UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුංචි දඹදිව ලෙස ප්‍රචලිත රත්ගඟ අසූ මහා ශ්‍රාවක පස් විසි බුදු රජ මහ වෙහෙර

සබරගමු පළාතේ පමණක් නොව ලක්බිම පුරාම ප්‍රචලිතව ඇති පුංචි දඹදිව ගැන බෞද්ධ ජනතාව දක්වන්නේ මහත් උනන්දුවකි. දඹදිව ගොස් සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ආර්ථික පහසුකම් නැති ජනතාවට බුද්ධාලම්භණ පී‍්‍රතියෙන් යුතුව වැඳ පුදා ගැනීමට ඉදි කෙරන පුංචි දඹදිව නමින් හැඳින්වෙන රත්ගඟ අසූමහ ශ්‍රාවක පස්විස් බුදුරජ මහා වෙහෙර බිම පා තැබීමට ඉකුත් සතියේදී අපට හැකිවිය.


අසූ මහා ශ්‍රාවක මහා විහාරය

රත්නපුර නගරයේ සිට වේවැල්වත්ත මාර්ගයේ ගමන්කර ගලබඩ මන්සන්ධියෙන් වමට හැරී රත්ඟග මඟ ඔස්සේ සැතපුම් හතක් දුර ගමන් කළ විට හමුවන පුංචි දඹදිව නෙත සිත පහන් කරවන්නේ නිරායාශයෙනි. සිරිපා කඳුහිස පාමුල රත්ගඟ නදිය අසබඩ නිර්මාණය කර ඇති පුංචි දඹදිව ආරම්භක කතාව අසූ එක්වැනි දශකය කරා දිව යන්නකි. සබරගමු පළාතේ නොදියුණු අති දුෂ්කර පෙදෙසක් වූ ගිලීමලේ අභිනවාරාමාධිපති කුඩාවේ විනයවංශ නා හිමියන්ගේ ශිෂ්‍යරත්නයක් වූ ගිලීමලේ චන්ද්‍රාලෝක පොඩි හාමුදුරුවන් එවකට විසිහතර හැවිරිදි වියේ පසු වූ උගත් තරුණ භික්‍ෂුවකි. පැවිදි දිවියට පත්වන්නට පෙර සිට ශාසනික සේවාවට සමාජ මෙහෙවරට කැප වී සිටි උන්වහන්සේ 1981 අපි‍්‍රයෙල් 14 දා සිංහල අලුත් අවුරුදු දින පස්වරුවේ ගිලීමලේ විහාරස්ථානයෙන් හදිසියේම පිට වී ළඳු කැලෑව මැදින් ගලබඩ රාජ්‍ය වතුයායට අයත් රත්ගඟ අසබඩ පිහිටි රූස්ස මහ වනයට වැඩම කළේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට තවත් අපූරු දායාදයක් එකතු කිරීමේ අදිටණෙනි.

සිංහල අලුත් අවුරුදු දින රත්ගඟ අසබඩට වැඩමකළ තරුණ භික්‍ෂූන් වහන්සේ දුටු අවට ගම්වාසීන් බෙහෙවින් සොම්නසට පත්ව උන්වහන්සේ රැය ගත කිරීම සඳහා වල් සෙවිලි කළ ඉටි රෙදිවලින් වටකළ කුඩා පැල්පතක් තනාදීමට ඉදිරිපත් වූයේ මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ය. ඒ සමඟම දින කිහිපයක් ඇතුළත ගම්වාසීන්ගේ උත්සාහයෙන් ආගමික වතාවත් කිරීම සඳහා කොළ අතු සෙවිලි කළ කුඩා ධර්ම ශාලාවක් ද ඉදිකැරිණි. මෙම ධර්මශාලාව තුළ 1981 වෙසක්පුර පසළොස්වක පුන් පෝදා බුදුරදුන්ගේ තෙමඟුල සමරමින් ප්‍රථම පිංකම පැවැත් වූ චන්ද්‍රාලෝක හිමියන් වටා අවට ගම්මානවල පදිංචි සැදැහැවත් ගැමි ජනතාව දහස් ගණනින් එක් රොක් වන්නට පටන් ගත්තේ නොසිතූ විරූ අන්දමිනි.

මෙය සම්බුදු සසුණට දායාද කිරීමේ කාර්යය අරඹා දැනට විසි අට වසරක් ගෙවී ගොස් තිබේ.එදා යොවුන්වියේ පසු වූ පොඩි හාමුදුරුවන් වහන්සේ මේ වන විට සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක නා හිමියන් බවට පත්ව ඇත. දිනපතා දහස් සංඛ්‍යාත ජනතාවක් දිවයිනේ සතර දිග් භාගයෙන් පුංචි දඹදිවට ඇදී එන්නේ දඹදිව ගොස් වන්දනාමාන කිරීමේ දී ඇතිවන හැඟීම මෙතැනදී තමන්ට දැනෙන නිසා වෙන්නට පුළුවන.


