බක් පුර අටවක පෝ දා
2025-04-05
විමසීම
සම්බුදු දහම සිතීමේ හා විමසීමේ නිදහස අගයන ශ්‍රේෂ්ඨ දහමකි. අවිචාරවත් ව විවිධ මත
පිළිගැනීම, එක් එක් පුද්ගලයන් ඇදහීම, ඒ අනුව ජීවිතය හැසිරවීම සම්බුදු දහම
ප්‍රතික්ෂේප කරයි.
ධර්මයේ ස්වභාවයෙන් අධර්මය වපුරුවන, විවිධ මත ප්‍රචාරය කරන, විවිධ පුද්ගලයන් පසුපස
යමින්, විචාරශීලී බවකින් තොරව ඔවුන්ගේ අදහස් උදහස්, යෝජනා පිළිගන්නට, ක්‍රියාත්මක
කරන්නට යෑම නිසා ජීවිතය ම අඳුරට වැටුණ පුද්ගලයෝ බුද්ධ කාලීන භාරතයේ ද වූහ. අද ද
වෙති. එවැනි අවිචාරවත්කම් පුද්ගලයාගෙන් සීමා නොවී සමාජගත ප්‍රශ්න දක්වා ම වර්ධනය
වනු දැකිය හැකි ය. මෙහිදී ගැටලුකාරී වන්නේ ඇතැමෙක් තමන් අන්ධානුකරණයෙන් පිළිගත්
අදැහැම් අදහස් ම සත්‍ය යැයි සම්මත කිරීමට ගන්නා උත්සාහය තුළ වැරැදි වැටහීම් සමාජගත
වී අහිතකර බලපෑම් ඇති කිරීම ය.
බෞද්ධයා බුද්ධිමතෙකි. ඕනෑම දෙයක් පිළිබඳ සිතා, විමසා බලා තීරණ ගන්නෙකි. බුදුරජාණන්
වහන්සේ දේශනා කොට වදාළේ යම් කෙනෙක් පවසන්නේ සත්‍යය ද, අසත්‍යය ද යන්න විමසා බලා
පිළිගත යුතු බවත්, ආරංචි මාත්‍රයෙන් හෝ, පරම්පරාවෙන් පැමිණ පමණින් හෝ, කටකතාවෙන්
හෝ, තමන් ඉගෙන ගත් දේ සමඟ ගැළපීමෙන් හෝ, තර්කානුකූල වේ යැයි සිතා හෝ න්‍යායානුකූල
වේ යැයි සිතා හෝ, මතුපිටින් පෙනෙන දෙයට අනුව හෝ, තමන්ගේ දැක්ම අනුව සැසඳීමෙන් හෝ,
සුදුසු යැයි පෙනෙන්නට තිබෙන පමණින් හෝ, මාගේ ගුරුවරයා කීයැයි කියා හෝ යම්කිසිවක්
නොපිළිගත යුතු බවයි.
උන්වහන්සේ තවදුරටත් පෙන්වා දෙන්නේ යම් ධර්මයක් අකුසල යැයි තමන්ට වැටහෙනවා නම්, යම්
ධර්මයක් වැරැදි යැයි තමන්ට අවබෝධ වනවා නම්, යම් දහමක් ප්‍රඥාවන්තයන් විසින් ගැරහීමට
ලක් කරනු ලැබ තිබේ යැයි තමන්ට වැටහෙනවා නම්, යම් දහමක් පිළිගත් පුද්ගලයාට, ඒ දහම
පිළිපදින පුද්ගලයාට අයහපතක්, දුකක් පිණිස පවතින බව තමන්ට ම වැටහෙනවා නම් ඒ ධර්මය
එවෙලෙහි ම බැහැර කළ යුතු බව ය.
මේ අපූර්ව ධර්මෝපදේශය ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය අර්ථාන්විත කර ගන්නට හැකි අපූර්ව
මාවතක් පෙන්වා දේ. බොහෝ අය කරදරවල පැටලෙන්නේ, ගැටුම් කලකෝලාහල ඇති කරගන්නේ සිතා බලා
තීරණ නොගැනීම නිසා ය.
කෙනකුට තමන්ගේ ජීවිතය යොමු කළ යුතු දිශානතිය කුමක්ද යන්න ගැන පවා අවබෝධයක් නැත.
අනවබෝධයටත් වඩා තමන්ට වටිනාකමක් දෙන්නට පුරුදු පුහුණු කළ යුතු දේ, හඹා යා යුතු
තැන්, එක්රැස් කරගත යුතු දැනුම, පිළිපැදිය යුතු අවවාද, උපදේශ පිළිබඳ විමර්ශනයක්
නොවීමය. බොහෝ දෙනෙක් මේ ලොවට බිහිවූවාට ජීවත් වෙති. අවිචාරවත් ව අනුන් අනුකරණය
කරන්නට යති. ඔවුහු අන්ධානුකරණය මිස සැබෑ දැක්මකින් තොරවීම නිසා ජීවිතය ම අභාග්‍යයක්
කර ගනිති.
බෞද්ධයන් ලෙස අපට මේ ජීවිතයේ උතුම් ධර්මයක් ලැබී තිබේ. ඒ ධර්මාවබෝධය ලබන්නට මාර්ග
කොතෙකුත් ඇත. එවැනි උතුම් අවස්ථාවක කිසිවෙක් අඳුරෙන් අඳුරට යා යුතු නැත. ආලෝකයට
එන්නට නම් විමර්ශනශීලී බව ඇවැසි ය. බෞද්ධයා පුරුදු පුහුණු විය යුතු ඒ විමසුම්
දෑසින් ලෝකය දකින්නට ය. |