UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ළමා ළපටියනි, ලොව සුවඳ කරන පුෂ්පයක් වන්න!

අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රීය, ඉවසීම ඇති තැන වාද භේද, කලකෝලාහලවලට ඉඩක් නොමැත. අන් අය අතින් සිදු වන ප්‍රමාද දෝෂ, ඔවුන් තුළ පවත්නා වූ අඩු ලුහුඬුකම් හැකි තරම් සුළු ලෙස තැකීමට ද, ඒවා සියල්ලම මෛත්‍රී සිතින්ම ඉවසා දරා ගැනීමට ද පුරුදු වන්න. එයම ඔබට නියම සැනසිල්ල හා පී‍්‍රතිය ලබා දෙනු ඇත. එයම ඔබගේ ජයග්‍රහණය වනු ඇත.

ලෝ කය දිහාව කරුණාවෙන් බලනු මැනවි. ලෝකයා ගැන කරුණාවෙන් කතා කරනු මැනවි. අනුන්ගේ සිත් තුළ ද කරුණාව උපදවනු මැනවි. ඉර හඳ පවත්නාතුරුම ලෝකයේ කරුණාවද පවතීවායි පතනු මැනවි.

ජීවිතයේ හැම මොහොතක්ම කරුණා කිරීමට මොහොතකි.” (අපවත් වී වදාළ පූජ්‍ය පඹුරන මෙත්තෙය්‍ය හිමි)

මාගේ දයාබර බොදු දරුවනි, අපගේ ශාස්තෘ වූ, කරුණා නිධාන වූ මෛත්‍රී මූර්ති වූ තුන් ලෝකාග්‍ර වූ, අසමසම වූ, අංගීරස, සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ ගැන සිතීම පවා සැප ගෙනදෙන මහත්ඵල මහානිශංස වූ කුසල කර්මයකි. අපගේ සිදුහත් මහබෝසත් උතුමා විසින් දීපංකර පාද මූලයේ දී සුමේධ තාපසයන් ලෙස අතට පත් නිවන් සුව හැර දමා සංසාර සාගරයට බැස සාරාසංඛ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ බෙහෙවින් වීර්යය වඩමින් දස පාරමිතා ධර්ම පුරන ලද්දේ, සකල ලෝක සත්වයා වෙනුවෙන් යොමුවූ මහා කරුණාවෙන්, මෛත්‍රියෙන් හා අනුකම්පාවෙන් බව මාගේ පින්වත් දරු කැළ දන්නවා නේද? ඒ වනාහි, අපගේ මහා කාරුණික සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ, මේ බියකරු සසරෙහි අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳින සත්ත්වයා එම මාර බන්ධනයෙන් මුදා නිත්‍ය මංගල පරම සුන්දර නිවන් සුවය කරා ළඟාවීමේ මඟ හෙළිකිරීම සඳහා යොමු වූ ගමනකි. දරුවනි, එය කොතරම් අසිරියක් ද?

