පි‍්‍රය උපදවන දේ අනතුරු සහිතයි

ප්‍රිය උපදවන දේ අනතුරු සහිතයි

අප බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩවසන සමයක ඒ නුවර සිටියා එක තාත්තා කෙනෙක්. හදිසියේ ම වගේ ඒ තාත්තා ගොඩක් ආදරය කරපු එයාගේ එකම පුතා මරණයට පත් වුණා. ඒ තාත්තට ඒ වියෝව දරාගන්න බැරිව ගියා.

ඔහු මොකද කළේ, කෑමක් බීමක් ගත්තෙත් නෑ. වැඩක් පලක් කළෙත් නෑ. හැම වෙලාවෙ ම පුතාගේ සොහොනට ගිහිල්ලා ‘මගේ පුතා කොහේද? මගේ පුතා කොහේද? කියමින් අඬන්න පටන් ගත්තා. ඉතින් ඔහොම කාලය ගෙවී ගියා. දවසක් ඔහුට හිතුණා දෙව්රම් වෙහෙරට යන්න ඕනෑ කියලා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පසෙකින් වාඩි වුණා.

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනව “ගෘහපතිය, ඔබගේ ඉඳුරන් වෙනදා වගේ ප්‍රසන්න නැහැ. මොනවා හරි හිතේ පසුතැවිල්ලක් තියෙනවා ද කියලා. එතකොට තාත්තා කියනවා” “බුදුරජාණන් වහන්ස” මගේ ඉඳුරන් කොහොම ප්‍රසන්න වෙන්නද? මට හිටිය එකම පුතා කලුරිය කළානේ. ඉතින් මට කෑමක් බීමක් ගන්න හිතෙන්නෙත් නෑ. වැඩක් පලක් කරන්න හිතෙන්නෙත් නෑ. මම හැම වෙලාවෙ ම කරන්නේ කොහෙට හරි ගිහිල්ලා අඬන එකයි.” කිවුවා.

ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ තාත්තාට බොහොම ලස්සන ධර්ම කාරණාවක් වදාළා. මොකක්ද? පින්වත් ගෘහපතිය, ඒක එහෙම තමයි. ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස කියන මේවා හටගන්නේ පි‍්‍රයදේවලින් ම තමයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. බොහෝ දුකින් පෙළුණ අර තාත්තට ඒ දහම් කාරණයේ ගැඹුර වැටහුණේ නැහැ. ඒ නිසා ඔහු මෙහෙම කීවා. "නෑ බුදුරජාණන් වහන්ස පි‍්‍රය දේවල්වලින් හටගන්නේ සතුටයි, සොම්නසයි කියලයි මම නම් හිතන්නේ" කියලා.

ඉහත සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ පිය ජාතික සූත්‍රයෙන් උපුටාගත් කොටසකි. එහි පුතු මළ සොවින් හඬා වැලපුණු පියා තුළින් නිරූපණය වන්නේ සාමාන්‍ය පෘථග්ජනයා පි‍්‍රය දේවල් කෙරෙහි දක්වන ආකල්පය යි. පෘථග්ජන අප ද අර පියා මෙන් ම අප ආදරය කරන යම් පුද්ගලයකු හෝ යම් වස්තුවක් අහිමි වූ විට හඬා වැලපෙනවා නොවේද? එපමණක් නොව අර පියා මෙන් අප ද කල්පනා කරනුයේ පි‍්‍රය දේවලින් දුක ශෝකය නොව සතුට සොම්නස ම ඇතිවන බව ය. සැබැවින් ම පි‍්‍රය දේ තුළ සතුටක් සොම්නසක් නැත්තේ ම නොවේ. පි‍්‍රය දේ සියල්ලකම පාහේ තාවකාලික වූ සතුටක් අන්තර්ගත ව පවතිනවා. එහෙත් ඒ සතුට තාවකාලිකයි. ඒ තුළ ඊට වඩා විශාල වූ දුක්ඛ ස්වභාවයක් පවතිනවා. එහෙත් අවාසනාවකට මෙන් පි‍්‍රයදේවල් අභ්‍යන්තරයේ පවත්නා එකී භයානකකම හඳුනා ගන්නට තරම් මුහුකුරා ගිය බුද්ධියක් අප බොහෝ දෙනකුට ඇත්තේ නෑ. ඒ නිසා ම අප ද පි‍්‍රය දේවල් බොහොමයක් මම, මගේ යැයි ග්‍රහණය කරගෙන ඒවා වෙනස් වන විට, විනාශ වෙන විට අඬා වැලපෙනවා නොවේද?

