UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්මානුකූල පුද්ගලයා ධර්මය විසින් ඒකාන්තයෙන් සුරකියි. මනාව පුරුදු කළ ධර්මය මෙලොවදීම සැප ගෙන දෙයි. ධර්මානුකූල පුද්ගලයා කිසිදා අපායගාමී නොවෙයි. (න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී) ධර්මය මහා වැසි අවස්ථාවකදී ගෙන යන කුඩයක් මෙන්, අප විවිධ විපත්වලින් ආරක්ෂා කරයි. ධර්මයෙහි අචල ශ්‍රද්ධාව පිහිටුවා ගත් ආර්ය ශ්‍රාවකයා සතර අපායේ නූපදින බව, අංගුත්තර නිකායේ කියැවෙයි.

ත්‍රිපිටකයේ නිතර හමුවන ‘දිට්ඨධම්මික’ හා සම්පරායික’ යන වචන දෙකේ සාමාන්‍ය අර්ථය නම ‘මෙලොව‘ හා ‘පරලොව‘ යන්න යි. මේ දෙක තවත් ලෝක දෙකක් නොවේ. පුහුදුන් මරණයෙන් පසු පැවැත්මක් (පුනබ්භව) පිළිගන්නා බුදු සමයෙහි ‘දිට්ඨධම්මික’ යනුවෙන් අදහස් වන්නේ මෙලොව යි. එනම්, දැනට අප ගත කරන භවය යි. තත්ත්වය යි. ‘සම්පරායික’ යනු පරලොව යි.

එනම් නැවත ඉපදීමට බලපාන ධර්ම නැති කර නොගත් සැමගේ, දෙවන භවය යි, ඊළඟ (අනාගත) පැවැත්ම යි.

මෙලොව හා පරලොව සැපවත් කර ගැනීම පිළිබඳ දීඝජානු කෝලිය සිටු පුත්‍රයා විසින් බුදුරදුන්ගෙන් විමසූ අවස්ථාවක්, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙයි. (යෙ අම්හාකං අස්සුධම්මා දිට්ඨධම්ම හිතාය, දිට්ඨධම්ම සුඛාය, සම්පරාය සුඛායාති) ආලවක සූත්‍රයේදී සඳහන් වන ආකාරයට ආලවක යක්ෂයාට තම මවුපියන්ගෙන් උරුම වූ අර්ථ අමතක වූ ගැටලු සමුදාය අතර ‘පරලොව ශෝක නොකිරීමට අවශ්‍ය ධර්ම (කරුණු) මොනවා ද?’ යන ප්‍රශ්නය ද තිබු බව පෙනෙයි. මෙම ලිපියේ අපේක්ෂාව වන්නේ, පරලොව ශෝක නොවී සිටීමට අවශ්‍ය ධර්ම පිළිබඳ විමසා බැලීමයි.

අස්මා ලොකා පරං ලොකං
කථං පෙච්ච න සෝචතී

මෙලොවින් පරලොවට උත්පත්ති වශයෙන් පැමිණි සත්ත්වයා කෙසේ නම් ශෝක නොකර සිටීද?’ යනුවෙන්, ආලවක යක්ෂයා විමසා සිටියි. බුදුපියාණන් වහන්සේ,

යස්සෙතෙ චතුරො ධම්මා
සද්ධස්ස සරමෙසිනො
සච්චං ධම්මො ධිතී චාගො
සවෙ පෙච්ච න සොචතී
යනුවෙන්

ගිහි ගෙයි වසන, ශ්‍රද්ධාව ඇති යම් පුද්ගලයකුට, සත්ත්යත්, ධර්මයත්, ධෘතියත්, ත්‍යාගයත් වේනම්, ඔහු උත්පත්ති වශයෙන් පරලොව ගොස් ශෝක නො කර සිටියි’ යනුවෙන් ඊට පිළිතුරු දුන් සේක.

ව්‍යග්ඝපජ්ජ සුත්‍රයේ ද පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස හේතුවන කාරණා සතරක් දැක්වෙයි. ඒවානම් - සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා හා පඤ්ඤා සම්පදාව යි.

