රැස්කරන පින කුසලයක් කර ගනිමු
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
ඉමම්හි චායං සමයෙ
කාලං කයිරාථ පුග්ගලො
නිරයං උප්පජ්ජෙය්‍ය
විත්තඤ්හිස්ස පදුසිතං
මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම් නරකයෙහි උපදනේ ය. යම් හෙයකින් ඔහුගේ සිත
දූෂිත වූයේ ද එහෙයිනි.
ඉමම්හි චායං සමයෙ
කාලං කයිරාථ පුග්ගලො
සුගතිං උප්පජ්ජෙය්‍ය
විත්තඤ්හිස්ස පසාදිතං
මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කරේ නම්, සුගතියෙහි උපදනේ ය. ඔහුගේ සිත ප්‍රසන්න
ය. එහෙයිනි,
මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කර ගනු ලබන්නේ ඛුද්ධක නිකායේ ඉති
වුත්තක පාලියේ ඇතුළත් පදුට්ඨ චිත්ත සහ පසන්ත චිත්ත සූත්‍ර දේශනා දෙකයි.
කෙටියෙන් සඳහන් කළොත් දුෂ්‍ය වූ සිතකින් කලුරිය කරන අයෙක් නිරයෙහි උපදින බවත්,
ප්‍රසන්න සිතකින් කළුරිය කරන අයෙක් සුගතියෙහි උපදින බවත්, මේ සූත්‍ර දේශනාවන්ගෙන්
මනාකොට අපට පෙන්වා දෙයි.
අප දුර්ලභ ව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ ම මාර්ග ඵල අවබෝධයකට ඇතුළත් වීමෙන් අර්හත්වය
ලබන තෙක් ඒ හැම මොහොතක් පාසා ම ලෝභාදී කෙලෙස්වලින් දූෂ්‍ය වන සිත්, සිතුවිලි බැහැර
කර ගෙන අලෝභ, අදෝෂ, අමෝහ ආදී කුසල සිතුවිලිවලින් ප්‍රසන්න වන සිත් හා සිතුවිලි සකස්
කරගත යුතුයි. අශ්‍රැතවත් පෘථග්ජන ස්වභාවයේ සිත් පිහිටුවා ගෙන සිටින සෑම අයෙක් ම
පදුට්ඨ චිත්තය ඉක්මවා ගෙන පසන්න චිත්තය මතු කර ගැනීමට උත්සාහ දැරිය යුතු වෙයි.
පින්වතුනි, අප සැමගේ සිත පවතින්නේ අශ්‍රැතවත් පෘථග්ජන ස්වභාවයෙන් නම්, මේ සිත පුරා
නිරන්තරයෙන් ම ඒ ඒ අරමුණෙහි ලෝභ, දෝෂ, මෝහ ආදී ආශ්‍රව හෙවත් කෙලෙස් සකස් වේ. එවිට
ආශ්‍රැතවත පෘථග්ජන යැයි පෙන්වා දෙන්නේ කුමක්ද? ශ්‍රැතවත් ශ්‍රාවකයෙක් නොවී නික්ලේශී
උතුමෙක් බවට පත් නොවුනොත් නිරන්තරයෙන් ම අස්සුතවත් පුථුජ්ජනො, අරියානං අදස්සාවී,
අරිය ධම්මස්ස අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ යයි සඳහන් වන තැන, ඒ ඒ අරමුණෙහි පනවාගත්,
පි‍්‍රය අරමුණුවල ‘මම’ ය, ‘මගේ’ ය කියන දෘෂ්ඨියෙන් දැඩි ව ඇලීමත්, ඒ ඒ අරමුණෙහි සිත
දැඩිව පවත්වා ගැනීමටත් උත්සාහ දරයි. ඒ වගේම අකැමැති යයි, අපි‍්‍රය යැයි පනවාගත්
අරමුණෙහි නිරතුරුව ම ගැටීම නිසා ඒ ගැටීමෙන් අමනාපය, ක්‍රෝධය, වෛරය ආදී වශයෙනුත්
ආශ්‍රව හෙවත් කෙලෙස් පවත්වා ගැනීමට සිත සකස් වෙයි. එවිට ධර්මයේ පෙන්නුම් කළේ ආර්ය
ධර්මයේ අදක්ෂ කෙනෙක් බවට පත්වී සිටින බවයි. එනම් අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය
ධර්මයෙහි අරමුණු, පරමාර්ථ ධර්ම වශයෙන් මෙනෙහි කර එය උපාදානය නොවන තැනට සිත සිහිය
පිහිටුවා ගන්නට හැකියාවක් නැති පුද්ගලයෙක් හැඳින්වූයේ ‘අකෝවිදෝ’ යන වචනයෙනි.
