ආගම පිළිබඳ සමාජ විද්‍යාත්මක අර්ථකථනය

ආගම පිළිබඳ සමාජ විද්‍යාත්මක අර්ථකථනය

මුල් අවධිය වන විට මිනිසා හා ලෝකයේ සියල්ල දෙවියන්ගේ නිර්මාණයක් වන බවත්, දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවිය යුතු බවත් විශ්වාස කළහ. නමුත් මෙම ප්‍රබල සංකල්පයට ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදය මරු පහරක් විය. ඔහුගේ පරිණාමවාදයට අනුව මිනිසා දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවත්, ජීව විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් බිහි වූ නිර්මාණයක් බවත් මිනිසා හඳුනා ගත්හ

සමස්ත සමාජය වෙලා ගත් රූක්ෂ වෘක්ෂයක් මෙන් ආගම අද වන විට මුල්බැස ගෙන ඇත. එය වෙසෙසින් පුද්ගල ජීවිතය පමණක් නොව සමාජීය හා සංස්කෘතික අංශයන් කෙරෙහි ද සුවිශේෂී බලපෑමක් කරයි.

ආගම පිළිබඳ ව විද්‍යාත්මක ව විචාරයකට බඳුන් කිරීම ඇරඹුණේ 19 වැනි සියවසෙන් පසුව ය. ඊට මත්තෙන් ඒ පිළිබඳ විචාරය කිරීමට හෝ අදහස් දැක්වීමට හෝ පුද්ගලයා මැලි විය. මෙසේ ආගම පිළිබඳ විචාරයට බඳුන් වූ 19 වැනි සියවස වනාහි ඓතිහාසික ම ය වශයෙන් වැදගත් සියවසකි. මෙම යුගයෙහි සිදුවූ සුවිශේෂී සිදුවීම් දෙකක් නිසා ආගම පිළිබඳ නවමු මුහුණුවරකින් විචාරය කිරීමට මිනිසා පටන් ගත්හ. එම කරුණු දෙක නම්, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සොයා ගැනීම හා කාල් මාක්ස්ගේ සමාජ පරිවර්තනය පිළිබඳ ආකල්පය යි.

ඉහත දක්වන ලද හේතු දෙක පදනම් කර ගනිමින් එවකට සමාජය තුළ මුල් බැසගත් ආගමික සංකල්ප ප්‍රශ්න කිරීමට මිනිසා පෙළඹුණහ. තත් සමය වන විට දැඩි ව ගොඩනැඟී තිබූ කතෝලික පල්ලියේ බල අධිකාරිය මේ සමඟ දෙදරා ගියේ ය. අතිශයින් අන්තගාමී ආකල්පයන් සහිත ව සමාජයේ පාලනය කළ කිතුණු දේවස්ථාන හා පූජකයන් සමාජය් පාලනය කිරීම, බදු අය කර ගැනීම, දේශපාලන බල අධිකාරියට අත පෙවීම අනිසි ලෙස සිදු කළහ. මාක්ස්ගේ නැඟීසිටීමත් සමඟ මෙම කෲර පාලනයට මිනිසා විරුද්ධ වූ අතර කිතුනු දහම ද දැඩි විවේචනයට ලක් විය.

මුල් අවධිය වන විට මිනිසා හා ලෝකයේ සියල්ල දෙවියන්ගේ නිර්මාණයක් වන බවත්, දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවිය යුතු බවත් විශ්වාස කළහ. නමුත් මෙම ප්‍රබල සංකල්පයට ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදය මරු පහරක් විය. ඔහුගේ පරිණාමවාදයට අනුව මිනිසා දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවත්, ජීව විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් බිහි වූ නිර්මාණයක් බවත් මිනිසා හඳුනා ගත්හ. එය ආගමට එල්ල වූ ප්‍රබල විවේචනයකි. 19 වැනි සියවසෙහි ආගම විවේචනයට බඳුන් කළහ. තවත් එක් දාර්ශනිකයකු ලෙස එංගලන්ත ජාතික බර්ට්නන්ට් රසල් ගත හැකි ය. ඔහු එවකට පැවති කිතුනු දහම විවේචනය කරමින් Why I am not a cristion නම් ග්‍රන්ථය රචනා කළේ ය.

ආගම වනාහි සමාජයේ ප්‍රබල සාධකයක් බව අප ඉහත දී හඳුනා ගත්තෙමු. ඒ අනුව සමාජය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ආගම ද වෙසෙසින් අධ්‍යයනය කළ යුත්තකි.

