[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කය අතහැරුන ද නොනවතින විපාක

කය අතහැරුන ද නොනවතින විපාක

සසර යනු සත්ත්වයා ජාති, ජරා, මරණ ආදී දුක් වේදනාවන් විඳීමින් යන දිගු ගමනකි. තමාගේ සසර ගමනේ ආරම්භය සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර, කිසිවකු නො දනියි. මේ ගමනේ දී සත්ත්වයා විසින් සෑම ක්ෂණයක ම කර්ම රැස් කර ගනු ලබන්නේ ය.

ඒ කර්මවලට, මේ භවයේ දී පමණක් නොව පිරිනිවන් පෑම දක්වා ම විපාක දීම වැළැක්විය නොහැක. සම්මුති මරණයෙන් කය විනාශ වූ පසු තමන් කළ කර්මවල විපාක ලැබෙන්නේ කාටද යන්න අවබෝධයෙන් ම දැනගත යුතු වේ. එසේ නොමැති නම් විවිධ දෘෂ්ඨීන් ගැනීම නිසා සසර ගමන තවදුරටත් දිගු වනු ඇත.

වර්තමාන භවයේ විඤ්ඤාණය ඉපිද ඉපිද බිඳී බිඳී යන්නේ ය. ප්‍රතිසන්ධි විඤ්ඤාණය ද ඉපිද බිඳී යනු ඇත. මේ අයුරින් ම, ඊළඟ භවයේ විඤ්ඤාණය ද ඉපිද, ඉපිද, බිඳී, බිඳී යන අයුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල දහමෙහි පැහැදිලි කොට ඇත. විඤ්ඤාණය ඉපිද ඉපිද, බිඳී බිඳී සන්තතියක් ලෙස ගමන් කරන ආකාරයත්, විපාක දීම සඳහා ඇතිවුණු කයෙහි සම්මුති මරණයත් සමඟ ම වෙනත් කයක් හටගෙන ඒ කය හරහා කර්ම ශක්තිය විපාක දෙන ආකාරයත් පිළිබඳ මේ ලිපියෙන් පැහැදිලි කෙරේ. මෙය අවබෝධ කර ගැනීම සඳහා මුලින් ම නාම රූප යනු මොනවාදැයි දැන ගැනීම අවශ්‍ය වේ.

නාමරූප

බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයන් විස්තර කරන විටත් නාම රූප යන්න පැහැදිලි කොට ඇත. සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම්කිසි උපාදාය රූපයක් ඇතිවුණා නම් ඒ සියල්ල “රූපය” යනුවෙන් හැඳීන්වෙයි. ඵස්ස,වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන කොටස් “නාම” වශයෙන් හඳුන්වනු ලැබේ. නාමය සහ රූපය කියන කොටස් දෙකෙහි එකතුව “නාමරූප” වශයෙන් හැඳීන්වේ. නාමය සහ රූපය, නාම රූප දෙකක් ඇති සත්ත්ව ලෝකවල පවතී. නාමය, රූපයේ පැවැත්ම සඳහාත්, රූපය, නාමයේ පැවැත්ම සඳහාත් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වේ.

නාම රූපත්, හේතූන් නිසා සකස් වුවකි. ඒ තුළත් හටගැනීමක්, වැනසී යාමක්, පවතින කාලය තුළ වෙනස් වීමක් දකින්නට තිබේ. එනම් නාමරූප ඉපිද ඉපිද බිඳී බිඳී යයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සැදුන රූපයකට වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤාණ කියන නාම කොටස එකතු වූ විට සත්ත්වයෙක්, නැත්නම් පුද්ගලයෙක් හැටියට වරදවා හඳුනා ගනී. ආයුෂයත් උණුසුමත් යුතු ව මේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන මේ ආයතන පවතින්නේ නාම රූපයන් හේතු කොට ගෙනයි. සත්ත්වයා ය, පුද්ගලයා ය, මම ය, මිනිසා ය, දෙවියා ය, තිරිසනා ය ආදී වශයෙන් අනවබෝධය නිසා ම, ව්‍යවහාර කරන්නේ මෙසේ ඉපිද ඉපිද බිඳී බිඳී යන නාම රූපයන්ට ය.