ඒ නිසා ආර්ය ධර්මයෙහි අවිනීතයි. (අරියධම්මේ අවිනීතෝ) අවිනීත වූ විට පනවාගත්
අරමුණෙහි ඇලෙනවා වගේ ම අකැමැති අරමුණේ ගැටෙන්නේ, මෝහය සහ අවිද්‍යාව නිසයි. එවිට
නැවත නැවතත් ලෝභාදී කෙලෙසුන් සකස් වෙයි. මෙය ‘පදුට්ඨ චිත්තයේ’ ස්වභාවය යි. මෙය
ආශ්‍රැතවත් පෘථග්ජන සිත්වල නිරන්තරයෙන් සකස් වෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වූ විට ධර්ම විනයට අනුගත සිතක් සකස් වෙයි.
බලන්න, ඔබටත් ඒ සිත, සිතුවිලි සකස් කර ගන්න පුළුවන් ද? සකස් කර ගනිමින් සිටින්නේ ද?
යන්න නුවණින් මෙනෙහි කරන්න. ආර්ය ශ්‍රාවකයා අරමුණ දකියි. අරමුණ දකිනවා යනු සිතට
නැඟීමයි. සිතට නැඟෙන විට ම ඒ අරමුණෙහි ස්වභාවය හඳුනාගන්න පුළුවනි. ඒ භාවිත,
බහුලීකතන ස්වභාවය අනුවයි. අරමුණෙහි ස්වභාවය කුමක්ද? හේතූන් ප්‍රත්‍යය කර ගෙන සකස්
වුණු ඒ අරමුණු අපි පරිහරණය කරන විට සම්මතයෙහි පනවා ගැනීම අනුව පි‍්‍රය අරමුණෙහි
වෙන්න පුළුවනි. අකැමැති අරමුණෙහි වෙන්න පුළුවනි. පි‍්‍රය අරමුණ පවත්වන විට
තෘෂ්ණාවෙන් දැඩිව අල්ලා ගැනීමක් නැත. එනම් උපාදානයක් කර නොගනී. හේතුව නම්, හේතුන්ගේ
ඵලය, මේ අරමුණ පි‍්‍රය වශයෙන් මතු කොට ගත්තේ නමුත් මේ සංඛතයක් වූ අරමුණ සෑම මොහොතක්
පාසා ම වෙනස් වීමකට නතු වෙයි. එවිට ගැටීමක් ඇතිවන්න පුළුවනි. ඒ නිසා වෙනස්වන
වස්තුවක්, ඒ වස්තුව පණ ඇති හෝ පණ නැති හෝ සංඛතයක් වෙන්න පුළුවනි.
පි‍්‍රය අරමුණ ලබන්න උත්සාහ දරයි, ලබා ගනී. ලැබුවායින් අනතුරුව පරිහරණය කරයි.
