UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මූලධර්මවාදී බෞද්ධයෝ

සුගිය 22 වන දා ‘ලක්බිම’ පුවත්පත පළ කළ ‘මාධ්‍යවේදීන් ගොදුරු කර ගැනීමේ මූලධර්මවාදී උපක්‍රම’ නමැති ලිපියෙහි ‘බුදුසරණ’ පිළිබඳ ව ද්වේෂ සහගත සටහනක් තබා තිබිණ. ‘බුදුසරණ’ පත්‍රය ද ක්‍රිස්තියානිකරණයට හසුව ඇතැයි එම ලිපිය ලියූ පානුක රාජපක්ෂ මහතා ගේ, එය පළ කළ ලක්බිම කර්තෘ ජටිල වැල්ලබඩ මහතා ගේ හා එ බඳු නිගමනයකට එළඹි ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අන්‍ය ආගම්වලට හරවා ගැනීම පිළිබඳ ව පරීක්ෂා කිරීමේ කොමිෂන් සභාවේ සභාපති කළුබෝවිලගේ සරත් ගුණතිලක මහතා සහ එහි සෙසු සාමාජිකයන් ගේ දැනුම, බුද්ධිය හා වුවමනාවන් පමණක් හෙළිවන මේ චෝදනාවට කිසිදු පදනමක් නොමැත. එ සේ වුව ද අප පාඨකයන් දැනුවත් කිරීම යුතුකමක් ලෙස සලකා මේ සටහන තබන්නෙමු.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කළ මේ කොමිෂන් සභාව මෙහි දී ක්‍රියා කැර ඇති ආකාරය ශිෂ්ටසම්පන්න නැත. මේ කොමිසම පත් කිරීම, බුද්ධාගම පිළිබඳ කතිකාවතක් සම්පාදනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන ලෙසට අගමැති ඩී. ඇස්. සේනානායක මහතාගෙන් කළ ඉල්ලීම නො සලකා හැරීමට ප්‍රතිචාර වශයෙන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් 1953 දී පත් කළ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව අනුකරණයකි. එහෙත් මෙය, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා එදා ඉටු කළ විශිෂ්ට සේවයට ආසන්න වීමට හෝ සමත් ව නොමැත. ඊට උදාහරණයක් මෙහි පහත දක්වමු.

බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ වාර්තාවෙහි (1953 දී) දැක්වෙන ප්‍රවෘත්ති පත්‍ර පිළිබඳ නිගමන මෙ සේ විය.

‘බෞද්ධයාට හා බෞද්ධ සංස්කෘතියට හානිවන අන්දමේ ඉතා සියුම් වැඩපිළිවෙළක් මේ පුවත්පත්වලින් ගෙන යන බව රහසක් නො වේ. බෞද්ධයන්ට අහිතකර වූ ආරංචි හා විශේෂ ලිපි ආදිය ලොකු ශීර්ෂ යටතේ පළ කිරීම ද, බෞද්ධයන්ට හිතකර වූ දේවල් යටපත් කිරීම ද, එ බඳු ප්‍රවෘත්තිවලට අප්‍රධාන තැනක් දීම ද මේ සියුම් ව්‍යාපාරයේ ඇතැම් අවයවය. අපේ ජාතික වීරයන් හා ශ්‍රේෂ්ඨ රජවරුන් රා පොල් කටු අතින් ගත් සුරා සොඬුන් හැටියටත්, වැදගත් ඓතිහාසික සිද්ධීන් හාස්‍යයට ලක්වන හැටියටත්, විකට රූපවලින් පෙන්වීම ද මේ ව්‍යාපාරයේ තවත් අංගයකි.’’

මෙ තරම් අයහපත් තත්ත්වයක් එ කල පුවත්පත් වල තිබියදී පවා එම කිසිදු පුවත්පතක නමක් එහි සඳහන් කිරීමෙන් වැළැකී තිබේ. එදා එම බුද්ධිමත් පිරිස තමන්ට අධිකාරී බලයක් නොමැති කරුණු සඳහා මැදිහත් නො වූව ද, 2009 වාර්තාවේ තත්ත්වය ඊට වඩා වෙනස් ය.

ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයට හිමි ස්ථානය ජනමාධ්‍ය තුළින් පහත හෙළීම යනුවෙන් සඳහන් සරත් ගුණතිලක වාර්තාවේ (2009 දී) එකොළස්වන පරිච්ඡේදයෙහි පුවත්පත් , පොත් හා පුද්ගලයන් පිළිබඳ ව නමින් සඳහන් කැර ඇත. එහෙත් ඒවා ඒකපාක්ෂික නිගමන බව කිව යුතු ය. එහි අංක 895 යටතේ දක්වා ඇති කරුණු අනුව ‘බුදුසරණ’ ක්‍රිස්තියානිකරණය වී ඇතැයි නිගමනය කිරීමට හේතුව අභිධර්මය බුද්ධ දේශනාවක් නො වේ යනුවෙන් හා ‘කේශධාතු සංකල්පය’ නමැති ලිපියක් පළ කිරීම ය.

අභිධර්මය බුද්ධ දේශනාවක් නො වේ යැයි කීම ක්‍රිස්තියානිකරණයක් ලෙස නිගමනය කිරීම පැහැදිලි ව ම එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයකි. එම ලිපිය පළ කිරීම ක්‍රිස්තියානිකරණය පිළිබඳ සාධකයක් නම්, මේ කොමිසම මුලින් ම නිගමනය කළ යුතු ව තිබුණේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා ගේ කර්තෘත්වයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත සිංහල විශ්වකෝෂය ගිනි තබා විනාශ කළ යුතු බව ය. අභිධර්මය යනු කුමක් දැයි එහි මෙ සේ දක්වා තිබේ.

‘ධර්ම විනය යනුවෙන් ද්විවිධ වූ බුද්ධ වචනය අතුරෙන් ධර්මය අළලා විශේෂ වශයෙන් හා අතිරේක වශයෙන් ප්‍රභූත වූ සංග්‍රහනයත් සංගෘහිත විෂයයත් තදනුකූල චින්තන විධියත් භාවයිතව්‍ය මාර්ගයත් අභිධර්මය නමින් හැඳින් වේ.

‘ස්ථවිරවාදී හා සර්වාස්තිවාදී සම්ප්‍රදායයන් තුළ වර්ධනය වූ බෞද්ධ දර්ශනයෙහි උත්කෘෂ්ට අවස්ථාව අභිධර්මය වශයෙන් සැලකිය හැකි ය. පැරැණි බෞද්ධ දර්ශනයේ අග්‍රඵලය අභිධර්මය යි.’

‘අභිධර්මයේ වාචනාමාර්ගය සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවැත එන බව සම්මත සම්ප්‍රදායයි’.

‘නිරවශේෂ බුද්ධ වචනය ධර්මයටත් අභිධර්මයටත් විෂය වශයෙන් සාධාරණ වෙයි. ධර්මය හා අභිධර්මය අතර ඇති විශේෂතාව විශ්ලේෂණ - සංශ්ලේෂණ ක්‍රම හා සංග්‍රහ නයද පදනම් කොට ඇත. බුදුන් වහන්සේ ගේ ධර්ම විවරණය විවිධ පුද්ගලයන් ගේ උපනිඞශ්‍රය සම්පත්තිය හා භින්නරුචිකත්වය අනුව ශ්‍රාවක ජනතාවගේ සුඛාවබෝධය අරමුණු කොටගෙන සකස් වූවකි. උපමාරූපකදියෙන් හා වෘත්තාන්තයන් ගෙන් සමලංකෘත වු සූත්‍රාන්තදේශනාව ජනකාන්ත ලක්ෂණයන් ගෙන් අනූන ය. අභිධර්ම දේශනාව මීට හාත්පසින් ම වෙනස් ය.’

කේශධාතු සංකල්පය නමැති ලිපියෙහි සඳහන් වැදගත් කරුණු සියල්ල ඉවත දමා එක් වාක්‍යයක් මත මේ කොමිසම නිගමනයකට එළඹී තිබේ. ඒ සම්බන්ධයෙන් ලියූ කතු වැකිය හා එහි වැදගත් ම කරුණු තම වාර්තාවේ පළ කිරීම ද පැහැර හැර ඇත.

එම ලිපි දෙක ‘බුදුසරණ’ පත්‍රයේ පළ කිරීම මාධ්‍යවේදීන් ගොදුරු කර ගැනීමේ මූලධර්මවාදී උපක්‍රමයක් වන්නේ කෙ සේ දැයි ලක්බිම කතුවරයාගෙන් ඇසීමට අපට සිදු ව තිබේ. මේ තොරතුරුවල වගකීම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය සතු යැයි කීමෙන් ලක්බිම කතුවරයාට මෙහි වගකීමෙන් නිදහස් විය නො හැකි ය.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]