සත්ත්වයා

කයක හා සිතක අන්‍යොන්‍ය වශයෙන් උපකාරී වෙමින් ක්‍රියාත්මක වන හේතු-ඵල ක්‍රියාදාමයක් ලෙස සත්ත්වයා හැඳීන්විය හැක. එක් සත්ත්වයකුට නාමකාය, රූපකාය යැයි දෙකක් ඇත්තේ ය. සත්ත්වයා යනු නාමරූප ධර්මයන්හි පැවැත්මකි. වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ යන ස්කන්ධ සමූහයට නාමකය යැයි කියනු ලැබේ. ඇසට පෙනෙන්නට තිබෙන ශරීරයට රූපකාය යැයි කියනු ලැබේ. සත්ත්වයා යනුවෙන් හඳුන්වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පහේ නොනවත්වා, අඛණ්ඩ ව සිදුවන ක්‍රියාවලියට යි. මේ ක්‍රියාවලිය මුළුමනින් ම නතර වන්නේ පිරිනිවීමෙන් ම පමණකි.

රූපය සහ නාම ධර්මයන්ගේ එකතුවට පංචස්කන්ධය යැයි කියනු ලැබේ.

පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය

පංචස්කන්ධය යනු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පහයි. ජීවත් වීම යනු පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම යි. පංචස්කන්ධය යනු අනිත්‍ය ධර්මතාවකි. එනම් නාම රූප වශයෙන් හැඳීන්වෙන නාම රූප ධර්මයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා ම ඉපදී ඉපදී, බිඳී බිඳී යයි. ඉතා වේගයෙන් ඉපිද ඉපිද, බිඳී බිඳී යන රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණය යන පංචස්කන්ධයට අයත් නාමරූප ධර්ම හැර මේ සත්ත්ව සන්තානයෙහි ස්ථීර වූ, නිත්‍ය වූ අන් කිසිවක් නොමැත්තේ ය. සත්ත්වයා නිර්මාණය වී ඇත්තේ මේ නාමකය සහ රූපකය යන දෙකෙහි සංකලනයෙනි.

ඇසට රූපයක් හමු වූ විට චක්ඛු විඤ්ඤාණ සිත පහළ වේ. එම රූපය හොඳ, නරක, කැත, ලස්සන, මිතුරෙක්, හතුරෙක් ලෙසින් විවිධ දෘෂ්ඨි කෝණයන්ගෙන් හඳුනා ගනියි. එය සංඥා ස්කන්ධයේ පහළ වීමයි. එලෙස හඳුනාගත් ආකාරයට අනුව සුඛ, දුක්ඛ, මැදහත් වේදනාවක් ලෙසින් විඳීමක් ඇති වේ. එය වේදනා ස්කන්ධයේ පහළ වීමයි. එවිට ඒ අනුව නොයෙකුත් සිතිවිලි ගලා යාමට පටන් ගනියි. එය සංස්කාර ස්කන්ධයේ පහළවීමයි.

ඇසත්, ගැටුණු රූපයත් රූප ස්කන්ධය වේ. කනට ශබ්දත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසත්, කයට ස්පර්ශත්, මනසට අරමුණුත් ලැබුන විට පංචස්කන්ධ ක්‍රියාවලිය මෙලෙසින් ම ක්‍රියාත්මක වේ.

මෙලෙස පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙමින්, නැතිවෙමින් යන විට සාමාන්‍ය පෘථග්ජන සිත්හි ස්වභාවය නම් මෙම අරමුණු අල්ලා ගැනීම ය. සිත තුළින් ඇති වන “අල්ලා ගැනීම” උපාදානය ලෙස හැඳීන්වේ. මෙහිදී පරමාර්ථ ලෙස සිදුවන්නේ සිත තුළින් ම පංචස්කන්ධයන් උපාදාන කිරීම ය. එවිට පෙර සඳහන් කළ පංචස්කන්ධ ධර්මයන් සිත තුළ ඇති අල්ලා ගැනීම (උපාදානය) නිසා පංච උපාදානස්කන්ධ බවට පත්වේ.

සත්ත්වයාගේ සිත් තුළ අවිද්‍යාව, තණ්හාව ආදී කරුණු පවතින තුරු මෙම උපාදාන කිරීම සිදු වේ. උපාදානස්කන්ධ පඤ්චකය සියලු දුක්වල උත්පත්ති ස්ථානය යි.