වානරින්ද ජාතකයේ දී සතුරා ඉක්මවා, මැඩ පවත්වා සිටීමට බලපාන කරුණු ලෙස දැක්වෙනුයේ, ආලවක සූත්‍රයේදී දැක් වූ පරලොව ශෝක නොකර සිටීමට දැක්වූ කරුණු සතරම ය.

යස්සෙතෙ චකුරො ධම්මා
වානරින්ද යථා තව
සච්චං ධම්මො ධිතී චාගො
දිට්ඨං සො අතිවත්තතී

වානරේන්ද්‍රය! යමෙකු තුළ මේ ධර්ම සතර එනම් වාක් සත්‍යය, පරීක්ෂා ඤාණය , ධෛර්යය හා ත්‍යාගය (පරිත්‍යාගය) වේනම් ඔහු තම සතුරා මැඬ ජයගෙන සිටින්නේ ය. ‘කිඹුලකු විසින් මෙසේ පවසනු ලද්දේ තමා පැරද වූ ශ්‍රේෂ්ඨ වානර රාජයා හටය. එහි ‘ධම්මො’ යන්න විග්‍රහ වනුයේ ‘පරීක්ෂා ඤාණය’ යනුවෙනි. එනම් ප්‍රඥාවයි. වානරින්ද ජාතකයෙන් පැවසෙනුයේ කරුණු කාරණා මැනවින් පරීක්ෂා කිරීමෙන් සමත් වඳුරු රජකු මාර මුඛයෙන් ගැලවුණු අයුරු දැක්වෙන පුවතකි.

ආලවක හා ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දෙක අනුව පරලොව දී ශෝක නො කර සැපසේ විසීම සඳහා සම්පූර්ණ කරගත යුතු පිළිවෙත් මෙසේ දැක්විය හැකි ය.

ආලවක සූත්‍රය ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
වාක්/ සත්‍යය (සච්චං) සද්ධා (ශ්‍රද්ධාව)
පරීක්ෂා ඤාණය (ධම්මො) සීල (සීලය)
ධෛර්යය (ධිතී) චාග (ත්‍යාගය)
පඤ්ඤා (ප්‍රඥාව)

ආලවක සූත්‍රයේ “ධම්මො” යන කරුණට ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ප්‍රඥාව (ප්‍රඥා සම්පදාව) සමාන වන බව වානරින්ද ජාතකයෙන් තහවුරු වෙයි. චාගය හෙවත් පරිත්‍යාගය සූත්‍ර දෙකේම විස්තර වෙයි. ඒ අනුව පරලොව සුවසේ ශෝක නොවී ගතකිරීමට පිරිය යුතු සපුරාගත යුතු ධර්ම හයක් මෙම සූත්‍ර දෙකෙහි දැක්වෙන බව පැහැදිලි වෙයි. සත්‍යවාදී බව වාක් සංවරය යි. බොරුකීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් හා කේළාම් කීමෙන් වැළකී සිටීම, වාක් සංවරය යි. අරි අටඟි මඟෙහි ‘සම්මා වාචා’ යනු මෙම වාග් සංවර භාවය යි. මුසාවාද දී චතුර්විධ වාග් දෝෂයන්ගෙන් වැළකී නෙලා කණ්ණසුඛා, පෙමතීයා, හදයංගමා, පොරී, බහුජනකන්තා, බහුජන මනාපා යන ගුණංග සහිත වචන කථා කළ යුතු යි. නිදොස් බල ‘නෙලා’ නම් වෙයි. කණට පි‍්‍රය බව ‘කණ්ණසුඛා’ නම් වෙයි. පේ‍්‍රමය දැනවීම, ආදරයක් ඇතිවීම ‘පෙමනීය’ නම් වෙයි. හද පැහැරගන්නා පි‍්‍රයශීලි වදන, සිත්ගන්නා වචන ‘හදයංගමා’ නම් වෙයි. ශිෂ්ට නාගරික ව්‍යවහාරය පොරී නම් වෙයි. බොහෝ ජනයාට පි‍්‍රය බව, බොහෝ ජනයාට මනාප බව ‘බහුජන කන්තා’ ‘බහු ජනමනාපා’ නම් වෙයි.

