UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙත් බෝසත් විවරණ පූජාව ඉල් පෝදා බෙල්ලන්තර දී

මතු බුදුවන උතුම් මෛත්‍රීය බෝධිසත්ත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත් සංසිද්ධිය සිහිපත් කරවන ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් මහා පෙරහර වීදි සංචාරය කිරීම ඉල්පෝදා රාත්‍රී 8 ට දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයෙන් ආරම්භ වේ.

එම බෝසත් විවරණ පූජා පෙරහර සිරි සදහම් ආශ්‍රමයේ අධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

පිටිදූවේ සිරිධම්ම හිමියන් ඒ නිමිත්තෙන් දැක්වූ අදහස් මෙසේය.

බුද්ධත්වය වෙනුවෙන් ලෞකික හා භෞතික සම්පත් සියල්ල අත හරිනුයේ බෝධිසත්වයන් වහන්සේය.

ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ විවරණ ලබා ගත් පොහොය ඉල් පුර පසළොස්වක පොහොය දිනයකි.

එදා ගෞතම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වඩින බුදු අසිරිය දැක බුදුවීමේ අදහස පහළ විය. ලක්ෂ ගණන් සත්වයින් බුදුබව පැතූ බව පූජාවලිය ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ.

මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමකි. වීර්යාධික බුදුවරු පෙරුම් පුරන කාලය සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයකි. තුසිත දිව්‍ය ලෝකයෙහි වෙසෙන මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ දෙවියන්ගේ ඇරියුමෙන් පස්මහ බැලුම් බලා මනුලොව ඉපදීමට තීරණය කරති.

එවිට ‘කේතුමතී’ නම් සියලු සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය වූ රාජධානිය පහළ වී එහි ‘සංඛ’ නම් රජ කෙනෙකුන් පාලනය කරන සමය වේ. ‘සංඛ’ නම් සක්විති රජතුමාගේ් පුරෝහිත බමුණු ‘සුබ්‍රහ්ම’ මෙත් බෝසතාණන් වහන්සේගේ් පියාණන් වන අතර ‘බ්‍රහ්මවතී’ බැමිණිය මව වේ. බෝසතාණන් වහන්සේගේ අග මෙහෙසිය වනුයේ ‘චන්ද්‍රමුඛී’ නම් බිසවයි. තම අග බිසව ‘බ්‍රහ්මවර්ධන’ නම් පුත් කුමරු බිහිකළ දිනයේ සතර පෙර නිමිති දැක මහබිනික්මන් කිරීමට තීරණය කරති.

පැවිදි බිමට සුදුසු පරිදි සතියක් මුළුල්ලෙහි ඊට සූදානම් වන බෝධිසත්වයන් වහන්සේ දෙවි බඹු මිනිසුන් පිරිවරා පැවිදිව ‘චන්ද්‍රමුඛී’ අගබිසව පුදනු ලබන මී කිරි පිඬු වළදා නාග ශ්‍රී බෝධි මූලයට පැමිණ චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනයේ වැඩ සිටිති.

වසවර්ති මාරයා බෝසතුන් වෙත පැමිණීමට සූදානම්ව බලා බෝධි සත්වයන් වහන්සේගේ ආනුභාවයෙන් හා බිය වී පලායයි. බෝධිසත්වයන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ නමින් නාග ශ්‍රී බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත් වේ.

ඒ මෛත්‍රී බුදුරදුන්ගේ බුද්ධ කාය අසූ අට රියනකි. ආයු කාලය අවුරුදු අසූ දහසකි. ‘අසෝක’ සහ ‘බ්‍රහ්මදේව‘ යන මහතෙරුන් වහන්සේලා අග්‍රශ්‍රාවක වේ. ‘සීහ’ නම් මහ තෙරුන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික මෙන්ම අග්‍ර උපස්ථායක ද වේ. ‘පදුමා’ සහ ‘සුමනා’ නම් වූ භික්ෂුණීන් වහන්සේලා අග්‍රශ්‍රාවිකාවෝ වෙති.

‘මුහුර්ත’ නම් බුදුහිමියන්ගෙන් පළමු විවරණය ලැබූ පෙරුම්පුරමින් පැමිණි මෛත්‍රීය බෝසතාණෝ අවසන් වරට බුදුරජාණන් වහන්සේ නමකගෙන් විවරණ ලබනුයේ ගෞතම අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙනි.

ගෞතමබුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා භවනෙහි වස් වැස තුන්මස ඇවෑමෙන් සංකස්සපුර නගරද්වාරයෙන් නැවත වඩින බව බුදුරදුන්ගෙන් අසා දැනගත් මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා කටයුතු සූදානම් කළහ.