මේ ආකාරයෙන් සත්ත්වයාගේ නාම රූප ධර්මයන් වේගයෙන් ක්‍රියාත්මක වීමේ දී එය සත්ත්වයකුගේ, පුද්ගලයකුගේ, ආත්මයක පැවැත්මක් ලෙසින් වැටහෙයි. නමුත් සත්‍ය වශයෙන් ම සත්ත්වයා යනු පරමාර්ථ වශයෙන් නැති, නාම ධර්ම, රූප ධර්ම, සංඛ්‍යාත ධර්මතා රැසක එකතුවකි. ඒවා එකිනෙකින් වෙන් ව බෙදී ගිය පසු පුද්ගලයකු වශයෙන් සැලකිය හැකි කිසිවක් එහි ඉතිරි නොවේ. මේ බැව් අවබෝධ කර නොගත් සත්ත්වයා දිගින් දිගට ම කර්ම රැස් කර ගනිමින් සංසාරයේ ගමන් කරයි.

සසරෙහි දිග පළල

සසර ඉතා දිගු ගමනකි. සසර යන්නෙහි කෙටි අදහස සැරිසැරීම යන්න යි. එනම් තැනින් තැන ඇවිදීමකි. සත්ත්වයා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තෙ වැදෑරුම් ලෝකයන්හි ඉපදීම්, මැරීම් වශයෙන් ඇවිදියි. තිණකට්ඨ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ සංසාරය පිළිබඳ ව මෙසේ පැහැදිලි කොට ඇත. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ, සැරිසරන්නා වූ, සත්ත්වයන්ගේ මේ සංසාරය නො දක්නා ලද අග කෙළවර ඇත්තේ ය, මුල් කොනත් නො පෙනෙන්නේ ය. එනම් මුළාව කරණකොට ගෙන භවයේ පැවැත්මට ඇති ආශාව හෙවත් භව රාගය පිළිබඳ ව තමා තුළ ඇති නොදැනීමෙන් වැසුණු සත්ත්වයා කාම වස්තූන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳීම සංසාරය යි”.

බුදුරජාණන් වහන්සේ “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති” යැයි තවත් තැනක වදාළ පරිදි සත්ත්වයාගේ සසර පැවැත්මේ අගක් මුලක් දැකිය නොහැකි ය. සත්ත්වයාගේ සංසාර ගමනේ අගමුල සෙවීම මුළාවකි.

අනවරාග්‍ර සංසාරයේ සත්ත්වයා මැරෙමින් ඉපදෙමින් යන සංසාර ගමන සිදුවන ආකාරයත්, එය නවතාලන ආකාරයත් බුදු ඇසින් දුටු සේක. එය පහදා වදාළ ප්‍රධාන දේශනාවකි පටිච්ච සමුප්පාද ධර්මය. සත්ත්වයා අතීත භවයේ අවිජ්ජාවත්, සංඛාරත් මේ භවයේ ප්‍රතිසන්ධි විඤ්ඤාණ ප්‍රධාන කොට විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, කම්ම භව සමග විපාක විඳීමින් සහ සංස්කාර එකතු කරමින් සිටියි. මෙසේ එකතු කර ගන්නා සංස්කාර නිසා නැවත සත්ත්වයාට උත්පත්ති භවයක්, ජාතියක්, ජරාවක්, මරණයක්, ශෝක, පරිදේව, උපායාස, දුක්ඛ, දෝමනස්ස ඊළඟ භවයේ දී ලැබෙන බව පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලි කරයි.

ඒ අනුව භවයෙන් භවයට නාමරූපයන්ගේ ඇතිවීම හේතු ඵල දාමයක් සේ ගලා යයි. අනවරාග්‍ර සංසාරයේ සත්ත්වයා ඉපදෙමින් මැරෙමින් සංසාරයේ ගමන් කරයි. සම්මුති මරණයත් සමඟ ම ඊළඟ භවයේ සත්ත්වයා උපදවන්නේ ප්‍රතිසන්ධි විඤ්ඤාණයෙනි.

ප්‍රතිසන්ධි විඤ්ඤාණය

එක් භවයකින් චුත වීමේ දී හෙවත් සත්ත්වයෙක් යම් ස්ථානයක කලක් සිට මැරෙන මොහොතේ ඇතිවන අවසාන සිතට “චුති සිත”යැයි ද, එයට පසුව අතරක් නොමැති ව දෙවැනි භවයෙහි පහළ වන සිත්වල පළමුවැනි සිතට “ප්‍රතිසන්ධි සිත”යැයි ද කියනු ලැබේ.