සත්‍යවාදී බව නිසා කීර්තිමත් භාවයට පත්වෙයි. (සච්චෙන කිත්තං පප්පොති) බුද්ධ චරිතයේ බොහෝ දුෂ්කර අවස්ථා ජය ගැනීමට අප බුදුපියාණන්ට හැකි වූයේ, උන්වහන්සේ විහිළුවටත් බොරුනොකී, අනුන් නොරැවටූ බැවිනි. දරුණු අඟුල්මල්, නාලාගිරි දමනය වූයේ මෙත් සහගත වචනයට යි. අප අද දක්වා ආශිර්වාද ලබන පිරිතේ බලය පිහිටුවා ඇත්තේ සත්‍ය වචනය නමැති පදනම තුළයි. ‘එතෙන සච්ච වජ්ජේන සොවÀථි තෙ හොතු සබ්බදා ‘එතොන සච්චේන සුවත්ථි හොතු ‘ යන ආශිර්වාද සිදුවනුයේ සත්‍ය වචනයේ බලයෙනි. වට්ටක හා සුතසෝම ජාතකවලදී සත්‍යවචනයේ බල මහිමය විදහා දැක්වෙයි.

2.ධම්මො - ධර්මානුකූ®ල බව හා පරීක්ෂා ඤාණය. ප්‍රඥාව මූලික වූ ධර්මානුකූල බව මෙලෝ පරලෝ සුවය පිණිසම පවතියි. මහා ධම්මපාල ජාතකයේදී ධර්මානුකූල පැවැත්මේ ඇති බලමහිමය පෙන්වා දී ඇත. ධර්මානුකූල පුද්ගලයා ධර්මය විසින් ඒකාන්තයෙන් සුරකියි. මනාව පුරුදු කළ ධර්මය මෙලොවදීම සැප ගෙන දෙයි.

ධර්මානුකූල පුද්ගලයා කිසිදා අපායගාමී නොවෙයි. (න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී) ධර්මය මහා වැසි අවස්ථාවකදී ගෙන යන කුඩයක් මෙන්, අප විවිධ විපත්වලින් ආරක්ෂා කරයි.

ධර්මයෙහි අචල ශ්‍රද්ධාව පිහිටුවා ගත් ආර්ය ශ්‍රාවකයා සතර අපායේ නූපදින බව, අංගුත්තර නිකායේ කියැවෙයි. (ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරිය සාවකො නිරයං වා, තිරච්ඡාන යොනිංවා, පෙත්තිවිසයංවා උප්පජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ප්‍රඥා සම්පත්තිය මෙසේ විවරණය කර ඇත. ලයෙහි පිහිටා සමාධිය වඩා ප්‍රඥාව උපදවා ගත යුතුය. ප්‍රඥාව වැඩිය යුත්තකි. (පඤ්ඤා භාවෙතබ්බා) ලොව දුක මත පිහිටා ඇති බව වටහාගත හැකි වන්නේ යථාභූත ඤාණ දර්ශයෙනි. ප්‍රඥාව පුද්ගලයා සකල ක්ලේශයන්ගෙන් මුදා නිර්වාණ මාවතට ගෙන යෑමට මහෝපකාරී වෙයි.

3. ධීති යනු, ධෛර්යය යි. එනම් වීර්ය යි. සම්මා වායාම යටතේ ඉගැන්වෙන මෙය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයකි. දුක, පීඩාව, දිළිඳුකම, ප්‍රශ්න ගැටලු ජයගත හැක්කේ වීර්යයෙනි. (විරියෙන දුක්ඛං අච්චෙති) කාර්යයක් ඇරඹුමේ දී ආරම්භ ධාතුව තිබිය යුතුයි. එයට ඉදිරිපත් වීමේදී නික්ඛම ධාතුව තිබිය යුතුය. එහි දිගු කාලීනව ඬරතවීමේදී පරක්කම ධාතුව තිබිය යුතුයි. සිදුහත් කුමරු අසල්ලීනව, වීර්යයෙන්, නොපසුබැස ක්‍රියාකිරීමෙන් ලොවුතුරා බුදු බව ලැබීය. අපගේ එලොව මෙලොව ජීවිත සාර්ථක කර ගැනීමටද ථිනමිද්ධ නීවරණයට පටහැනි වූ (ප්‍රතිවිරුද්ධ වූ) දැඩි වීර්යය අවශ්‍ය ම වේ.

