍රයේ දැක්වේ. එහිදී පුද්ගලයා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් වේ.

01.වැරැදි හැඟීමක් පුද්ගල සිතේ ඇතිවන විට ප්‍රතිවිරුද්ධ සිතිවිලි මඟින් එය දුරු කිරීම.

ද්වේෂ සහගත සිතිවිල්ලක් සිතෙහි ඇතිවන විට මෛත්‍රී සහගත සිතිවිල්ලක් සිතේ ගොඩනංවාගෙන එය පාලනය කළ යුතු ය. සමනය කළ යුතු ය. මෙය සිතිවිලි පාලනයේ පළමු පියවරයි.

02 උපන් වැරැදි සහගත සිතිවිල්ලෙහි ආදීනව සිතීම.

මෙම දෙවන පියවර අනුගමන කරන්නේ පළමු පියවර සාර්ථක කර ගැනීමට නොහැකි වූ විටයි. මෙහිදී තමන්ට පහළ වූ වැරැදි සහගත සිතිවිල්ල තමාට දුක් උපදවන්නේ ය. තමාගේ අයහපත පිණිස හේතුවන්නේ ය. යනුවෙන් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව නුවණින් මෙනෙහි කළ යුතු ය. එසේ මෙනෙහි කර වැරැදි සහගත සිතිවිල්ල සමනය කළ යුතු ය.

03. උපන් වැරැදි සහගත සිතිවිල්ල අමතක කර දැමීම.

පහළ වන සිතිවිල්ල දිගින් දිගට සිහි නොකර සිටීම හෝ එය අමතක කර දැමීමට උත්සාහ කිරීම මෙහිදී කළ යුතු ය. ඒ තුළින් එය පාලනය කර ගැනීමට ක්‍රියා කළ යුතු ය.

04. උපන් වැරැදි සහගත සිතිවිල්ලේ මූලය සිහිකිරීම.

මෙය සිව්වන පියවරයි. මෙහිදී සිදු කරන්නේ කුමක් නිසා, කුමක් හේතු කරගෙන මෙම සිතුවිල්ල පහළ වූවාදැයි පිරික්සා බැලීමයි. එසේ පරීක්‍ෂා කර බලා එය සිතින් බැහැර කරලීමයි.

05. උපන් වැරැදි සහගත සිතිවිල්ල කායික හා මානසික අධිෂ්ඨාන ශක්තිය යොදා පාලනය කිරීම.

මුල් පියවර 04 අසාර්ථක වූ විට අවසානයේ අනුගමනය කරන පියවරයි. මෙහිදී මානසික ශක්තිය මෙන්ම කායික ශක්තිය ද උපයෝගි කර ගැනීම විශේෂිතයි. සියලු ශක්තිය යොදවා කෙලෙස් දුරු කිරීම මෙහි අරමුණයි. මේ පිළිබඳව සූත්‍රයේ දැක්වෙන්නේ, “යටි දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලුපෙළා වෙසෙසින්ම කුසල් සිතින් අකුසල් සිත මර්දනය කළ යුතු ය. පෙළිය යුතු ය. තැවිය යුතු ය. එසේ කරන කල්හි ඔහුට ලෝභ, ද්වේශ, මෝහ සහගත වූ ලාමක අකුසල විතර්කයෝ පහව යත්. වැනසෙත්. සිය සන්තානයේ ම සිත පිහිටයි. මැනවින් තැම්පත් වේ. සමාධිගත වේ.” යනුවෙනි.

මජ්ඣිම නිකායේ වත්ථුපම සූත්‍රයෙහි ද මනෝ භාව පාලනය කිරීමේ විධික්‍රම කිහිපයක් දැක්වේ. එහි දැක්වෙන්නේ මේ සඳහා අනුගමනය කළ යුතු පළමු ක්‍රියා මාර්ගය නම් බුදුන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය, ධර්මයෙහි ගුණ, සංඝරත්නයේ ගුණ, අචලව තම සිතේ පිහිටුවා ගැනීමයි. එසේ පිහිටුවා ගත් විට සිත ප්‍රසන්න භාවයට පත්වේ. සතුටට පත්වේ. සතුටු වූ තැනැත්තා තමන්ට හා අනුන්ට හානිකර සිතිවිලි තම සිත තුළ ඇති කර නොගනී. එමෙන්ම යථාර්ථවත්ව ලෝකය තේරුම් ගැනීමේ හැකියාව ද ලබා ගනී. එයින් සිතේ ඇතිවන වැරැදි සහගත සිතිවිලි සමනය වේ. යහපත් සිතිවිලි වර්ධනය වේ. එසේම අයහපත් සිතිවිලි පාලනය සඳහා සිත තුළ මෛත්‍රී සහගත සිතිවිලි උපදවාගත යුතු බව ද වත්ථූපම සූත්‍රයේ දැක්වේ. ඒ සඳහා අසීමිත මෙත් සහගත සිතිවිලි ඇතිකර ගත යුතු ය. “මවක් තම එකම දරුවාට දක්වන මෛත්‍රිය මෙන් උඩ යට ආදි සියලු දිසාවන්ට අයත් සත්වයන්ට මෙත් වැඩිය යුතු ය.” මේ ආකාරයට පුද්ගල සන්තානය තුළ ගොඩනැඟෙන ක්ලේශයන් පාලනය සඳහා බුදුන් වහන්සේ දක්වා ඇති මෙම විධික්‍රමයන් පුද්ගලයා අනුගමනය කළ යුතු ය. ඒවා පිළිබඳ දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ඉන් පසු කුසලතා දියුණු කරගත යුතු ය. ඒ නිසා මෙම චිත්තාවේගයන් පාලනය කිරීමේ කුසලතා තම තමා තුළ පුද්ගල කේන්ද්‍රීයව වර්ධනය කර ගත යුතු ය. එයින් මානසික නිරෝගී භාවය ගොඩනංවාගත යුතු ය. මානසික නිරෝගී භාවයකින් තොරව නිවන් සාධනය අපේක්‍ෂා කිරීම ඵල රහිතය. එම නිසා මෙලොව පරලොව ඵලදායී කර ගැනීම සඳහා සහ නිවන් ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම සඳහා චිත්තාවේග පාලනය කිරීමට අප්‍රමාදව නිරන්තර උත්සාහයක යෙදිය යුතු ය.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]