රූපය විඤ්ඤාණයට ද, විඤ්ඤාණය රූපයට ද, ආධාරක ව පවතී. උදාහරණයක් හැටියට ගතහොත් පඤ්චවෝකාර භූමියේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමඟ ම උපදින සත්ත්වයින්ට රූප හෙවත් කයක් ද පහළ වේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය හා රූපය වැඩී ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන යන ස්ථාන හය තුළ විඤ්ඤාණ හයක් වශයෙන් ක්‍රියාත්මක වේ. ඒ දැකීම චක්ඛු විඤ්ඤාණය ද, ඇසීම සෝත විඤ්ඤාණය ද, ආඝ්‍රහණය ඝාන විඤ්ඤාණය ද, රස දැනීම ජිව්හා විඤ්ඤාණය ද, ස්පර්ශය කාය විඤ්ඤාණය ද, සිතුවිලි මනෝ විඤ්ඤාණය ද වශයෙනි.

එක් කුඩා බීජයක්, අතුපතර විහිදා මහ ගසක් ව වැඩී බොහෝ බීජ ඇතිවන්නා සේ, එක් පුද්ගලයකු තුළ පහළවන අනන්ත විඤ්ඤාණයන් මඟින් අනන්ත කුසල් අකුසල් නමැති බීජ රැස් වේ.

සසර දිගුවේ නවාතැන

කෙනකුගේ චිත්ත සන්තතිය භෞතික ශරීරයෙන් වෙන් වෙනවාත් සමඟ ම මරණය සිදු වේ. මරණයත් සමඟ ම තවත් තැනෙක උපත සිදු වන්නේ ය. උදාහරණ ලෙස දැක්වුවහොත්, අකුසල් කළ ඇතැම් අය නිරයෙහි උපදියි. කුසල් කළ ඇතැම් අය දෙව්ලොව උපදීයි. මරණින් මතු උපදින්නේ මේ සත්ත්වයාමත් නොවේ, අන් සත්ත්වයෙක් ද නොවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

පුනර්භවය ලබන සත්ත්වයා අලුතින් ම හට ගන්නා බැවින් පැරැණි සත්ත්වයාමත් නො වන්නේ ය. එසේම පෙර සසර කළ කර්ම විපාක විඳවන එකම චිත්ත පරම්පරාවක් පවත්නා හෙයින් වෙනස් වූ අනෙක් සත්ත්වයෙක් ද නො වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

වර්තමාන භවයේ ක්‍රියාවලිය

ඇස, කන, නාසය, දිව, කය, මනස හා ඊට ගෝචර වන දේ හැරුණු කොට අපට ලෝකය යැයි අරමුණු කරන්නට කිසිවක් ඉතිරි වන්නේ නැත. එහි අදහස අප ලෝකය ලෙස දකින්නේ මේ ආයතන හය බවයි. ඇස, කන, නාසය, දිව, කය සහ මනසට සහ ඒවාට ගෝචර වන රූප ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණුවලට ඇතුළු නො වන කිසිවක් මේ ලෝකයේ නොමැත. මේ ආයතන හයේ ස්වභාවය නම් අපට කැමැති ප්‍රිය දේ පමණක් අරමුණු කර දීම නොව හේතුන් නිසා හට ගැනීමත් ඒ හේතු නැති වීමෙන් නැති විමත් ය.

සම්බුදු දහමේ කර්මය යනු චේතනාව වේ. ඒ බව මෙසේ දැක්වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” “මහණෙනි, මම චේතනාව කර්මය යැයි වදාරමි” කියා ය. මේ සිතන දේ එනම් චේතනාව අනුව සිදුකරන කර්මය ද යහපත් හෝ අයහපත් විය හැකි ය. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල ධර්ම, දස පාරමී ධර්ම, සමසතළිස් කර්මස්ථාන ආදී පින් කටයුතු යහපත් කර්ම ගණයට ද, පස්පව්, දස අකුසල්, අධර්ම වෙළදාම් ආදිය අයහපත් කර්ම ගණයට ද වැටෙනු ලැබේ. එසේ ම යහපත් කර්ම හේතුවෙන් සැප දායක යහපත් විපාක ද, අයහපත් කර්ම හේතුවෙන් දුක් විපාක ද ගෙන දෙනු ලැබේ.

තමන් කරන හොඳ හෝ නරක හෝ කර්මවල කොටසකට මෙලොව ම විපාක ලැබේ. එසේම අප කරන කුසල අකුසල කර්මවලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. තව කොටසක් දිගු සසරේ දී කවර අවස්ථාවක දී හෝ විපාක දෙයි.