පුංචි දඹදිව ඉදි කර ඇති පිරිනිවන් මංචකයේ අනුරුව

කාර්ය බහුල අවිවේකී දිවියක් ගත කරන චන්ද්‍රාලෝක නා හිමියන් පුංචි දඹදිව ඉදිකිරීමට පාදක වූ කරුණු එකින් එක සැකෙවින් විස්තර කරමින් පැවසුවේ මෙවැනි කතාවකි. “ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව අතරින් දඹදිව ගොස් සතර සිද්ධස්ථාන වූ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ස්ථානය හා පිරිනිවන් මංචකය දැකගන්නට ලැබෙන්නේ ආර්ථිකය ශක්තිමත්ව ඇති පිරිසකට පමණයි. ඒ නිසා ලක්‍ෂණ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීම පිණිස දඹදිව සතර සිද්ධස්ථානය ඒ අයුරින්ම නිර්මාණය කිරීමට මා අදිටන් කරගෙන දිවා රෑ වෙහෙසුණ. එයින් එක් සිද්ධස්ථානයක් වන කුසිනාරාවේ උපවත්ථණ සල්උයනේ පිහිටි පිරිනිවන් මංචකය දැන් ඉදිකර අවසන්”.

“කොළ අතු සෙවිලිකළ තාවකාලික ධර්මශාලාව තුළ ආගමික කටයුතු කරන්නට අපහසු නිසා මා මේ භූමියට පැමිණ වසරකුත් මාස දෙකක් ගෙවී ගිය පසු ආර්ථික අපහසුකම් මධ්‍යයේ ස්ථිර ධර්ම ශාලාවක් කෙසේ හෝ ඉදිකරන්නට 1982 දී ආරම්භ කළා. ජනතාවගේ ලැබුණු සහාය නිසා ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු නිම කරන්නට හැකි වුණා. කුඩා පැල්පතෙන් ඉවත් වී ධර්ම ශාලාවේ කාමරයක් සකස් කරගෙනයි පුංචි දඹදිව නිර්මාණය කරන්නට මා පටන් ගත්තේ”.


ඉදිවෙමින් පවතින බුද්ධගයා විහාර අනුරුව

පුංචි දඹදිව පූජා භූමියට පිවිසෙන කාහට වුවද දඹදිව ඉපැරණි සැවැත්නුවර බිමෙහි සිටින්නාක්මෙන් පිවිතුරු හැඟුම් ගලා එන්නේ නිරායාසයෙනි. පසෙකින් දිස්වන්නේ, අසූමහ ශ්‍රාවක පස්විසි බුදුරජ මහ වෙහෙරයි. තවත් පසෙකින් නෙත ගැටෙන්නේ ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙන් පැමිණෙන බැතිමතුන්ට නවාතැන් පහසුකම් සැළසීමට ඉදිකළ සුවිශාල ධර්මශාලා මන්දිරයකි.

අසූමහ ශ්‍රාවක පස්විසි බුදුරජ මහ වෙහෙරෙහි තැන්පත් කිරීම පිණිස බුරුම දේශයෙන් වැඩමකළ අති විශාල කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ නව බුදු මැදුර තුළ වඩා හිඳුවීමෙන් පසු 2009.07.31 දින බුදු මැදුර විවෘත කළේ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්.


ගිලීමලේ චන්ද්‍රාලෝක නා හිමි

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතුන් ද මේ සත් කාර්යයට අනුග්‍රහය ලබා දී තිබේ. 2003 වසරේ දී මට දඹදිව යන්නට ආසාවක් ඇතිවුණා. ඒ මහඟු පුණ්‍යකර්මයක් කිරීමටයි ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආරක්‍ෂාව සඳහා ඉදිකර ඇති රන්වැට හා වජ්‍රාසනය ආවරණය කළ රන් වියනද දුර්වර්ණව තිබුණ බැවින් නැවත රන් ආලේප කිරීමටයි මා දඹදිව ගියේ. මේ සඳහා ඇමැති අශෝක වඩිගමංගාව මහතා මුදල් ලබා දුන්නා. මා විසින් කළ මෙම පුණ්‍ය ක්‍රියාව අගැයීමක් වශයෙන් ශ්‍රී මහා බෝධිකාරක මණ්ඩලය, බිහාර් ප්‍රාන්තරාජ්‍ය හා මහාබෝධි සමාගමේ තීරණයක් අනුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලබා දුන්නා. එය තමා දැන් පුංචි දඹදිව විහාර භූමියේ රෝපණය කර තිබෙන්නේ.

පුංචි දඹදිව ඉදිවෙමින් පවතින සුවිශේෂී නිර්මාණය වන්නේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් එදා ඉදි කළ බුද්ධගයා මහා විහාරයෙහි අනුරුවයි.ඉන්දියාවේ අති දක්‍ෂ මූර්ති ශිල්පීන්ගේ උපදෙස් පරිදි මෙය ඉදිවෙමින් පවතියි. වසර දෙකකට පෙර ඇරඹූ බුද්ධගයා අනුරූ වෙහෙරෙහි ඉදිකිරීම් කටයුතු වලින් සෑහෙන කොටසක් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගෙන් ලැබෙමින් පවතින ආධාර හා පරිත්‍යාගයන් නිසා නිම කරන්නට හැකි වූ බවද චන්ද්‍රාලෝක නා හිමියන් පවසයි.

“දඹදිව වැඳ පුදා ගැනීමට නොහැකි වූ ඔබ වරක් හෝ පුංචි දඹදිවට පැමිණෙන්න.” මේ ගිලීමලේ චන්ද්‍රාලෝක නාහිමියන් එසේ ඔබ සැමට ආරාධනා කරයි.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]house.lk