ස්වාමියා, බිරිඳ, දෙමව්පියො, දරුවෝ, සොහොයුරු - සොහොයුරියන්, කල්‍යාණවන්තයින්
වශයෙන්, මේ ආදී පුද්ගලයන්ගේ හමුවීම වෙන්න පුළුවනි. නමුත් මේ හමුවුණේ හට අරගෙන බිඳී
නැතිවී යන ස්වභාවය තිබෙන ස්කන්ධ පඤ්චකයකි. අජ්ඣත්ත වශයෙන් තමා වගේ ම සලකා, බහිද්ධ
(බාහිර) අරමුණෙන් ස්වාමියා - බිරිඳ, දෙමව්පියෝ - දරුවෝ, යහළු - හිත මිත්‍රාදීන්
වශයෙන් වුව ද මේ ස්කන්ධ පඤ්චකය හට අරගෙන බිඳී නැති ව යන බව අවබෝධයෙන්, පි‍්‍රය
ස්වභාවයෙන් මුණගැසුණු අය සමීප ව ඇසුරු කරමින්, ඔවුනොවුන්ට උපකාර කරයි. රැකවරණය ලබා
දෙයි. නමුත් මම ය මාගේ ය යන දෘෂ්ඨියෙන් උපාදානය වීමක් නොමැත. එයට හේතුව නම් හේතූන්
ගේ ඵලය හේතු විසිර යාමෙන් නැතිව යන බැවිනි. සවිඤ්ඤාණක වස්තුවක් නම් රූප, වේදනා,
සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකයෙන් සමන්තාගත වූ මේ පුද්ගලයා ජරා,
ව්‍යාධි, මරණ ආදියට යටත් ය. ඒ වගේම පුද්ගල වශයෙන් අපි‍්‍රය සම්පයෝග සහ පි‍්‍රය
විප්පයෝගය සිද්ධ වෙන්න පුළුවනි.
අරමුණු පවත්වන විට තමා කැමැති පරිදි සියල්ල ම ඉටු කර ගන්නට, ලබා ගන්නට නොහැකි වේවි.
එය අකැමැති අරමුණයි. අකැමැති මානසික ස්වභාවය යි. චිත්ත චෛතසිකයන්හි ස්වභාවය යි.
එවැනි අවස්ථාවක දී පවා භාවිත සිතකින් කෙසේද? ඒ අකැමැති අරමුණ, පනවාගත් ස්වභාවය අනුව
පරිහරණය කරන්නේ. හේතුන්ගේ ඵලය විටෙක ස්ථිර අරමුණක් ලෙසින් උපාදානය කර නොගනී. හේතුව,
වෙනස්වීම, විපරිනාමය පවතින නිසයි. අනිච්ච නිසයි.
මේ සිද්ධ වන්නේ ඒ අනිච්ච ලක්ෂණයට මුහුණ දීමයි. එය දැක ගනියි. විපරිනාමයට පත්වන විට
තාවකාලික ව හෝ කළ හැකි ප්‍රතිකර්ම, පිළිසකර, ප්‍රතිසංස්කරණ සිදු කරයි. ගිලන් වන විට
ප්‍රතිකාර කරන්න පුළුවනි. ගෙයක් දොරක් කැඩී බිඳී යන විට ප්‍රතිසංස්කරණය කර ගන්න
පුළුවනි. ඇඳුමක් පැළඳුමක් ඉරී යන විට නැවත සකස් කර ගන්න පුළුවනි. නමුත් හටගත්
සියල්ල නැති ව යන අවබෝධය මේ සංඛතය තුළින් හිතට පුරුදු කර ඇති නිසා, සිත තුළ
අමනාපයෙන් සිදුවන පටිඝයක් හෝ ව්‍යාපාදයක් හෝ ගැටීමක් හෝ නොඉවසන ස්වභාවයෙන් ඇතිවන
තරහවත්, ක්‍රෝධයක් ඇතිවිය යුතු නැත. මේ අවබෝධයෙන් යුක්තව භාවිත බහුලීකත සිතක්
පවත්වා ගත යුතු වේ. සෑම මොහොතක ම දුෂ්‍ය වන්නට සකස් වන පෘථග්ජන සිත අනුක්‍රමයෙන්
කල්‍යාණ පොථුජ්ජන කියන ප්‍රසන්න සිතක් බවට පත් කර ගන්න පුළුවනි.
