නිවීමේ සතුටට වදාළ උදාන
අවුරුදු 55 ක් ම නිරුවත් ශරීරයේ දූවිලි තවරාගෙනයි මම හිටියේ. මාසයකට එක වේලක් ආහාර
බින්දුවක් දිව මත තියල බත් අනුභව කළා. කෙස් රැවුල් උදුරා දැම්මා. වාඩිවෙන ආසන
ප්‍රතික්ෂේප කළා. තනි කකුලෙන් හිටගෙන හිටියා. වියළි අසූචි තමයි අනුභව කළේ. කිසිම
ආරාධනාවක් භාර ගත්තේ නෑ. මේ විදියට බොහෝ අපායගාමී පව් තමයි කළේ. කෙලෙස් සැඩ පහරේ
ගිලෙමින් යද්දී බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ලැබුණා.
උතුම් තිසරණය වෙත මගේ පැමිණීම ගැන බලන්න. ධර්මයේ ආශ්චර්යය බලන්න. මාත්
ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදුසසුන සම්පූර්ණ කර ගත්තා.
ජම්බුක මහරහතන් වහන්සේ
නුවණ නැති කෙනා ඉවසන්නට ඕනෑ තැන කලබල වෙනවා. කලබල වෙන්නට ඕනෑ තැන ඉවසනවා. අන්තිමේ
දී වැරැදි විදියට කටයුතු කරලා දුකට පත් වෙනවා. එයාගේ දියුණුව පිරිහී යන්නේ කළුවර
වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත්වෙලා යනවා. යහපත් මිතුරන් ද අමනාප වෙනවා. නුවණ
තියෙන කෙනා ඉවසන්නට ඕනෑ තැන ඉවසනවා. කලබල වෙන්න ඕන තැන කලබල වෙනවා. නුවණින් විමසා
කටයුතු කරලා සැපයට පත්වෙනවා.
එයාගේ දියුණුව වැඩෙන්නේ පිරීගෙන යන සඳක් වගේ. කීර්තිය පැතිරෙනවා. යහපත් මිතුරන්
අමනාප වෙන්නේ නැහැ.
සම්භූත මහරහතන් වහන්සේ
ඇත්තෙන් ම ධර්මයේ හැසිරෙන කෙනා ව රැක ගන්න ධර්මයට පුළුවන්. යහපත් ලෙස රැස් කරගත්
ධර්මය තමයි සැප ලබා දෙන්නේ. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියක යන්නෙ නැහැ.
ධර්මයත්, අධර්මයත් යන දෙක විපාක වශයෙන් සමාන වන්නේ නෑ. අධර්මයෙන් සත්ත්වයා නිරය කරා
ගෙන යනවා. ධර්මයෙන් සත්ත්වයා සුගතිය කරා ගෙන යනවා.
එනිසා ධර්මයට ම යි කැමැති වෙන්නට ඕනෑ. අකම්පිත සිත් ඇති සුගතයන් වහන්සේගේ ධර්මය ගැන
සතුටු වෙන්නට ඕනෑ. සුගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන ශ්‍රාවකයන්ට නුවණින් යුක්තව
උතුම් සරණ ලබා ගෙන නිවන කරා යන්නට පුළුවන්.
කාමය කියන්නේ තුවාලයක් වගේ. ඒ කාමයේ මුල් ගලවලා දැම්මා. තණ්හා දැල සිඳ බිඳ දැම්මා.
ඔහුගේ සංසාරය දැන් ඉවරයි. දැන් ඔහු තණ්හා රහිත කෙනෙක්. පෝය දවසෙ හැම දොස් රහිත ව
බබළන සඳක් වගේ.
ධම්මික මහරහතන් වහන්සේ
මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්නට ලැබුණා. දැන් බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පුතා
වෙන්නටත් ලැබුණා. දෙපැත්තෙන් ම පුතෙක් වෙන්නට මට වාසනාව ලැබුණා. එනිසා නුවණැති
උතුමන් වහන්සේ “රාහුල භද්‍ර” කියලා මා අමතනවා. බුදු පියාණන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක්
වන මම දහම් ඇස ලබා ගත්තා.
ආශ්‍රව නැති කර ගත්තා. පුනර්භවයත් නැති කර ගත්තා. අරහත්වයට පත්වුණා. ලෝකයාගේ පුද
සත්කාරයට සුදුස්සෙක් වුණා. ත්‍රිවිද්‍යාව ද ලැබුවා. ඒ අමා නිවන ද ලබා ගත්තා.
එනමුත් බොහෝ සතුන් කාමයෙන් අන්ධ වෙලා ඉන්නෙ. කෙලෙස් දැල තුළ පැටලිලා ඉන්නෙ.
තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට බැඳිලා ඉන්නෙ. ඒ උදවිය
දැලක හිරවුණ මාළු වගේ.
මම ඒ කාමයන් බැහැර කළා. මාර බන්ධනය කඩා බිඳ දැම්මා. තණ්හාව මුලින් ම උදුරා දැම්මා.
සිහිල් වෙලා ගියා. නිවිලා ගියා.
රාහුල මහරහතන් වහන්සේ
එදා ගිහි කල මගේ බිරිඳ, රත්රන් ආභරණවලින් සැරසිලා සේවිකාවන් පිරිවරාගෙන දරුවන්
වඩාගෙන මා ළඟට ආවේ. පුතාගේ අම්මා ඒ විදියට ආභරණවලින් සැරසිලා ඇඳ පැලඳගෙන එනකොට, මට
ඇයව පෙනුණේ මාරයා අටවපු උගුලක් වගේ. ඒ තුළින් ම මට යෝනිසෝමනසිකාරය ඉපදුණා.
සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු ව කලකිරීමෙහි සිත පිහිටියා. එනිසා
ම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්යය බලන්න. මා ත්‍රිවිද්‍යාව
ලබා ගත්තා. බුදුසසුන සම්පූර්ණ කර ගත්තා.
චන්දන මහරහතන් වහන්සේ |