සම්මුති මරණය

වර්තමාන භවයේ දී කයෙහි අත හැරීම සම්මුති මරණය වේ. සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාවන් සිඳී යන්නට හොඳට ම ළං වූ කල්හි මැරෙන සත්ත්වයාට ඒ අවස්ථාවේ දී වැටහී තුබූ කර්මාදියෙන් එකක් අරමුණු කොට, ඒ ශරීරයේ ඇති වන අන්තිම චිත්ත වීථිය ඇති වේ. එයට

මරණාසන්න චිත්ත වීථිය යැයි කියනු ලැබේ. මේ අවස්ථාවේ දී චිත්ත වේගය ඉතා හීන බැවින් ප්‍ර‍කෘති කාලයෙහි මෙන් ඒ වීථියේ ජවන් සතක් ඇති නො වී, පහක් පමණක් ඇති වේ. අනතුරුව වර්තමාන සත්ත්වයාගේ අවසාන චිත්තය වන චුති චිත්තය උපදී. ඉන්පසු කිසි කලෙක ඒ ශරීරයේ නැවත සිත් ඇති නොවේ. චුති චිත්තය හටගෙන නැති වීමෙන් සත්ත්වයාගේ සම්මුති මරණය සිදු වේ. ඒ සමඟ ම වර්තමාන භවයේ හටගත් කය අත හැරෙයි.

නො සිඳෙන චිත්ත සන්තතිය

ප්‍ර‍තිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් අනාගත භවයට ගිය එකක් නොවුන ද වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවට ම අයත් දෙයකි. වර්තමාන භවයට අයත් සිත් පරම්පරාව නොවී නම් ප්‍ර‍තිසන්ධි චිත්තයක් ඇති නො වේ.

චුති සිතෙන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නො වන නමුත් සත්ත්වයාගේ සිත් පරම්පරාව නො සිඳේ. චුති චිත්තය නිරුද්ධ වනු සමඟ ම අතරක් නොමැති ව, මරණාසන්න ජවන විසින් ගන්නා ලද අරමුණ ම ගනිමින් විපාක දීමට ඉදිරිපත් ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් යම් කිසි තැනක දෙවන ජාතියේ පළමු වන සිත වූ ප්‍ර‍තිසන්ධි චිත්තය උපදී. ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය පහළ වීම, මළ සත්ත්වයා ගේ නැවත ඉපදීම ය. මැරෙන තැනැත්තාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො යන්නේ ය.

ප්‍ර‍තිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් එහි ගිය එකක් නොව, එහි ම අලුතෙන් පහළ වූවකි.

විඤ්ඤාණයට නාම රූපත්, නාම රූපවලට විඤ්ඤාණයත් ප්‍රත්‍ය වෙමින් මේ සමඟ ම ඊළඟ භවයේ

කය හටගනියි. මේ වන විට පෙර භවයේ කය අතහැර හමාර ය.

පුනර්භවය ලබන සත්ත්වයා අලුතින් ම හටගන්නා බැවින් පැරැණි සත්ත්වයාමත් නො වන්නේ ය.

එසේ ම පෙර සසර කළ කර්ම විපාක විඳවන එකම චිත්ත පරම්පරාවක් පවත්නා හෙයින් වෙනස් වූ අනෙක් සත්ත්වයෙක් ද නො වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

නො නවතින විපාක දීම

ගිය භවය පුරා නාම රූප ධර්මයෝ ඉපිද ඉපිද බිඳී බිඳී ගියෝ ය. ගිය භවයේ අවසන් සිත වූ චුති සිතට අනතුරු ව වහා ප්‍රතිසන්ධි සිතක් ඇති වී හටගන්නා නාම රූප ධර්මයෝ ද ඉපිද ඉපිද බිඳී බිඳී යන්නේ ය. මෙය හුදු ක්‍රියාවලියක් පමණි. එක් කයක් බිඳී නව කයක් ඇති වුව ද, සිත් පරම්පරාව දිගට ම ඉපිද ඉපිද බිඳී බිඳී යමින් පවතින බව පැහැදිලි ය.

