[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිතිවිලි පාලනය දැහැමි පවුලක පදනමයි

සිතිවිලි පාලනය දැහැමි පවුලක පදනමයි

විවාහය යනු ජීවිතයේ අතිශය වැදගත් සංධිස්ථානයකි. පවුල් සංස්ථාව සාර්ථකවීම තුළින් සුඛිත මුදිත සමාජයක් බිහිවනු ඇත. එබඳු ස්වභාවයකට පත්වීමට නම් සැමියාත්, බිරියත් සමබර ජීවිතයකට හුරුපුරුදු විය යුතු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ස්ත්‍රියගේ රූපය, ස්ත්‍රියගේ හඬ, ස්ත්‍රියකගේ ගඳ (ස්ත්‍රී සුවඳ) ස්ත්‍රියගේ ස්පර්ශය හා ස්ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පස ඇඳ බැඳගන්නා බවය. අනෙක් පැත්තට පුරුෂයාගේ රූපය, පුරුෂයාගේ හඬ, පුරුෂයාගේ සුවඳ, පුරුෂයාගේ ස්පර්ශය හා පුරුෂයාගේ රසය ස්ත්‍රිය හාත්පස ඇඳ බැඳ වසඟ කර ගන්නා බවත් ය. ස්වාමිපුරුෂයා හා බිරිය අන්‍යොන්‍ය වශයෙන් සෑම අවස්ථාවක ම පුළුල් අවබෝධයකින් කටයුතු කළ යුතුයි. සදාචාරාත්මක ව ශිෂ්ටසම්පන්නව ජීවත්වීමට හැමවිටම උත්සාහ කළ යුතුයි.

කාන්තාවකට ම ආවේණික දුක් පහක් ඇති බව බුදු දහම පෙන්වා දෙයි. එනම්

බාල වයසේදී ම මවුපියන් අතහැර සැමියකු සමඟ යෑමට සිදුවීම.

මාස් ශුද්ධිය ඇතිවීම

ගැබ් ගැනීම

දරුවන් බිහි කිරීම

සැමියාගේ සේවකයකු සේ කටයුතු කරන්න සිදුවීම.

ඒවගේ ම කුරුල්ලකු, කිරිල්ලියක සිටින පවුල් සංස්ථාව මෙන් ම දෙවියෙක්, දෙවඟනක හා සමාන ව ජීවත්වන පවුල් සංස්ථාව ඉතාමත් වාසනාවන්තයි. එබඳු සොඳුරු පවුල් ජීවිත විනාශ කිරීමට යම් ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ තුන්වැන්නකු වශයෙන් මැදිහත්වීම විශාල අකුසල ප්‍රමාණයක් රැස්කර ගැනීමක් වෙයි. සමාජ සදාචාරය බිඳ දැමීමට කිසිවකුටත් අයිතියක් නැහැ. අන්‍යොන්‍ය බැඳීමෙන් එකිනෙකාට සලකමින්, ගරුකරමින් ජීවත්වීම සාර්ථක විවාහ සංස්ථාවක පදනම විය යුතුයි. එබඳු ආදර්ශවත් පවුල් සංස්ථාවක් තුළින් සමාජයට දායාද වන දරු පරපුර ද සමාජයේ වැදගත් පුරවැසියන් ලෙස තම වගකීම් ඉටුකරනු ලබයි. මවුපියන් සමගියෙන්, සමාදානයෙන් ධාර්මික ව ජීවත්වන විට එම ආදර්ශ තම දරුවන් ද ලබා ගැනීම තුළ ගුණවත්, නැණවත් සමාජයක සැනසිලිදායක සුවය සියලු දෙනාට ම භුක්ති විඳිය හැකි ය. සමබර පවුල් ජීව්තයේ ඇති වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

විවාහයේ දී ස්වාමිපුරුෂයාත්, බිරියත් අතර විශාල වයස් පරතරයක් පැවැතීම සමබර පවුල් සංස්ථාවකට ගැටලුකාරී බවක් උද්ගත වෙයි. පරාභව සූත්‍රයට අනුව වයෝවෘද්ධ තැනැත්තෙක් තිඹිරි ගෙඩිවන් පියයුරු ඇති යොවුන් දැරියක් විවාහ කර ගැනීම තුළ ඔහු මානසිකවත්, කායිකවත් පසුබෑමකට ලක්වනු ඇත.

ළාබාල සුකොමොල ළඳ බොළඳ දැරියක් තමාගේ වසඟයේ තබා ගැනීමට නොහැකි වනවා සේම ස්වභාවයෙන් ම ඇයගේ සිත වෙනත් පිරිමින් කරා ගමන් කළ හැකියි. වර්තමාන සමාජයේ ඇතැම් අවස්ථාවල මෙම ස්වභාවයන් දක්නට නැතුවාම නොවේ.

ඒවගේ ම කෙතරම් රාගික සිතුවිලි ඉස්මතු වුවත් ඊට අනුගතවී අන් කාන්තාවන් හා අන් පිරිමින් කරා යාම අනුමත කළ නොහැකියි. තමා තුළ ඇතිවන රාගික සිතුවිලි පාලනය කිරීමට නැතිනම් මර්දනය කිරීමට දෙපාර්ශ්වයට ම වගකීමක් පැවරෙනවා. එක් පාර්ශ්වයකට පමණක් එම සිතුවිලි ආවේණික නැහැ. එබඳු අවස්ථාවක ස්ත්‍රියකට මල්ලි, පුතා, පියා වශයෙන් සිතා අන් පුරුෂයකු කෙරේ ඇති වූ රාගික සිතුවිලි ගලා ඒම කිසියම් පාලනයකට නතු කර ගත හැකියි. පුරුෂයකුට ස්ත්‍රීන් කෙරේ ඇතිවන රාගික සිතිවිලි නැඟණිය, මව, දියනිය වශයෙන් සිතා හැඟීම්වල වසඟයට නොයා යුතුයි.

ඇතැම්විට තම පවුලේ තරම, හැකියාව, ශක්තිය නොදැන තීන්දු තීරණ ගැනීමෙන් බොහෝ පවුල් ජීවිත බිඳවැටීමට ලක්වෙයි. තමන්ට ලැබෙන ආදායම අනුව වියදම පාලනය කර ගැනීමට උත්සාහ නොකළහොත් දැඩි අසහනකාරී ස්වභාවයකට මුහුණදීමට සිදුවෙයි. තමන්ට ලැබෙන ආදායම කොටස් හතරකට බෙදා වියදම් කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොටසක් පරිභෝජනයටත්, තවත් කොටස් දෙකක් ආයෝජනයටත්, තවත් කොටසක් ආපදා තත්ත්වයකට පරිහරණය කිරීමටත් තබා ගත යුතු බවයි උන්වහන්සේ දේශනා කළේ. තමා ලබන වැටුපට අනුව අනවශ්‍ය දේවලින් ඈත්වී, තෘප්තිමත් ව සමබර ව කටයුතු කිරීමෙන් සොඳුරු පවුලක් නිර්මාණය කළ හැකියි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]