ආ උපසර්ගයට පෙරටුව ඇති ගම් ධාතුවෙන් නිපන් ආගම යන්නෙන් සමීපවීම, පිවිසීම, මූල ග්‍රන්ථ යන අදහස් ගොනු කර ගත හැකි ය. එමෙන් ම සුමංගල ශබ්ද කෝෂයෙහි පැමිණීම, අවබෝධය, පිටකය යන අදහස් ආගම සඳහා ලබා දී ඇත. ඉංගී‍්‍රසි භාෂාවෙන් riligion යන්න ලතින් බසින් බින්න වූවකි. ලතින් භාෂාවෙන් ආගම හඳුන්වනුයේ ril(i) gio යනුවෙනි. එහි අදහස නම් දෙවියන් හා මිනිසා එකට බැඳී ඇති බව යන්න ය. ආගම සහ මියගිය ලෝකය නම් ග්‍රන්ථයෙහි මූර්ති පවසන අන්දමට “දෙවියන් වහන්සේ හෝ දෙවිවරුන් හෝ කෙරෙහි පවත්නා බිය හා ඔවුන් උදෙසා පවත්නා පුද පූජා යන්න ආගම” නම් වේ යනුවෙන් දක්වා ඇත.

ආගම සම්බන්ධයෙන් විචාරාත්මක ඇගයීමක් 19 වැනි සියවසෙන් පසුව සිදු විය. එහි දී කාල්මාක්ස්, ජේම්ස් ෆෙයර්, සර් තෝමස් ඇක්වයිනාස් වැනි දාර්ශනිකයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම විද්වතුන් දක්වන මතයන්ට අනුව ආගම වනාහි මිනිස් මනස හා විශ්වාසය මත පදනම් ව නිර්මාණය වූවකි. මිනිස් ජීවිතයේ ඇතිවන වේදනාත්මක සෝ සුසුම් හා ඔවුන් එදිනෙදා මුහුණ දෙනු ලබන යථාර්ථය අතර පවතින ගැටුම් ආගමික සංකල්ප නිර්මාණය වීමට සෘජු ව බලපා ඇති බව ඉහත දැක්වූ විද්වතුන්ගේ අදහස ය.

මේ අතරින් ජේම්ස් ප්‍රේසර් දක්වන අන්දමට මිනිසා මිනිසාට වඩා උත්තරීතර වූ ද, ස්වභාව ධර්මය හා තම ජීවිතය මෙහෙයවා හසුරුවා පාලනය කරන්නේ යැයි විශ්වාස කරනු ලබන, තමාට වඩා උසස් බලවේගයක් පහදවා ගැනීමට දරනු ලබන උත්සාහය ආගම නම් වේ.

සර් තෝමස් ඇක්වයිනාස් දක්වන අන්දමට දෙවියන් වහන්සේ පිළිබඳ නැතහොත් හොඳ බව පිළිබඳ ඇති විශ්වාසය ආගම ලෙස දක්වා තිබේ. ආගම පිළිබඳ ව විචාරාත්මක අධ්‍යයනයක යෙදෙන මැක්ස් මූලර් ආගමක් නිර්මාණය වීමට අවශ්‍ය වූ අංගෝපාංගයන් පහක් දක්වමින් ආගම පිළිබඳ ව විචාරය කරනු ලබයි. එම කරුණු මෙසේ ය.

දිව්‍යමය බලයක් කෙරෙහි ඇති විශ්වාසය, පාපය පිළිබඳ දැනුම, යාතිකා කිරීමේ පුරුද්ද, යාග පූජා කිරීමට ඇති අභිරුචිය හා මරණින් මතු ජීවිතය පිළිබඳ ව ඇති විශ්වාසය යි.

රීස් ඩේවිස් දක්වන අන්දමට ආගම යන වචනය සංකීර්ණ මානසික තත්ත්වයක් වන බැවින් එය පැහැදිලි කර ගැනීම පිණිස කරුණු තුනක් අධ්‍යයනය කළ යුතු ය. ඒ අනුව ඔහු ආගමේ ප්‍රධාන අංග තුනක් පෙන්වා දී ඇත.