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්භයා

මාගේ පින්වත් ළමයිනි. මෙවන් උතුමකුගේ ශාසනයක් පවතින බුද්ධෝත්පාද කාලයක උපත ලැබ, එමෙන්ම මෙවන් මහෝත්තමයෙකුගේ මා හැඟි දහම් මඟ හඳුනාගෙන, එම දහම් මඟ ගමන් කිරීමට කුඩා අවධියේ සිට ඔබ ලත් මේ අවස්ථාව කෙතරම් භාග්‍ය සම්පන්නද? වාසනාවන්න ළමා ළපටියනි, තෙරුවන් සරණ යෑමත් සමඟම පින්වත් ඔබ බෞද්ධයකු වන්නේ ය. මෙසේ බෞද්ධයා යන දුර්ලභ ගෞරව නාමය ලබන ඔබ අප හැමගේ පරම බලාපොරොත්තුව වන ධර්මාවබෝධය හා ධාර්මික පැවැත්මක් වෙනුවෙන් ගමන් ගත් මාර්ගයට අවතීර්ණ වීමේ දී අපගේ අමාමෑණී බුදුපියාණන් වහන්සේ ද උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හා අෂ්ටාය¸ පුද්ගල මහා සංඝරත්නය ගැන පමණක්ම ශ්‍රද්ධා බුද්ධි පූර්වකව විශ්වාසය තැබිය යුතු වේ. මේ ත්‍රිවිධ රත්නයම සැදැහැ සිතින් ගුරු තනතුරෙහි තැබිය යුතු වේ. ඉන්පසු දයාබර දරුවනි, හොඳ බෞද්ධයෙකු වීමට නම්, පංච ශීලයෙහි පිහිටා එම සිල්පද ආරක්‍ෂා කිරීම අත්‍යවශ්‍ය ය. මේ වනාහි මහානාම සූත්‍ර දේශනයට අනුව මහානාම ශාක්‍ය කුමරාට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද අගනා අනුශාසනය වේ.

මාගේ සදැහැති පින්වත් දරුවනි, තෙරුවන් සරණයෑමෙන් බෞද්ධයකු වී සිටින කුඩා ඔබ, පළමුවෙන්ම බුදු ගුණ, දහම් ගුණ හා සඟ ගුණ හඳුනා ගත යුතු වේ. සැබවින්ම දයාබර දරුවනි, ඔබගේ තථාගත බුදු අමාමෑණියන් වහන්සේ මහා කාරුණික වන සේක. කරුණා නිධානයක් වන සේක. කරුණා සාගරයක් ද ප්‍රඥා මූර්තියක් ද, තුන්ලෝකාග්‍ර ප්‍රදීපයක් ද වන සේක. බුදුන් වහන්සේ පංච චක්‍ෂුසයෙන් බබළන සේක් වේ. එබැවින්ම ඒ තිලෝගුරු, සද්ධර්ම දිවාකර, අංගීරස, තථාගතයන් වහන්සේ පිළිබඳ වර්ණනා කරන අවස්ථාවකදී බුද්ධඝෝෂ හිමියෝ මෙසේ සඳහන් කරති.

කරුණා සීතල හදයං
පඤ්ඤා පජ්ජෝත විහතමොහතමං
සනරාමර ලෝක ගරුං
වන්දෙ සුගතං ගතිවිමුත්තං

“කරුණාවෙන් සීතල වූ හදවතක් ඇති මොහඳුර දුරලන ප්‍රඥාවෙන් බබළන්නා වූ, දෙව් මිනිසුන් සහිත ලෝකයට ගුරුවර වූ සුගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! යනු එහි අදහසයි.”

භාග්‍යවත් ළමයිනි, මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුවින් නිකුත්වූ පරම පවිත්‍ර සදහම් අමාවෙහි පහස ලැබීමේ ඉමහත් ඕනෑකමින් පැවිදි බිමට ඇතුළත් වී ඒ අගනා පිවිතුරු නෛෂ්ක්‍රම්‍ය පිළිවෙතෙහි නියම ඵල නෙළා ගනිමින් සසුන් කෙතෙහි මඟ ඵල ලබාගත් උතුමෝ එමට වූහ. එමෙන්ම අප අමාමෑණියන් වහන්සේ සෝපාක, පටාචාරා, මට්ටකුණ්ඩලී, සුනීත, රජ්ජුමාලා, වාසෙට්ඨි වැනි අසරණයින්ට පිළිසරණ වූ අවස්ථා දහම් ගඟුලෙහි කිමිදවමින් ඔවුන් බව කතරින් එතෙර කළ අවස්ථා අප්‍රමාණ ය. මෙසේ බුදු ගුණ මෙනෙහි කොට ශ්‍රද්ධාව වර්ධනය කරගැන්ම බුද්ධානුස්සතිය වේ. මෙය භාවනාමය කමටහනක් බවට ද පත්වේ.