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපි ටික වේලාවක් මෙනෙහි කරමු. අනවබෝධයෙන් යුතු ව ඇසෙන
රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආඝ්‍රාණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් සිතුවිලි,
මෙලෙසිනුයි සලායතනයන්ගෙන් ශඩාරම්මණයන් පරිහරණය වන්නේ. මෙහිදී හටගන්නා විඤ්ඤාණයන්
හඳුන්වන්නේ කෙලෙසින්ද? චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිවිහා විඤ්ඤාණ,
කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ලෙසිනි. බොහෝ පිරිසකට මේ දැනුම පවතී.
පදුට්ඨ චිත්තය සහ ප්‍රසන්න චිත්තය යනු කුමක්දැයි අපි ඉහතින් විස්තර කළෙමු. පදුට්ඨ
චිත්තය පැවතුනහොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, උරහිසෙහි තිබෙන දෙයක්, හිස මත
තිබෙන දෙයක්, අතේ තිබෙන දෙයක් බිමින් තබනවා වගේ මරණින් මතු නිරයේ උපදින්නට පුළුවනි.
“කායස්ස භෙදා පරං මරණා” ස්කන්ධ පඤ්චකය විසිරි යාමෙන් විඤ්ඤාණය බැහැර වන්නේ ලෝභ,
දෝෂ, මෝහ යන්නෙන් දූෂ්‍ය වූ සිතකිනි.
ඒ වගේම අපේ සිත, එනම් විඤ්ඤාණය ප්‍රසන්න ව පවතින අවස්ථාවක, මේ සිත හෙවත් විඤ්ඤාණය
බැහැරව ගියොත් උරහිසෙහි අතෙහි, තිබෙන දෙයක් පැත්තකින් තබනවා වගේ මරණින් පසු
සුගතියෙහි උපත ලබන්න පුළුවනි. මේ දෙකෙන් යහපත් වන්නේ කුමක්ද? දුෂ්ඨ සිතකින් කළුරිය
කොට නිරයෙහි උපත ලැබීම ද, පසන්න සිතකින් කළුරිය කොට සුගතියෙහි උපත ලැබීම ද වඩා
සුදුසු වන්නේ. පැහැදිලි පිළිතුර නම් පසන්න චිත්තයකින් කළුරිය කොට සුගතියෙහි උපත ලබා
ගැනීමයි. පින්වතුනි, මෙතැනදී නැවත, නැවත සුගතියක ඉපදී සසර දීර්ඝ කර ගැනීමක් පිළිබඳ
ව කිසිවිටෙකත් උනන්දුවක් ඇති කරන්නේ නැත. සුගතියේ උපත ලැබීම යහපත් වේ. එවිට ධර්මයේ
හඳුන්වන ආකාරයෙන් පසන්න චිත්තයකින් අපගේ ජීවිත ගමන පවත්වනවා යනු සම්මා දිට්ඨිය
සමඟිනුයි. සම්මා දිට්ඨිය යැයි සඳහන් කළේ, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන
ස්කන්ධ පඤ්චකය හේතු - ඵල දහමට යටත් කොට දැක දැන අභිඤ්ඤෙය්‍ය, පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ,
සච්චිකාතබ්බ ලෙසින් අර්ථය ධර්මයට අනුව හිත පුරුදු කොට තිබීම නිසා එහි ඇති අනිච්ච
ස්වභාවය, සංඛත ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය මැනවින් අවබෝධ කර ගෙන පවතින්නේ,
උපාදානය නොවන ස්වභාවයකිනුයි. ප්‍රඥප්තියෙන් පනවාගෙන මම ය, මාගේ ය කියන අදහසින්
ඇසෙන් රූප, කනෙන් ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කළත් පරමාර්ථ ධර්ම වශයෙන් මනාකොට
පුරුදු කරන ලද සිතෙන් කෙලෙස් සකස් නොවන තැනකට සිත සිහිය පිහිටුවයි. ඒ වගේම අරමුණෙත්
කෙලෙස් සකස් නොවන ආකාරයට සිත පවත්වා ගැනීමේ හැකියාව දියුණු කර ගෙන අභිඤ්ඤෙය්‍ය,
පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, භාවේතබ්බ, සච්චිකාතබ්බ නම් ආශ්‍රව ධර්මයන්ගේ ශේෂයක්වත්
නොපවත්වන ආකාරයට ම සිත සිහිය පිහිටුවා ගෙන ඒ සිතෙහි පරමාර්ථ ධර්ම වශයෙන් දිනා
ගැනීමක්, අභිවෘද්ධියක් ඇති කර ගැනීමයි.
පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මම ය, මගේ ය කියන දෘෂ්ඨියෙන් අප
ස්කන්ධ පඤ්චකය පරිහරණය කරන හැම මොහොතක් පාසා ම චිත්තයේ පූර්ව අවස්ථාවෙන් අරමුණු කර
ගත් විට අභාවිත සිත නිසා හටගත් සියල්ල නැති වී යන බවත්, මම, මගේ යනු සම්මුතියක්
පමණයි. පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන නිත්‍ය, සුඛ, ආත්ම නොවේ අනිච්ච, දුක්ඛ, අනත්ත යන
තිලකඛණ ධර්මයට යටත් වේ. මේ නිසා උපාදානයක් සිදු නොවේ. එනම් අභිජ්ඣා, දෝමනස්ස බැහැරට
යන්නේ ය. දැඩි ඇලීම්, අරමුණු වෙනස් වන තැන ගැටීමක් සිදු නොවන්නේ ය. මෙය භාවිත සිතේ
ස්වභාවය යි.
භාවිත සිතක් නැති වුණොත්, අභාවිත සිතින් අරමුණෙහි පනවා ගත් අයුරින් ඇලෙයි. එතැන
ලෝභය, කාමය, රාගය, රතිය නන්දිය සකස් වෙයි. ඒ අරමුණ වෙනස් වන විට නැතිනම් කැමැති
අරමුණක් තමන් කැමැති පරිදි ලබා ගන්න නොහැකි වන විට, ලබා ගත් දේ වෙනස් වන විට, තමන්
කැමති පරිදි පවත්වා ගන්න නොහැකි වන තැන අකැමැති ස්වභාවයක් ඇතිවන විට එය ද්වේශ
සහගතයි. එවිට පටිඝය, ව්‍යාපාදය, තරහව, අමනාපය, ගැටීම, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව,
ක්ලේශ, උපක්ලේශ වශයෙන් බොහෝ සෙයින් මේවා සකස් වන්නට පටන් ගනී.
පින්වතුනි, මූලික අවස්ථාවේ දී චිත්තය දූෂ්‍යවීම පාපයක් ලෙසත්, චිත්තය විශුද්ධි වීම
පිනක් ලෙසත් සැලකේ. ඒ වගේම දෙවනි අවස්ථාව චිත්තයේ ගැඹුරු අවස්ථාවේ දී අනවබෝධයෙන්
යුක්තව අරමුණ, මම ය, මාගේ ය කර ගැනීමෙන් තදින් ඇලීම සහ ගැටීම ඇතිවීම අකුසලයක් වගේම
අරමුණ හේතු ඵල දහමට යටත් කොට දැක (මේ රූපය අනිච්චයි, සංඛතය, පටිච්ච සමුප්පන්නයි) මේ
හේතුන්ගේ ඵලය හේතු විසිර යාමෙන් නැති ව යන්නේ ය. එය සංඛතයක්. නිච්ච නැත අනිච්චයි.
