ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස

ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස

පණ්ඩුකාභය රජ බවට පත්වීමෙන් පසුව තමාට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ කාලවේල යක්ෂයාට නුවරින් නැඟෙනහිර දිසාවේ දෙවොලක් ද, චිත්ත රාජ යක්ෂයාට දෙවොලක් ද ඉදිකර දුන් බව සඳහන් වේ

ක්‍රි.පූ. 03වැනි ශත වර්ෂයේ බුදු දහම ලංකාවට හඳුන්වා දෙන තෙක් සංවිදිත ආගම් නොතිබූ බව පැහැදිලි කරුණකි. ලංකාවේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස පිළිබඳ ව තොරතුරු අපට හමුවන්නේ මහාවංශයේ සඳහන් පණ්ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳ ව ඇති කතාවෙනි. හියුසියැං නම් චීන දේශාටක භික්ෂුව සඳහන් කර ඇත්තේ “පෙර ලක්දිව සිංහලයන් නොදැහැමි ඇදහිලිවලට පුරුදුව සිටි බවයි.

ඒ ඇදහිලි අතර, යක්ෂ වන්දනාව, මළවුන් පිදීම, වෘක්ෂ වන්දනාව, බ්‍රාහ්මණ ආගම, ජෛන ආගම හා ලිංග වන්දනාව යනාදිය වැදගත් වේ.

පණ්ඩුකාභය රජ බවට පත්වීමෙන් පසුව තමාට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ කාලවේල යක්ෂයාට නුවරින් නැඟෙනහිර දිසාවේ දෙවොලක් ද, චිත්ත රාජ යක්ෂයාට අභය වැව යටි කොට දෙවොලක් ද ඉදිකර දුන් බව සඳහන් වේ. මීට අමතර ව චේතිය හා මහේජ යන යක්ෂයන්ට ද වාසස්ථාන ඉදිකර දුන් බව මහාවංශයේ සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ අභාවයෙන් පසුව ඔවුන්ට කළ සැලකීම වශයෙන් මෙම පූජනීය ස්ථාන පිහිට වූ බවයි. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් නම් යක්ෂ වන්දනාව තුළ මළවුන් පිදීම යන සංකල්පය ද තිබෙන්නට ඇති බවයි. ඉහත කී යක්ෂයන්ට අමතර ව ජුතින්දර නම් යක්ෂයකුට දෙවොලක් ඉදිකර දුන් බව සඳහන් වන අතර, ඔහු වළවා මුඛීගේ ස්වාමියා බවත් සඳහන් වේ. මේ අනුව ප්‍රාග් බෞද්ධ ලංකාවේ යක්ෂ ආගම පැවැති බව පැහැදිලි වේ.

ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ආගමික ඇදහිලි පිළිබඳ ව විමසීමේ දී මෙරට ජනතාව වෘක්ෂ වන්දනාවට යොමුව තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි සාධක මහාවංශයේ සඳහන් වන්නා වූ තොරතුරුවලින් ඉදිරිපත් කළ හැකි ය. එකල සිටි ජනයා වෘක්ෂයන්ට වන්දනා මාන කිරීමේ දී ඒවාට අධිපති දෙවියන් ගැන සලකා හෝ ඒවායින් ලැබෙන්නා වූ ඵල ප්‍රයෝජන සලකා එවැනි වන්දනාමානයන්ට යොමු වන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. පණ්ඩුකාභය රජතුමා විසින් වෛශ්‍රවණ හා ව්‍යාධ දේව යන දෙවියන්ට වෘක්ෂයන් වෙන් කර දුන් බව වංශකතා තුළ සඳහන් වේ. එහිදී වෛශ්‍රවණ නම් පුද්ගලයාට නුග ගසකුත්, ව්‍යාධ දේවට තල් ගසකුත් වෙන් කොට දී තිබේ. ව්‍යාධ දේව යනු අසනීපවලට අධිපති දෙවියා ලෙස ගයිගර් පඬිවරයා ප්‍රකාශ කරන අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ ඔහු දඩයමට අධිපති දෙවියා ලෙසටයි. මේ අනුව ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ වෘක්ෂාගම පැවති බව තහවුරු වන අතර වෘක්ෂයට අධිපති දෙවියන්ට වන්දනා මාන කිරීමක් ද පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි සාධක මහාවංශය තුළ දක්නට ලැබේ. එනම් කම්මාර දේවතා යනුවෙන් දෙවියකු පිළිබඳ ව සඳහන් වන අතර, ඔහු කර්මාන්තවලට අධිපති දෙවියා ලෙස සැලකේ.

ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ජෛනාගම හෙවත් නිගණ්ඨාගම පැවති බව පණ්ඩුකාභය රජතුමා විසින් ජෝතිය, ගිරි හා කුම්භාණ්ඩ යන නිගණ්ඨයන් තිදෙනා උදෙසා ආරාම තුනක් ඉදිකර දුන් බව වංශකතාව තුළ එන සඳහනේ තහවුරු වේ. මෙයින් ගිරිනිගණ්ඨයාගේ ආරාමය ප්‍රධාන වශයෙන් වැදගත් වන අතර, දේවානම් පියතිස්ස රජු මහා විහාර සීමා ලකුණු කිරීමේ දී ඒ සඳහා නිගණ්ඨාරාමය ඇතුළත් වූ බව වංශකතාවෙහි සඳහන් වේ.

මහින්දාගමනයට පෙර මෙරට බ්‍රාහ්මණාගම ද ප්‍රචලිත ව පැවැති බවට සාධක වංශකතාව තුළින් පෙන්වා දිය හැකි ය. මේ සඳහා සාධක ඇතැම් අවස්ථාවල සෙල්ලිපි තුළින් ද ඉදිරිපත් කළ හැකි ය. වංශකතාව තුළ සඳහන් වන පරිදි පණ්ඩුකාභය රජු විසින් සොත්ති ශාලා යනුවෙන් ගොඩනැඟිල්ලක් ඉදිකොට තිබේ. මහාවංශ ටීකාව සඳහන් කරන්නේ මෙම ස්ථානය බමුණන් වෙද පාඨ ගායනා කළ ස්ථානය හෝ ආරෝග්‍යශාලාව විය හැකි බවයි. මෙහි මුල් අර්ථ විග්‍රහය පිළිබඳ ව විමසා බලන විට තහවුරු වන්නේ ද බ්‍රාහ්මණාගම ලංකාව තුළ ක්‍රියාත්මක වූ බවයි. තවද දේවානම් පියතිස්ස රජු මහා විහාර සීමා ලකුණු කිරීමේ දී ‘දිව්‍ය වාස’ නම් බ්‍රාහ්මණයාගේ දෙවිගෙය මහා විහාර සීමාවට ඇතුළත් වන සේ එම කාර්ය සිදුකළ බව වංශකතාවල සඳහන් වේ. (මහාබෝධිවංශය) මීට අමතරව පණ්ඩුකාභය රජුගේ ගුරුවරයා පණ්ඩුල නම් බ්‍රාහ්මණයකු වීමත්, පුරෝහිතයා චන්ද්‍ර නම් බ්‍රාහ්මණයකු පණ්ඩුවාසුදේව රජු ලක්දිවට පැමිණෙන තෙක් උපතිස්ස නම් බ්‍රාහ්මණයකුට රාජ්‍යත්වයට පත්ව සිටීම යන කරුණු ද බ්‍රාහ්මණගම ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ක්‍රියාත්මක වූ බවට සාධක ලෙස පෙන්වා දිය හැකි ය. ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ශිව ලිංග වන්දනාව ද පැවැති බවට සාධක වංශ කතා තුළින් පෙන්වා දිය හැකි ය. එනම් පණ්ඩුකාභය රජු ශිවිකා ශාලා යනුවෙන් ගොඩනැඟිල්ලක් ඉදිකළ බව සඳහන් වන අතර මහාවංශ ටීකාව එය ශිව ලිංගය තැන්පත් කළ ස්ථානය හෝ මාතෘ නිවාසය විය හැකි බවට අර්ථ ඉදිරිපත් කොට තිබේ. මෙයින් මුල් අර්ථකථනය සලකා මේ කාල පරිච්ඡේදය තුළ ශිව ලිංග වන්දනාව ද පැවැති බව පෙන්වා දිය හැකි ය. එසේම මහසෙන් රජු දවස ඔහු විසින් ලක්දිව පුරා පැවැති ශිව ලිංග විනාශ කළ බව වංශ කතාව ප්‍රකාශ කරයි. ඒ අනුව මහසෙන් රජු දවස වන විට ලක්දිව පුරා ශිව ලිංග වන්දනාව ප්‍රචලිත ව පැවතියේ නම් එය ඊට පෙර යුගයේ සිට ක්‍රියාත්මක විය යුතු ය යන අදහස ද මේ සඳහා සාධකයක් ලෙස පෙන්වා දිය හැකි ය.