පියජාතික සූත්‍රය මැද හරියේ දී බුදුරජාණන් වහන්සේ එකල සිදුවුණු සිදුවීම් රාශියක් උපයෝගී කරගෙන පි‍්‍රය දේවල්වල පවත්නා යථාර්ථය දේශනා කොට වදාළා. මව, පියා අහිමි වීමෙන් උමතුව හඬා වැලපුණු දරුවන් ගැනත්, දරු මුණුපුරන් අහිමි වීමෙන් හඬා වැලපුණු මවුපියන් ගැනත්, සැමියා හෝ බිරිඳ හෝ අහිමි වීමෙන් හඬා වැලපුණ බොහෝ දෙනා ගැනත් සජීව හා නැවුම් සිදුවීම් රාශියක් උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට වදාළේ ඒ හැම දෙනාම උමතුව වැලපුණේත්, විලාප දෙමින් දුක් වූයේත් වෙන කිසිවක් නිසා නොව පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ඉවසාගත නොහැකි වූ නිසා බවයි. ඒ තුළින් හටගත් දුක නිසා බවයි.

මගේ මවුපියන්, මගේ දරුමුනුපුරන්, මගේ නෑදෑයන්, මගේ වස්තුව ආදී වශයෙන් අපද තෘෂ්ණාවෙන් හා පි‍්‍රය බවින් යුතුව යම් යම් පුද්ගලයන් හා යම් යම් දේවල් මනසින් දැඩිව ග්‍රහණය කර ගෙන සිටිනවා. එසේ පි‍්‍රයතාවෙන් පරිහරණය කරන පුද්ගලයන් හා වස්තු නිරන්තරයෙන් ම අප ජීවිතවලට දුක ශෝකය උරුම කරන බව ඒකාන්ත සත්‍යයක්. එය බුදුරදුන් වදාළ යථාර්ථයක්.

බුදුරජාණන් වහන්සේ මෙලොව පවත්නා සජීව අජීව සෑම වස්තුවකම පවත්නා ලක්ෂණ තුනක් පෙන්වා වදාළා. ඒ තමයි ඇතිවීම, වෙනස් වීම හා නැතිවීම. මේ ලෝකයේ සිටින කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයකුට බැහැ මේ ලක්ෂණ තුනෙන් මිදෙන්න. මහාසාර වස්තුන්ට වුණත් ඒ ලක්ෂණ තුන සාධාරණයි. ඒ හැම දෙයක්ම ඇති වුණා වගේම වෙනස් වෙමින් ගොස් විනාශ වී යනවා. එය අප කාටත් පොදුයි. මිනිසුන් වන අප සැමටත්, සියලු සතුන්ටත්, සියලු භෞතික වස්තුවලටත් එකී ලක්ෂණ තුන සාධාරණ ව ක්‍රියාත්මක වෙනවා. එසේ නම් මම, මගේ කියා ග්‍රහණය කරගෙන සිටින සජීව අජීව හැම වස්තුවක්මත් වෙනස් වෙවී ගොස් අවසානයේ දී විනාශ වන බව අප කවුරුත් නුවණින් කල්පනා කරන්න ඕනේ. නමුත් පෘථග්ජන ගතිය නිසා අප ඒ ගැන වැඩිය කල්පනා කරන්නේ නැහැ. අප සිතා සිටිනුයේ ද පි‍්‍රය වස්තුන් හා පි‍්‍රය පුද්ගලයන් සැමදාම අපට සතුට ගෙනදෙනු ඇති බවයි. ඒ නිසා ඕනෑවටත් වඩා අප පි‍්‍රය දේ සමඟ බැඳෙනවා. වෙළෙනවා. ඒ නිසා ම පි‍්‍රය දේ වෙනස් වන විට හා විනාශ වන විට අපට බොහෝ සේ දුක දැනෙනවා. පි‍්‍රය දේ සමඟ පවත්නා බැඳීම වැඩි වූ තරමට පි‍්‍රය දේ අහිමි වූ කල දැනෙන දුක ද ශෝකය ද වැඩියි.