හේතුන්ගේ ඵලය හේතූන් විසිරයාමෙන් නැතිවන ස්වභාවයක් මෙහි පවතින නිසා
පටිච්චසමුප්පන්නයි. හේතුඵල ධර්මයට යටත් ය. හේතුඵල ධර්මයට අනුගතව සකස් වන්නේ ය. මේ
ආදී වශයෙන් සිත, සිහිය පිහිටුවීම, පින කියන අවස්ථාවෙන් ආරම්භ වී කුසලය නම් වූ
අවබෝධයට සකස් වෙයි. එහිදී චිත්තයේ ගැඹුරු අවස්ථාවට මේ කුසලය බලපාන්නේ ය. ඒ කුසලය
හේතු වන්නේ ය. එහිදී සිද්ධ වන්නේ කුමක් ද? සංසාර ගමනේ පටන් පටිසන්ධි විඤ්ඤාණය
සමඟින් මේ ජීවිතයටත් පැමිණ විඤ්ඤාණයේ ගැඹූරේ පවත්නා අනුසය ධර්ම හීන වන්නේ, ක්ෂය
වන්නේ, ව්‍යය වන්නේ, ඒවා බැහැර වී යන තැනක ක්‍රියාත්මක වී නැතිවී යන තැනකට මේ කුසල
කර්මයේ ශක්තිය සකස් වෙයි. එහිදී ශේෂයක්වත් නැති ව කෙලෙසුන්ගේ ප්‍රහාණය කියන නිරෝධ
ආර්ය ශක්තිය පෙන්නුම් කරන නිවන් මඟට පත්වන ශ්‍රාවකයකුට, සිදුවිය යුතු චිත්තාවලියේ
සංසිද්ධිය මෙහිදී සිදුවන්නට පටන් ගනී.
පින්වතුනි, අකුසලය කියන තැනේ දී සකස් වන්නේ අභාවිත සිතයි. හට අරගෙන, බිඳී, නැති වී
යන වස්තුන්, මම ය, මාගේ ය කියන අරමුණෙන් පනවා ගත්ත පි‍්‍රය අරමුණෙහි ඇලී ලෝභාදී
වශයෙන් සකස් වෙයි. අකැමැති තැනේ දී ගැටී ද්වේෂාදී වශයෙන් සකස් වේ. මේ විඥාණය ගැඹුරට
බලපාන විට කුමක්ද සිදු වන්නේ? සසර ගමනේ පටන් පැමිණි ජීවිත චිත්තාවලියේ අවසාන කොටස,
අවසාන මොහොත චුති චිත්තය යි. ඒ චුති චිත්තයට උත්කෘෂ්ඨ ලෙස පින බලවත් වීම නිසා
මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවේ. එනම් මිනිස් ලොවේ අම්මා කෙනකුගේ කුසෙහි කළලයට
විඤ්ඤාණය සකස් වුණේ, පටිසන්ධි විඤ්ඤාණය සකස් වන විට පින බලවත් වූ නිසා චුතියට
මිනිස් ලොව ඉපදුනත් සසරේ පටන් පැමිණි විඤ්ඤාණය ඇසුරු කොට ගෙන තිබුණු ආස්‍රව හෙවත්
කෙලෙස් මේ පටිසන්ධි විඥාණය සමඟින් පැමිණ ගැඹුරින් ම තැන්පත් වෙයි. මෙය අප
හඳුන්වන්නේ භවාංග අවස්ථාවේ දී සකස් වන කෙලෙස් හෙවත් ආශ්‍රව ධර්ම කතාවේ දී
හඳුන්වන්නේ අනුසය වශයෙනි. අනුසය ධර්ම හතක් ධර්මයේ පෙන්වා දී තිබේ. කාමරාගානුසය,
මානානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය හා භවරානුගාසයයි.