4. චාග - ත්‍යාග ගුණය දීමෙන් පරිත්‍යාගයෙන් මිතුරන් ඇතිවන බව ආලවක සූත්‍රයේ කියැවෙයි. (දදං මිත්තානි ගත්ථති) දානය, පි‍්‍රය වචන, අර්ථචර්යා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුවේද දානය යටතේ මෙම ගුණධර්මය උගන්වා ඇත. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් පැවසෙන පරිදි, උපයන ධනය මසුරුමලින් තොරව භුක්ති විඳිය යුතු ය. (විගතමල මච්ඡේරේන චේතසා) මුදා හළ ත්‍යාග ඇතිව, දෙන දෙයෙහි නො ඇලී දෙයි. (මුත්තචාග) දන් දෙනු සඳහා නිතර සෝදාගත් අත් ඇතිව වෙසෙයි. (පයතපාණී) දීමට ඇති දෑ දීමෙහි උත්සාහවත් වූයේ ය. (වොස්සග්ගරතො) ඉල්ලීමට සුදුස්සකු වේ.

(යාචයොගො) දීමෙහි හා බෙදීමෙහි දක්ෂයෙකු, නිපුණයකුව වෙසේ. (දානසංවිභාගරතො) ධනය, හුදෙක් පරිභෝගය සඳහා මිස, ගොඩගසා රැස් කිරීම සඳහා නොවෙයි. මන්ද පෝෂණයත්, අධිපරිභෝජනයත් බුදු සමයෙන් ප්‍රතික්‍ෂිප්ත ය. වස්තු දේපල පිළිබඳ තණ්හා (ලෝභ) සිතින් මැරුණහොත් පේ‍්‍රතභවයේ උපදයි. ත්‍යාගීස්වභාවය, පරලොව සැප පිණිස පවතියි.

5. සද්ධා - ශ්‍රද්ධා සම්පත්තිය යි. නිර්මාණවාදී දේවාගම්වල ඇත්තේ අමූලිකා ශ්‍රද්ධාව යි. කරුණු ඇති සැටියෙන් සොයාබලා, තර්ක විතර්ක කොට ඇදහීම, පිළිගැනීම, බුදුසමයේ එන ආකාරවතී ශ්‍රද්ධාවයි. වීමංසක සූත්‍රයේදී සම්මා සම්බුද්ධත්වය වුවද පරීක්ෂා කර පිළිගත යුතු බව, කියැවෙයි. තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව හා ආර්යකාන්ත ශීලය ඇතිකර ගැනීමට බෞද්ධයන් උනන්දු විය යුතු ය. බුද්ධාදී අටතැන්හි සැකය නම් වූ විචිකිච්ඡා නීවරණය දුරුකරගෙන ශ්‍රද්ධා සිත පිහිටුවා ගැනීමෙන් පරලොව ජීවිතය සැපදායක වෙයි. මට්ටකුණ්ඩලී, මණ්ඩුක දෙව්පුත් වැනි කථා මීට උදාහරණය. බුදුසරණ ගිය අචල ශ්‍රද්ධාවන්තයා අපාගාමී නොවන බව මහාසමය සූත්‍රයේ ද කියැවෙයි. (යෙ කෙචි බුද්ධං සරණංගතා සෙ - න තෙ ගමිස්සන්ති අපායං)

6. සීල සම්පත්තිය - මෙහිදී පංචසීලය ආරක්ෂා කර ගැනීමෙන්, පරලොව සැප විඳිය හැකි බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ කියැවෙයි. එය අරියකාන්ත සීලය ලෙසද සක්විති රජුන්ගේ් රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය ලෙසද සූත්‍ර ධර්ම තුළ විග්‍රහ වෙයි. පංච සීලය හොඳින් ආරක්ෂා කරගන්නා ගේ මෙලොව දිවිය ද සැපවත් වෙයි. අරි අටඟි මඟෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත යනාදී අංගවලින්, සීලය අදහස් කර ඇත.

මෙම ගුණධර්ම සපුරා ගැනීමෙන් මෙලොව ජීවිතය සැපවත්ව ගත කිරීමටත් මේ ආත්මභාවයේ මඟඵල ලැබීමට නොහැකි වුවහොත් දෙවන භවයේදී සැපවත් ව ශෝක නොකර සතුටින් පී‍්‍රතියෙන් විසීමටත් හැකිවෙයි.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]