දෙවනුව, දහම් ගුණ මෙනෙහි කිරීමෙන් ධම්මානුස්සති භාවනා අරමුණ ද වැඩේ. අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කර වදාරා ඇත්තේ ‘යො ධම්මං පස්සති සො මං පස්සති’ යනුවෙනි. පින්වත් ළමයිනි, දහම දෙස නියම ආකාරයෙන් බැලීම තුළින්ම ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම තුළින්ම, ඔබ ඒ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේ දැකීමට බෙහෙවින් උනන්දු විය යුතු ය. නෛය¸නිකා ධර්මය ගැන මෙනෙහි කරත්ම අප කරා සතුට සොම්නස, සැනසීම ළඟා වෙයි. මඳ වේලාවකට නමුදු අපගේ සිත් සතන් ලෝභ, දෝෂ, මෝහ සිතිවිලිවලින් ඈත්වත්ම පී‍්‍රතිය හා මෙත් කරුණා ගුණ එම සිත කරා ගලා ඒම ඉබේම සිදුවේ. පින්වත් දරුවනි, සැබවින්ම ධර්මය පිළිබඳ පවත්නා සාන්දෘෂ්ටික ගුණය බෙහෙවින්ම අගනේ ය. මෙලෙස අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කරමින් ඔබට සංඝානුස්සතිය ද වැඩිය හැකි ය.

මා දයාබර සැදැහැති ළමා ළපටියනි, අපගේ අෂ්ටාය¸ පුද්ගල මහා සංඝරත්නය වනාහි සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ උතුමෝ වෙත්. මාර්ගඵල ලාභී රහතන්වහන්සේ කෙරෙන් ලෝභ, දෝෂ, මෝහ නමැති කෙලෙස් මූල සම්පූර්ණයෙන් ප්‍රහාණය වී ඇත. සන්තුට්ඨියෙන් පරිපූර්ණ වූ මේ ශ්‍රේෂ්ඨ උත්තමයින් වහන්සේගේ නිර්මල චරිත ගැන මෙනෙහි කරත්ම කෙනෙකු තුළ ප්‍රබල අන්දමින් සංඝානුස්සති භාවනාවද වැඩෙයි. මෙසේ ත්‍රිවිධ රත්නය කෙරෙහි පූර්ණ ශ්‍රද්ධා භක්තිය ඇති කර ගැනීමෙන් පසු අපගේ ඉදිරි පියවර විය යුතු වන්නේ කුමක්ද? අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහානාම ශාක්‍ය කුමරාට දේශනා කොට වදාරා ඇත්තේ ත්‍රිවිධරත්නයේ සරණ යෑමෙන්ම බෞද්ධයකු වූ තැනැත්තා, ඉන් අනතුරුව හොඳ බෞද්ධයකු වීම සඳහා ශීලමය ප්‍රතිපත්ති පිරිය යුතු බවයි. හොඳ බෞද්ධයෙකු වීම සඳහා පංචශීල ප්‍රතිපදාව නිසි අයුරින් ආරක්‍ෂා කළ යුතු බව, බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයාට පෙන්වා වදාරා ඇත. මෙය බුද්ධවාදය බැවින් මාගේ පරහිතකාමී පින්වත් දරු කැලද පංච ශීලයට ඇතුළත් වන පර පණ නැසීමෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් මුසාවාදයෙන් හා සුරාවෙන් වැළකීමට අදිටන් කර ගනිමින් කුඩා කළ සිටම හොඳ බෞද්ධයෙකු වන්නට උත්සාහවත් වන්න.