ආගමක් පළමුවෙන් බාහිර හා අභ්‍යන්තර අතිරහස් හෙවත් ආත්මය හා දෙවියන් පිළිබඳ විශ්වාසයෙන් යුක්තවීම, මෙම විශ්වාස පදනම් කොට ගෙන උද්ගතවන මානසික ආකල්ප හා එම ආකල්පයන්ට අනුරූප ව හැඩ ගැසෙන චර්යා රටා හා මානුෂික ශ්‍රේෂ්ඨාවන් ය.

ඉන්දියානු දාර්ශනිකයකු වන ශ්‍රී ධාර් කෙට්කර් දක්වන අන්දමට ආගම මූලික ලක්ෂණ කිහිපයක් මත පදනම් ව ඇත. එනම්, පාර භෞතික සංකල්ප පිළිබඳ සාකච්ඡා කිරීම, සදාචාර පද්ධතියක් අන්තර්ගතවීම, ශුද්ධ ග්‍රන්ථ තිබීම, පුද පූජා, චාරිත්‍ර යාතිකා ආදිය ඇතුළත් වීම, ආගමික නිෂ්ටාවන් දක්වා තිබීම, ආගමික නායකයකු සිටීම හා සංවිධානාත්මක වූ ස්ථාවර පදනමකින් යුත් සමාජ සංවිධානයක් තිබීම ආදිය වේ.

සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයක් වශයෙන් දියුණු වීමේ දී ආගම පිළිබඳ ව විමසීම අතපසු කිරීමට කිසිවකුටත් කළ නොහැක්කකි. මන්ද ආගම වනාහි අතීතයේ පටන් අද වන විටත් සමස්ත සමාජය වෙළා ගත් මූලික සංස්ථාවක් වන බැවිනි. ඒ අනුව සමාජ විද්‍යාව අධ්‍යයනය කළ බොහෝ උගතුන් ආගම ද අධ්‍යයනය කිරීමට නැඹුරු විය. ඒ අනුව සමය සමාජ විද්‍යාව වන උප විෂය ධාරාව නිර්මාණය විය.

සමාජ විද්‍යාඥයන් මෙම විෂය ක්ෂේත්‍රය අධ්‍යයනය කරනු ලැබුවේ එළැඹුම් දෙකක සිට ය. එනම්, ආගම විශ්වාස පද්ධතියක් ලෙස හා ආගම සමාජ සංස්ථාවක් ලෙස යනුවෙනි.

සෑම සමාජයක ම සමාන වූ ආගමික සංකල්ප අන්තර්ගත නොවුණ ද සෑම සමාජයක් තුළ ම කුමන හෝ ආගමික සංකල්පයක්, විශ්වාසයක් අන්තර්ගත ව තිබිය හැකි ය. එවැනි විශ්වාස පද්ධතීන්හි ස්වභාවය සමාජ විද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය කිරීම ඉහත දක්වන ලද පළමු පියවරෙන් හැඟේ. වත්මන වන විට බොහෝ ආගමික සංකල්ප විවිධ සමාජයන් තුළ ප්‍රබල සංස්ථා ලෙස ස්ථාවරව ඇත. එවැනි ආගමික සංස්ථා ඇතැම් විට දේශපාලනික ස්ථාවරයට, ආර්ථික ස්ථාවරයට, සමාජයීය තත්ත්වයන්ට බලපෑම් කරයි. එය ආගම සමාජ සංස්ථාවක් ලෙස ප්‍රබල වීමෙහි ස්වභාවය යි. සමාජ අධ්‍යයනය තුළ සෑම අවස්ථාවක ම සිදුව ඇත්තේ ආගමෙහි මුඛ්‍ය සංකල්පයන්හි ස්වභාවය අධ්‍යයනය නොව පවතින සමාජයේ ආගම කෙසේ ස්ථාපිත වී ඇත්ත ද යන්න අධ්‍යයනය කිරීම ය.

මෙම සන්දර්භය තුළ සිටිමින් සමාජ විද්‍යාඥයන් ආගමෙහි ස්වභාවය සමාජයට සෘජු ව හා වක්‍ර ව බලපවත්නා ආකාරය දක්වා ඇත. ඒවා කරුණු ලෙස පහත පරිදි ය.