මීට අමතරව ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ආජීවක, ජටිල ආදී ආගම් ද හිරු, සඳු, ගින්න ආදී වස්තූන් සලකා ද පූර්ව ශිෂ්ටාචාර යුගය තුළ දී වන්දනාමාන සිදු කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. සශී‍්‍රකත්වය හා සෞභාග්‍ය බලාපොරොත්තුවෙන් සූර්ය වන්දනය සඳහා එකල ලක්වැසියන් එහි නිරත වන්නට ඇතැයි පෙන්වා දිය හැකි ය.

ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඉහත සඳහන් ආගම් හැර එකල ලක්දිව වාසය කළ ජනතාව බුදු දහම පිළිබඳ ව යම්තාක් දුරට දැනගෙන සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. මේ පිළිබඳ ව පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු වී ඇති අතර, දීපවංශය, මහාවංශය හා සමන්ත පාසාදිකාව යන සාහිත්‍ය මූලාශ්‍රවල බුදුරදුන්ගේ ලංකාගමනය පිළිබඳවත් ඒ අවස්ථාවන්හි දී සිදුකළ කාර්යයන් පිළිබඳවත් තොරතුරු සඳහන් වේ. ඉහත සඳහන් සාහිත්‍ය මූලාශ්‍රවල එන පරිදි බුදුරජාණන් වහන්සේ මහියංගනය, නාගදීපය හා කැලණිය යන ස්ථානවලට පිළිවෙළින් තුන්වතාවක් වැඩම කොට තිබේ. මෙසේ වැඩම කළ අවස්ථාවන්හි දී ලක්වැසියන් බුදුදහම වැලඳගත් බව ද සඳහන් වේ. මීට අමතරව බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයකු වූ සරභූ නම් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුව රැගෙන ලක්දිවට පැමිණ එය මහියංගණ චෛත්‍යයේ තැම්පත් කොට එම චෛත්‍ය දොළොස් රියනක් උස් කොට නිර්මාණය කළ බව ද සඳහන් වේ. මීට අමතරව පණ්ඩුවාසුදේව රජුගේ බිසව වූ භද්දකච්චායනා කුමරිය ශාක්‍යවංශික තැනැත්තියක් වන බව සඳහන් වන අතර, බුදුරජාණන් වහන්සේ ද ශාක්‍යවංශයට අයත් කෙනකු නිසා භද්දකච්චායනා හා පැමිණි පිරිස ද බුදුදහම පිළිබඳ ව දැන සිටින්නට ඇත. තවද බුදුන් ජීවමාන කාලයේ දී ම තපස්සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයා බුදුන්ගේ කේෂ ධාතු තැම්පත් කොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිගඬු සෑය හෙවත් තිරියාය චෛත්‍ය ඉදිකළ බව සඳහන් වේ. මේ සාධක සලකා ප්‍රාග් බෞද්ධ ලංකාවේ ජනතාව බුදු දහම වැලඳ සිටීම කෙසේ වෙතත් ඔවුන් බුදු දහම පිළිබඳ ව දැන සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

ඉහත සඳහන් කරුණු සියල්ල සලකා බලන විට ප්‍රාග් බෞද්ධ ලංකාව තුළ යක්ෂාගම, මළවුන් පිදීම, ජෛනාගම, වෘක්ෂ වන්දනය, බ්‍රාහ්මණාගම, ශිව ලිංග වන්දනා ව පමණක් නොව එකල ජනතාව බුදු දහම පිළිබඳ ව යම්තාක් දුරට හෝ කරුණු දැන සිටින්නට ඇතැයි පෙන්වා දිය හැකි ය.

පොසොන් අමාවක

ජුනි 24 අඟහරුවාදා අ.භා. 07.03 අමාවක ලබා 25 බදාදා
අ.භා. 04.06න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]