[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක පෝ දා 2025-06-25

සංවර වීම

මිනිස් සිත ප්‍රභාශ්වර ය. එහෙත් බාහිරින් එන අරමුණු සමඟ ගැටීමෙන් සිත අපිරිසුදු වීම නිසා අපි විවිධ ගැටලු, ප්‍රශ්නකාරී තත්වයන්ට මැදි වී ජීවිතය අවලස්සන කර ගනිමු. අසතුට ළඟා කර ගනිමු. සම්බුදු දහම අපට උගන්වන්නේ සතුටින් ජීවත් වන මාර්ගයයි.

කරණීය මෙත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පසිඳුරන් දමනය කර ගැනීම තුළ වැරැදි මඟ යාමෙන් වැළකී සිටිය හැකි ය.

ජීවිතයේ ගෙවෙන සෑම අවස්ථාවක ම වගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට විවිධ අරමුණු හමුවේ. ඒවා සමඟ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්, ඇලෙනවා නම්, ගැටෙන්නට යනවා නම් ඉඳුරන් නොසන්සුන් වේ. සම්බුදු දහම උගන්වන්නේ ඒ අරමුණු අවබෝධයෙන් හඳුනා ගන්නා ලෙසයි. සත්‍ය ස්වභාවය වටහා ගත් විට අනවශ්‍ය ඇලීම්, ගැටීම් අවම වේ. ඉඳුරන් සංවර වේ.

ජීවිතයේ හික්මීම ඇති කරන්නේ ඒ සංවර බවයි. ඒ තුළ සිත වැරැදිවලට පොළඹවන්නේ නැත. අරමුණූු හමුවේ ගිනියම් වන්නේ නැත. කායිකව හෝ වාචික ව හෝ තමන්ට අනර්ථකාරී දේ සිදුකර ගන්නේ නැත. අනුන්ට අනර්ථ කරන්නේ ද නැත. පිනෙන් වැඩෙන්නේ ඒ සංවරයෙන්, ශික්ෂණයෙන් යුතු පුද්ගලයා යි.

ජීවිතයේ බියකරු බව, සසර භයංකර බව අවබෝධ කර ගන්නට නම් නුවණ තිබිය යුතු ය. ධර්ම මාර්ගයේ ගමන් කරනවා යැයි බොහෝ අය වැරැදි අවබෝධය තුළ ධර්මය වරදවා වටහා ගනිමින්, එක්කෝ තමන් දහම් මග යනවා යැයි තමන් ම රැවටීමට ලක් වෙමින් අඥානකම නිසා පව් රැස් කරගනිති. ධර්මාවබෝධයට ප්‍රඥාව අත්‍යවශ්‍යය. දැනුම, අවබෝධය වර්ධනය කර ගැනීම තුළ ඊට ළඟා විය හැකි ය.

මේ ජීවිතයේ සේ ම මුළු සංසාරය පුරාම දුක්ඛිත තත්වයන්ගෙන් මිදෙන්නට, මේ බිය උපදවන දුක්ඛිත සසරෙන් නිදහස් වන්නට නම් ඇස, කන, නාසය, ආදී ඉඳුරන් රැක ගත යුතු ය. බාහිරින් එන විවිධ අරමුණු හමුවේ අවිචාරවත් ලෙස ඒවා සමඟ නොඇලී නොගැටී සිටිය යුතු ය. සිහිකල්පනාවෙන් එසේත් නැතිනම් සතියෙන්, අවබෝධයෙන්, නුවණින් ඒ ඉන්ද්‍රිය මෙහෙයවිය යුතු ය.

උදාහරණ ලෙස අපි ඇසින් ඉතා පි‍්‍රය රූප දකිමු. ඒ ක්ෂණයෙහි ආශාවෙන් එදෙස බලමු. අපූර්ව යැයි සිතෙන ආශ්වාදයක් ලබමු. එතැනින් නොනැවතෙමු. නැවත නැවත ඒ දේ දකින්නට පෙළඹෙමු. එය ළං කර ගන්නට උත්සාහ කරමු. ඇලෙනවා යනු ඒ කැමැත්තයි. යම් හෙයකින් ඒ පි‍්‍රය උපදවන දෙය ළගා කර ගත නොහැකි වූයේ නම් දුකට පත්වෙමු. බලාපොරොත්තු කඩ වී සිත අසහනයට, පීඩාවට පත් කර ගනිමු. එහෙත් අප දකින රූපයේ සැබෑව අවබෝධ කර ගත්තා නම් සතියෙන් ජීවත් වුණා නම් එවැනි තත්ත්වයකට පත් වන්නේ නැත.

අනෙකුත් ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණුවල ස්වභාවය ද මෙවැනි ය. ඉන්ද්‍රිය සංවර කර ගත යුතු එහෙයිනි.

පොසොන් අමාවක

ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා
අ.භා. 04.06න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]