ආගමික විශ්වාස හා පිළිවෙත්, පුද්ගලයාගේ ජාතිය, වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යාපනය සමඟ කෙසේ සම්බන්ධ වන්නේ ද? ආගමික සංස්ථාව ආයතනයක් ලෙස කුමන පදනමක් මත සංවිධානය වී තිබේද? ආගම අදාළ සමාජයේ දේශපාලනය, අධ්‍යාපනය ආදී අවශේෂ සංස්ථාවන්ට කෙසේ බලපෑම් කරයිද? සමාජ චල්‍යතාවයන් සම්බන්ධ ව ආගම කෙසේ බලපවත්නේ ද? සමාජ විද්‍යාඥයන් විසින් ආගම අධ්‍යයනය කරනු ලබන ප්‍රධාන ප්‍රවේශයන් තුනකි. එනම්, තත්‍ය ම ය, කෘත්‍ය ම ය හා ස්ථාපිත ම ය ලෙස ය.

විශ්වාස යැයි හඳුනාගත හැකි කුමන හෝ චින්තන ධාරාවක් තුළින් ආගමට පිවිසිය යුතු ය. මෙහිදී විද්‍යාවෙන් පැහැදිලි කර ගත නොහැකි කුමන හෝ අධි ස්වභාවික බලයක් පිළිබඳ විශ්වාසය තත්‍යමය වේ. ආගමෙන් මිනිසාට හා සමාජයට සිදුවන සමාජ සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක කාර්යභාරය තුළින් ආගම විමසීම කෘත්‍ය ම ය වේ. ආගමික බහුවිධ දර්ශනයන් සහිත විස්තාරික සංස්ථාවක් නිසා ඒවා වෙන් වීම විමසා බැලීම වෙනුවට විශ්වාස පද්ධතියක් ලෙස සමාජය තුළ ස්ථාවර වී ඇද්ද යන්න අධ්‍යයනය කිරීම ස්ථාපිත ම ය නම් වේ.

19 වැනි සියවසේ අග භාගය තුළ සිදුවූ සමාජ විප්ලවයත් සමඟ සමාජය පිළිබඳවත්, ආගම පිළිබඳවත් බොහෝ උගතුන් විචාරය කිරීමට හා අර්ථකථනයන් ඉදිරිපත් කිරීමට පෙළඹුණහ. එම සමාජ විද්‍යාඥයන් අතුරින් මැක්ස් වේබර්, හර්බට් ස්ටෙන්සන්, කාල් මාක්ස් වැනි සමාජ විද්‍යාඥයන් පෙන්වා දිය හැකි ය.

ප්‍රංශ ජාතියකු වන එමිල් ඩර්කයිම් ආගමේ විවිධ ස්වභාවයන් නව කෘතියෙහි දී ඔස්ට්‍රේලියාවෙහි අරුක්ටා නම් ගෝත්‍රික කණ්ඩායම මුල් කර ගනිමින් ඔවුන්ගේ ආගමික අභිචාරයන් ගැන හා සමාජ ස්වභාවය ගැන අදහස් දක්වා ඇත. තත් පර්යේෂණය තුළ දී ඔහු ආගමික විශ්වාස එම සමාජය තුළ හුදු සංකේතයන් පමණක් නොවී පවුලක් ලෙස, සමූහයක් ලෙස රැස්ව කතිකා කර ගැනීමට හැකිවීම, ආගම තුළින් සිදු ව ඇති බව පෙන්වා දුන්හ. ඔහු අනාවරණය කළ වැදගත් කරුණ නම් ආගමික ලක්ෂණ සමාජයේ අන්තර්ගත වන බැවින්” ආගමේ දෙවියන් සමාජය ද” යනුවෙනි.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු දක්වනුයේ “ආගමේ ගෞරවනීය වස්තුව සමාජය යි” පූජනීය දේ ලෙස වටහා ගෙන ඇති යම් යම් දෑ මෙන් ම පවත්නා සම්බන්ධතාවයන් අන් කිසිවක් නොව ආගම හා සමාජය අතර පවත්නා සම්බන්ධතාව ම ය යන්නයි. ඩර්කයිම්ගේ මතයට අනුව ආගමික සංකේත ආගම තුළට ඇතුළත් කොට ඇත්තේ සමාජය වැනි සංකීර්ණ දෙයකට ගෞරව කිරීමට වඩා සමාජය තුළින් ම නිර්මාණය කරගත් සංකේතයකට ගරු කිරීම පහසු බව ය.

සාරධර්ම හෝ යම් සදාචාරාත්මක පද්ධතියකින් තොරව සුචරිතවත් සමාජයක් නිර්මාණය කර ගත නොහැකි ය. ආගම සමාජය තුළ එවැනි සුචරිතවත් ලක්ෂණ නිර්මාණය කර ගැනීම සඳහා විශාල පිටු බලයක් ලබා දෙන හෙයින් ආගම සමාජයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ඩර්කයිම් පෙන්වා දේ” පහත සඳහන් ආගම පිළිබඳ ඩර්කයිම්ගේ නිර්වචනය තුළින් තත් කරුණ මැනවින් විෂද කරගත හැකි ය.