අනවබෝධයෙන් මේවා පරිහරණයට, ස්පර්ශවන්න, සකස් වෙන්න පුළුවනි. මේ කෙලෙස් හඳුන්වන්නේ
නිදිගත් කෙලෙස් වශයෙනි. අප්‍රකටයි. ඉතාම සියුම්. අපේ විඤ්ඤාණයේ ගැඹුරෙහි හෙවත්
භවාංගවලයි තැන්පත් ව තිබෙන්නේ. නිදිගත් නිසා මේ මොහොතේ මේ ජීවිතයේ ඒ ඒ අරමුණෙහි
තදින් සකස් වුණු ඇසට රූප, කනට ශබ්ද ආදී වශයෙන් ඔබ කියන්නේ මම දකින කොට ම මගේ හිත
අමතක කරන්න බැරි තරම් තදින්ම බැඳුණා.
ධර්මයෙහි පෙන්නුම් කරන්නේ, “චක්ඛුනා රූපං දිස්වා සුඛාය වේදනාය ඵුට්ඨො සමානො
අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති” කියන තැනින් යං වේදේති තං සංඡානාති - යං
සංජානාති තං විතක්කේති, යං විතක්කේති, තං පපඤ්ඥේති, යමක් විඳිනවා නම් ඒක සංජානනය
කරනවා. සංජානනය කරන විට එය විතර්කයට පැමිණේ. අරමුණු අනුව පනවාගෙන තිබෙන අනුව
විතර්කයට කැමැතියි. එසේ නොමැති නම් අකැමැතියි. ඉන් අනතුරුව ප්‍රපඤ්ච, ප්‍රපඤ්ච යනු
තණ්හා, මාන, දිට්ඨි, සකස් වීමයි.
බලන්න මේ අභාවිත හිතෙන් අරමුණෙහි සකස් වෙන ස්වභාවය, චිත්තයේ පූර්ව අවස්ථාව ‘පාප’
කියන අවස්ථාවෙන් ආරම්භ වී අකුසලය, (තණ්හා, මානය, දිට්ඨි කියන ප්‍රපඤ්ච අවස්ථාවේ
පවතිනා) චිත්තයේ ගැඹුරු අවස්ථාව නම් වූ භවාංග ස්වභාවයට ස්පර්ශයෙන් පැමිණීමයි. එහිදී
කුමක් සිද්ධවන්නේ? සංසාර ගමනේ චුතියෙන් අනතුරුව පටිසන්ධිය හා සමගින් පැමිණ චිත්තයේ
ගැඹුර හෙවත් භවාංගයේ තැන්පත් ව තිබෙන අනුසය ධර්ම එනම්, කාමරාගානුසයේ පටන් ඒවා
ස්පර්ශයට සකස් වීමයි. අරමුණෙහි තදින් ඇලුනා නම් කාමරාගානුස ය යි මතුවන්නේ අරමුණෙහි
ගැටුනා නම් පටිඝානුසය යි මතුවන්නේ. මේ දෙකම ඇසුරු කරගෙන විටින් විට මානානුසය,
දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය වශයෙනුත් වරින් වර ඒ ඒ සිතෙහි
ස්වභාවය අනුව මතුවෙන්න පටන් ගනී. මතුවනවා පමණක් නොව සිත දුෂ්‍ය කරන්න වහ වහා, වඩ
වඩාත් උපකාරී වෙයි. මේ අනුසය ධර්ම බොහොම බලවත් වේ. එයට හේතුව සංසාර ගමනේ පටන් මේවා
කැටිවී, ඒ වගේම කැකෑරී බරපතල කෙලෙස් ලෙස පවතින මේ කෙලෙස් බැහැර කර ගන්නයි බෝධිසත්ව
උතුමෝ කල්ප ගණන් පාරමීදම් සම්පූර්ණ කරනවා යැයි සඳහන් කළේ.
මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ
පුර අටවක පෝදා (02) අන්තර්ජාල කලාපයේ පළවේ |