සත්පුරුෂ බොදු දරුවනි, පස් පවින් වැළකී පංචශීලයෙහි හික්මුණු තැනැත්තා, තමාගේ ඉන්ද්‍රිය සංවරය හේතුවෙන් තමා ඇසුරු කරන මුළු මහත් සමාජයටම සැනසීම සමාදානය ලබා දෙයි. හෙතෙම අන් අයගේ ජීවිත වලට ගරුකරමින් ඔවුන්ට වධ හිංසා නොකරන බැවින් ද අන් සතු දේ පැහැර නොගන්නා බැවින් ද, වැරැදි ගති පැවතුම් වලින් තොර බැවින් ද සත්‍ය වචනයම කථා කරන බැවින් ද, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිහි මුලා කර ගනිමින් අන් අයට හිරිහැර නොකරන බැවින් ද, ඔහු අසල්වැසියන්ට ද ඥාති මිත්‍රාදීන්ට ද මුළු මහත් සමාජයටම ද සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයකු බවට පත් වෙයි. සැනසීම, ශාන්තිය ළඟා කර දෙන්නකු වෙයි. තම වටපිටාවේ පී‍්‍රතිමත් වූ ද, සාමකාමී වූ ද පරිසරයක් ගොඩනැඟීමට දායකවන මෙවැන්නෝ මනුෂ්‍යත්වය වෙනුවෙන් ප්‍රශංසනීය නිහඬ සේවයක් කරන්නේම ය.

පි‍්‍රය ළමයිනි, “දුක්ඛ පතිට්ඨිතො ලොකො” - ලෝකය දුකින් පිරී ඇත. යනු බුදු වදනයි. එකොළොස් මහා ගින්නෙන් නිරතුරු දැවෙමින් අනිත්‍ය, දුක්ඛ. අනාත්ම ලක්‍ෂණ කොට ඇති දැයෙහි එල්බගෙන, තදින්ම එල්බගෙන, දුක් විඳින ලෝක සත්වයා දෙස අනුකම්පා ඇසින්ම, මෛත්‍රී ඇසින්ම, කරුණා ඇසින්ම බැලීමට පුරුදු වන්න. ලොව පිළිබඳ ඇති තතු නොදන්නාකමින්ම වැරැදි කරන ජනයා කෙරෙහි ද්වේෂ නොකිරීමෙහි, ඔවුන් සමඟ අමනාපකම් ඇතිකර නොගෙන සිටීමේ ශක්තිය එකල්හි ඔබට ලැබෙනු ඇත. අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රීය, ඉවසීම ඇති තැන වාද භේද, කලකෝලාහලවලට ඉඩක් නොමැත. එතැන්හිම සමඟියේ, සාමයේ බීජය දළු ලා සාරවත් ලෙස වැඩෙනු ඇත. අන් අය අතින් සිදු වන ප්‍රමාද දෝෂ, ඔවුන් තුළ පවත්නා වූ අඩු ලුහුඬුකම් හැකි තරම් සුළු ලෙස තැකීමට ද, ඒවා සියල්ලම මෛත්‍රී සිතින්ම ඉවසා දරා ගැනීමට ද පුරුදු වන්න. එයම ඔබට නියම සැනසිල්ල හා පී‍්‍රතිය ලබා දෙනු ඇත. එයම ඔබගේ ජයග්‍රහණය වනු ඇත.

සුඛ කාමානි භූතානි සැමදෙනම සැපෙන් ජීවත්වීමට කැමැත්තෝ වෙත්.මේ අනගි බුදු වදනයි. මෙසේ මාගේ දයාබර භාග්‍යවත් දරු කැල ඔබගේ දේවාති දේවා වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මහා කාරුණික වූ, අසරණ සරණ වූ, සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ විසින් මහා කරුණාවෙන් පෙන්වා වදාරන ලද ඒ උතුම් ඉමිහිරි දහම් මඟ ගමන් කරමින් ඔබගේ ගෙදරට ද, පාසලට ද, මුළු මහත් සමාජයට ද සුගන්ධය පතුරුවා හරින සුවඳවත්, මනරම් මලක් මෙන් විකසිත වීමට උත්සාහවත් වන්න. ඒ සඳහා මාගේ පින්වත් ළමා ළපටීන්ට සම්මා සම්බුදු සරණයි!

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]