දේවාවරෝහණ නම් ඒ අසිරිමත් උත්සව දිනයේ සංකස්සපුරයට රැස්ව සිටි සියලු ජනයාට දිව්‍යශ්‍රීය දැකගත හැකි අයුරින් බුදුරදුන් නැවත වැඩම කරන මොහොතේ ඒ ජනයා අතර මෙත් බෝසත්හුද සිටියහ.

සංකස්ස පුරයේ ‘සිරිවඩ්ඩ’ නම් කෙළඹි පුත්‍රයකුව ඉපිද සිටි මෙත් බෝසතාණෝ වස් තුන් මස තුළ භික්ෂූන් වහන්සේලාගේ මාර්ගඵලාවබෝධයන් පිළිබඳ විමසීම හා ගැටලු තැන් විසඳීමේ අරමුණින් බුදුරදුන් හා පැවැති දහම් සංවාද මාලාවේදී සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ පැවැති ඉතා විචිත්‍ර දහම් කතිකාවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව දහසක් පිරිවර සමගින් පැවිදි උපසම්පදාව ලැබූහ.

බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවනේ ප්‍රසාදය දිනා ගනිමින් විචිත්‍ර ධර්ම දේශනාවන්හි යෙදෙමින් පැවිදි දිවිය ගත කරන ආර්ය මෛත්‍රී බෝසත් භික්ෂුතෙම තමන් වෙත මහාකා්‍යප මහ රහතන් වහන්සේ විසින් පුදනු ලැබූ වටිනා සිවුරු දෙකකින් බුදුරදුන් වැඩ සිටි ගන්ධ කුටියේ වියන සකස් කර පූජා කරන ලදී.

එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අනෙකුත් භික්ෂූන්ට එම ආර්ය මෛත්‍රී බෝසත් භික්ෂුව දක්වමින් මෙසේ දේශනා කළහ.

මහණෙනි! උතුම් වස්ත්‍ර යුගලයකින් වියනක් කර බුදුන් පිදු මේ භික්ෂුව දෙස බලව. මේ තෙමේ මතු මේ භද්‍ර කල්පයෙහිම මෛත්‍රීය නම් සම්මා සම්බුදු වන්නේය. එකල මෙම බරණැස ‘කේතුමතී’ නම් රාජධානියක් වන්නේ්ය. එහි ‘සංඛ’ නම් සක්විති රජ කෙනෙක් වන්නේ ය. ඔහු පුරෝහිත ‘ සුබ්‍රහ්ම’ නම් බමුණා මෛත්‍රීය බුදුන්ගේ පියා වන්නේ ය. ඔහුගේ භාර්යාව වූ ‘බ්‍රහ්මවතී’ බැමිණිය මව වන්නීය. නා රුක ඒ බුදුහුගේ බෝරුක වන්නේ යැයි නියත විවරණ දී වදාළ සේක. ඒ මෙත් බෝසතාණන් වහන්සේ අනාගත මෙතේ බුදුන් ලෙස ලොව පහළවීමේ අපේක්ෂාවෙන් තව්තිසා, දිව්‍ය භවනයෙහි වැඩ වසති. දෙවියන් අතර මහා පුණ්‍යවන්ත වූ අග්‍ර වූ මෙත් බෝසතාණන් වහන්සේට පුදපූජා පැවැත්වීම පිළිබඳව ලංකා ඉතිහාසයේ අනුරපුර යුගයේ සිට වාර්තා වේ.

එබැවින් එම සිද්ධීන් හේතු කරගෙන මෛත්‍රීය බෝසතාණන් වහන්සේ වෙනුවෙන් මෙම ඉල්පෝදා සදහම් ආශ්‍රමයේදී විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ.

පෝදා සවස 6.30 ට මහා පූජාවක් පැවැත්වේ. අනතුරුව රාත්‍රී 8 ට මෙත් බෝසත් විවරණ පූජා පෙරහර ඇරැඹේ. විශේෂයෙන් රටටත්, ජනාධිපතිතුමාටත්, ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් එය සිදු කැරේ.

කැමැති ඕනෑම කෙනෙකුට ඊට සහභාගි විය හැකි අතර ලක්ෂයක් පමණ පිරිසකට අවශ්‍ය පොදු පහසුකම් රජයත් අනෙකුත් අයගේත් සහයෙන් සපයා තිබේ. ඊට සුදුවතින් සැරසී පැමිණ සහභාගි විය හැකිය.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]