“ආගම වනාහි ශුද්ධ යැයි සම්මත විශ්වාසයන් හා භාවිතයන් සමූහයන් වටා ගෙතුණු අන්තර් රඳා පැවැත්මක් ඇති, විශ්වාසයක් හා භාවිත ක්‍රමයක් මඟින් සමාජයක සියල්ලක් ම එක් සදාචාර පූජාවක් ලෙස සංවිධානය කර ගනු ලබන ආයතනය” ආගම ලෙස දක්වා තිබේ.

කාල් මාක්ස්

19 වැනි සියවසෙහි පහළ වූ විශිෂ්ට සමාජ චින්තකයකු ලෙස කාල් මාක්ස් හඳුන්වා දිය හැකි ය. එවකට පැවැති දැඩි ආගමික විශ්වාසයන් හා අධිකාරිමය ස්වභාවය කාල් මාක්ස් දැඩි ලෙස විවේචනය කළේ ය. ඒ සඳහා පසුබිම් වූ බොහෝ කාරණා ඒ වන විට තත් සමාජයෙහි පැවතීම මෙම මතයන් දලු ලා වැඩීමට තවත් පිටුවහලක් විය. මාක්ස්ගේ බොහෝ නිර්වචනයන් තුළින් ආගම යනු අධිභෞතික සත්තාවක් නොව මිනිසා විසින් නිර්මාණය කර ගත් සමාජයෙහි එක් පන්තියකට පමණක් යැපීමට නිර්මාණය කර ගත් ඉගැන්වීමක් ලෙස සැලකූහ. මාක්ස්ගේ කියවීමට අනුව “දෙව්ලොව විවේචනය කිරීම මහපොළොව විවේචනය කිරීමකි.” ලෙස දක්වා තිබේ.

මාක්ස්ට අනුව ආගම තුළින් පරමාදර්ශී සමාජයක් බිහි නොවේ. ඔහුට අනුව පරමාදර්ශී සමාජයක් බිහි කර ගත හැක්කේ උත්තරීතර කොමියුනිස්ට් පාලනයක් තුළිනි. එවැනි කොමියුනිස්ට් පාලනයක් තුළ සූරා කෑම නොතිබිය යුතු ය. සෑම පන්තියකට ම පොදු වූ කොමියුනිස්ට් ආගමක් තිබිය යුතු ය. 19 වැනි සියවස වන විට ආගමේ කාර්යභාරය වූයේ පාලිතයා යටත් කර ගැනීම, සුවච කීකරු කර ගැනීම, පාලනයේ වරප්‍රසාද භුක්ති විඳීම, පාලක අධිකාරිය සාධාරණ කිරීම ආදිය යි. එවකට සමාජයේ ජීවත් වූ පීඩිත ජනයා කෙරෙහි බෙහෙවින් සංවේදී වූ මාක්ස් කියා සිටියේ ආගම යනු “පීඩාවට පත් වූ ජනයාගේ සෝ සුසුම” යනුවෙනි. ආගම තුළින් සිදුවන්නේ යථාර්ථය මිනිසාට සඟවා ව්‍යාජ වූ ලොවක් නිර්මාණය කිරීම ය. ඒ තුළින් පුද්ගලයාට තාවකාලික පීඩනයක් ලබා දෙන අතරය විෂ මත්ද්‍රව්‍යයකට සමාන ය.

“මිනිසා ව්‍යාජ ලොවකට ගෙන ගොස් තාවකාලික ව පිනවීමක් ලබා දෙන විෂ මත් ද්‍රව්‍යයක් වැනි දෙයකි ආගම. එය අබිංවලට සමාන කළ හැකි ය.”

ලෙස කාල් මාක්ස් පෙන්වා දී තිබේ. ඒ අයුරින් ආගම වනාහි සමාජය පවත්වා ගෙන යනු ලබන මූලික අඩිතාලමක් වන අතර, පුද්ගලයා පාලනය කරනු ලබන ප්‍රධානම බලවේගය සමාජය ලෙස පෙන්වා දිය හැකි ය.

පොසොන් අමාවක

ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා
අ.භා. 04.06න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]