මෙලොව වාසය කරන කවුරුත් වැඩියෙන් පි‍්‍රය කරනුයේ වැඩියෙන් ම ආදරය කරනුයේ තමාට ම යි. නැත්නම් තමාගේ පංචස්කන්ධයටයි. දෙවනුව ඇස, කන, නාසාදී ඉන්ද්‍රියයන්ට ආදරය කරන ලෝකය තෙවනුව, අඹු දරු ඥාතීන්ට හා සිව්වැනි ව බාහිර වස්තුවලට ආදරය කරනවා. මේ සීමාවලින් පරිබාහිර පුද්ගලයන්ට හා වස්තුන්ට හෝ දැඩි ව බැඳී නෑ. ඒ නිසා මම ය, මාගේ ය යන සීමාවලින් බැහැර වූ, එසේත් නැතිනම්, තමා පි‍්‍රය නොකරන යම් පුද්ගලයකුට හෝ යම් වස්තුවකට ව්‍යසනයක් වන්නේ නම් කම්පා වන්නේ හෝ දැඩිව දුක් වන්නේ ද නෑ. අප වුව ද මඟ තොටේ යන විට කොතරම් නම් අන්‍යයන්ට වන විපත් කරදර ව්‍යසන දකිනවා ද? සන්නිවේදන ඔස්සේ අන්‍යයන්ට වන කරදර ව්‍යසන කොපමණ නම් අසන්නට ලැබෙනවා ද? එහෙත් ඒ සිදුවීම්වලින් අප මහා දුකකට කනගාටුවකට පත් නොවන්නේ ඇයි?

හේතුව ඒ කිසිවකු සමඟ අප දැඩි ව බැඳී නොසිටීමයි. නැතහොත් ඒ අය අප පි‍්‍රය කරන පුද්ගලයන්ගේ ගොන්නට ඇතුළත් නොවීමයි. ඒ නිසා එවැන්නන්ගේ දුක අපේ දුකක් බවට පත්වන්නේ නෑ. එහෙත් අප වඩාත් පි‍්‍රය කරන මවුපිය, අඹුදරු, නෑදෑ හිතවත් අයකුට යම් ව්‍යසනයක් වුවහොත් අපට කොයිතරම් නම් දුකක් දැනෙනවා ද?

මොහොතක් සිතන්න අප පි‍්‍රය කරන අයකු මාසයකට, දෙකකට විදෙස් රටකට යනවා කියා නැත්නම් එවැනි පි‍්‍රය වූ අයකු අසනීප වූවා කියා, කොතරම් නම් අප ශෝක කරනවා ද? එසේ නම් අප පි‍්‍රය කරන අයකු සදහටම අපෙන් වෙන් වන විට දැනෙන වේදනාව කොතරම් නම් විශාල ද? වෙන්වන කෙනා සාමාන්‍යයෙන් අප පි‍්‍රය කළ අයකු නම් හටගන්නේ සාමාන්‍ය වූ දුකක්. නමුත් ඔහු අප වඩාත් පි‍්‍රය කළ අයකු නම්, නැත්නම් වෙන්වන කෙනා අප බොහෝ ආදරය කළ අයකු නම් රත් කළ යකඩ උලක් පපුවට ඇතුළු කළාක් මෙන් සිත ද, කය ද දැවී යනවා නොවේද? කෙනෙක් විලාප දෙමින් හඬා වැලපෙනවා. ඇතැම් කෙනෙක් ලේ වමනය කරනවා. උමතුවනවා. යම් යම් උපක්‍රම මඟින් ජීවිතය පවා අහිමි කර ගන්නවා. මෙසේ පි‍්‍රය දේ පසුපස කොතරම් නම් බිහිසුණු බවක් සැඟව පවතිනවාද?

කිසි දෙයක් කෙරෙහි ඇල්මක් ඇති කර ගන්න එපා. පි‍්‍රයයන්ගෙන් වෙන් වෙන්න සිදුවුණොත් එය විශාල දුකක් වෙනවා. එහෙත් යම් කෙනකුට ඔය අපි‍්‍රය දේවල් කිසිවක් නැත්නම් ඔහු තුළ කෙලෙස් ගැට නෑ. පි‍්‍රය අපි‍්‍රය කිසිත් නැති උතුම් නිවන ළඟා කර ගත හැකි වෙනවා.

පොසොන් අමාවක

ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා
අ.භා. 04.06න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]