සත්ත්වයා ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියයන් ඔස්සේ කර්ම රැස් කරන්නේ ය. උදාහරණයක් ලෙස දැක්වුවහොත්, ලෝබ සිතින් ඇසෙන් රූපයක් බලා කර්මයක් රැස් කළේ යැයි සිතමු. දැන් ඉපදුණු ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, ස්පර්ශයත්, වේදනාවත් නිරුද්ධ වී ගොසින් ය. නමුත් රැස්වූ කර්මයේ විපාක, සුදුසු අවස්ථාවක විපාක දීම සඳහා ප්‍රත්‍යයක් ලෙස පවතින්නේ ය. මේ ආකාරයට සෑම ක්ෂණයක ම ඉන්ද්‍රියයන් ඔස්සේ සිදු කරන කර්ම, අනාගතයේ විපාක දීමට හේතු ලෙස පවතින්නේ ය. විපාක දීම සිදුවන්නේ විපාක සිත් ඔස්සේ ය. කුසලාකුසලයන් ගේ බලයෙන් අනාගතයෙහි ප්‍රතිඵල ලබාදීම ඇති කරවන සිත් විපාක සිත් ලෙස හැඳීන්වේ. විපාක යනු කුසලාකුසලයන් කළ තැනැත්තාගේ සන්තානයෙහි ඒ කුසලාකුසලයන් නිසා අනාගතයෙහි ඇති වන සිත් ය. මින් තවදුරටත් පැහැදිලි වන්නේ එක් භවයක කයක් නිරුද්ධ වී නව භවයෙහි නව කයක් ඇති වුව ද සිත් පරම්පරාව දිගට ම ඉපිද ඉපිද බිඳී බිඳී යමින් පවතින බව ය. ඒ සිත් අතර විපාක සිත් ද පවතින අතර, එසේ පහළ වන විපාක සිත් මගින් පූර්ව කර්මවල විපාක, නව කය මත පදනම් ව ලබන්නේ ය. පංචස්කන්ධයෙන් සමන්විත වූ ගිය භවයේ කය මත පදනම් ව ගිය භවයට පෙර භවවල කරන ලද කර්ම සහ ගිය භවයේ කරන ලද සමහර කර්මවල විපාක විඳීමට සිදුවිය. ඒ කය බිඳී ඇති වුණු නව කය මත පදනම් ව වශයෙන් පවතින, සංසාරයේ දී රැස් කළ සහ නව භවයේ දී රැස් කරන සමහර කර්මවල විපාක නව භවයේ දී උපන් කය මත පදනම් ව විපාක දෙන බව පැහැදිලි ය. මින් පැහැදිලි වන්නේ සම්මුති මරණයෙන් එක් කයක් අවසන් වුව ද කළ කුසල හෝ අකුසල කර්මවල විපාක දීම නො නවතින බව ය.

දුක් සහිත සසරින් එතෙරවීම නිමාවයි

මෙසේ මේ වර්තමාන භවයෙහි ප්‍ර‍තිසන්ධි, භවාංග සිත් හා වීථි සිත් ද, චුතිය ද ඇති වන්නාක් මෙන් මතු භවවල දී ද ප්‍ර‍තිසන්ධ්‍යාදිය ඇතිවීම් වශයෙන් මේ චිත්ත පරම්පරාව නිවනට පැමිණෙන තෙක් එක් පරම්පරාවක් වශයෙන් පෙරළෙමින් පවත්නේ ය. එක් කයක් බිඳී තව කයක් ඇති වුව ද කර්ම විපාක දීම නො නවතින්නේ ය. එහි ඵලය වන්නේ සත්ත්වයා ජාති ජරා මරණ ආදී දුක්ඛයන්ගෙන් පෙළෙමින් සසරේ ගමන් කිරීම ය. දුක් සහිත සසර ගමන කෙටි කර ගෙන එහි නිමාවක් දැකීමට අපට හැකි ය. තෘෂ්ණාව සහමුලින් දුරු කිරීම, සීල, සමාධි ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥාන, දර්ශනාදී මග යාමෙන් අපට සසර දුක් නිම කළ හැකි ය. තවද, ධර්ම ශ්‍රවණයෙන් සහ පොතපත පරිශීලනය කිරීමෙන් මේ පිළිබඳ ව තවදුරටත් විමසා බලා, බුදුරජාණන් වහන්සේ

පෙන්වා දුන් පරිදි අවබෝධයෙන් යුක්ත ව, සිරිත් විරිත් දන්නා නුවණින්, ඉතා කුඩා වරදෙහි පවා බිය දක්නා සුළු ව, තමන් පොරොන්දු වන සීලය සිතේ එකඟතාවයෙන් යුක්ත ව අවබෝධයෙන් යුක්ත ව, ආරක්ෂා කර ගත යුතුයි යන අධිෂ්ඨානය මනසේ පවත්වා ගෙන ඒ අනුව සෑම කල්හි ම කටයුතු කටයුතු කිරීම වැදගත් වේ.

බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]