[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සියලු බෝසත්වරු බුද්ධත්වයට පත් වන්නේ කිසියම් සුවිශේෂී වූ ගසක් මුල වැඩ සිටිය දී ය. මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේ තුන් නම පිළිවෙළින් මහරී, දිඹුල්, නුග යන වෘක්ෂ මූලයන්හි වැඩ හිඳිමින් ලොව්තුරා බුදු බව පසක් කළ සේක. මේ මහා භද්‍ර කල්පයේ ම ලොව පහළ වූ අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසතු වෘක්ෂ මූලයේ වැඩ හිඳිමින් ලොව්තුරා බුදු බව පසක් කළ සේක.

සර්වඥතා ඤාණයට “බෝධි” යනුවෙන් කියනු ලැබේ. අප මහා බෝසතුන් ඇසතු ගසක් මුල වැඩ හිඳිමින් සර්වඥතා ඤාණය අවබෝධ කළේ ය. මේ නිසා ඒ ගස “බෝධීන් වහන්සේ” යන නමින් හඳුන්වනු ලැබේ. දසබිම්බරක් මර සෙනඟ පරාජයට පත් කළේ ඒ වෘක්ෂ මූලයේ දී බැවින් ඒ ගසට “ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ” යනුවෙන් ද කියනු ලැබේ.

ජය ශ්‍රී මහා බෝධිය ලෝකයට පහළ වූයේ මහ බෝසතුන් ලොව පහළ වෙනවාත් සමඟ ය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව මගධ දේශයේ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරය සමීපයේ පිහිටා ඇත. බෝධීන් වහන්සේ අසල නැඟෙනහිර දෙසින් වජ්‍රාසනය පිහිටා ඇත. සියලු බෝසත්වරු බුද්ධත්වයට පත් වන්නේ මේ ස්ථානයේ වැඩ සිටිමිනි. මහා බෝධීන් වහන්සේ පිහිටා ඇති මේ පෙදෙස අද “බුද්ධගයාව“ යනුවෙන් හඳුන්වනු ලැබේ. ලෝකවාසී කෝටි සංඛ්‍යාත බෞද්ධයින්ට බුද්ධගයාව තරම් ශුද්ධ වූ ස්ථානයක් මේ තුන් ලෝකයේ වෙන කො තැනක වත් නැත.

බුදුරදුන් බුදු බව ලැබූදා පටන් පුරා දින සතක් බෝධි මූලයේ සමවත් සුව විඳිමින් වැඩ සිටියහ. බුදුහු බුද්ධත්වයෙන් දෙවැනි සතියේ දී තමන් වහන්සේට බුදු බව ලබා ගැනීමේ දී සෙවන සැපයූ බෝධීන් වහන්සේට කළගුණ දැක්වීමට බෝධි මූලයට ඊසාන දෙසින් පිහිටි එක්තරා ස්ථානයක් වෙත වැඩම කොට පුරා සතියක් මුළුල්ලේ ඇසිපිය නො හෙළා බෝධීන් වහන්සේ දෙස බලා සිටි සේක. “අනිමිසලෝචන පූජාව“ නම් වෙයි.

මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කළ බැවින් ද, උන්වහන්සේගේ උපහාරයට ලක් වූ බැවින් ද, උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ පහස ලැබූ බැවින් ද බෝධීන් වහන්සේ පාරිභෝගික ධාතූන් වහන්සේ අතර අග්‍රස්ථානයේ වැඩ සිටිති.

අප මහා බෝසතුන් බුදු බවට පත්වීමේ දී පිට දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද එම ස්ථානයේ දක්නට නැතත් උන්වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව ශ්‍රී ලංකාද්වීපයේ වැඩ සිටිති.

ධර්මාශෝක මහාධිරාජයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය සියලු කටයුතු මැනවින් සම්පාදනය කළේ ය. එතුමා ගේ දියණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ මහා ශාඛාව ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කර වූ සේක.

දේවානම්පියතිස්ස මහ රජතුමා දඹකොල පටුනේ දී මහත් වූ ගෞරවයෙන් යුතු ව බෝධීන් වහන්සේ පිළිගෙන මහ පෙරහරකින් අනුරාධපුරයේ මහමෙව්නා උයනට වැඩම කරවා ගෙන ආවේ ය. මහ පෙරහර බෝධීන් වහන්සේ රෝපණය කිරීමට සකසා තිබූ ස්ථානයට පැමිණියේ ය.

එකල්හි බෝධීන් වහන්සේ අහසට පැන නැඟී බුදුරැස් විහිදුවා හිරු බැස ගිය කල්හි ලක් පොළොව මත පිහිටි සේක. එකෙණෙහි මහත් වූ භූමි කම්පාවක් හට ගත්තේ ය. මහා වැස්සක් ද ඇති විය. බුදුරදුන් ගේ අදිටනකට අනුව බෝධීන් වහන්සේ දින සතක් කිසිවකුට නො පෙනෙන සේ වළාගැබකින් වැසී තිබී ඒ දින සතට පසු සියලු දෙනාට ම පෙනෙන සේ බුදු රැස් විහිදුවමින් වැඩ සිටි සේක.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මහා ශාඛා පහෙන් බීජ පහක් හට ගත්තේ ය. නැඟෙනහිර ශාඛාවේ වූ පැසුණු බීජය මිහිඳු මහරහතන් වහන්සේ අතට පත් විය. තෙරණුවෝ ඒ බීජය රෝපණය කිරීමට රජතුමා අතට දුන්හ. රජු එය රන් බඳුනක රෝපණය කළේ ය.

ඒ බීජයෙන් බෝපැළ අටක් පහළ විය. ඒ බෝපැළ අටට “අෂ්ට ඵලරුහ බෝධි” යනුවෙන් කියනු ලැබේ. බෝ පැල අට ලංකාවේ ස්ථාන අටක රෝපණය කරනු ලැබීය. දඹකොල පටුන, තිවක්ක බමුණුගම, ථූපාරාමය, ඉසුරුමුනිය, පඨමක චේතිය, මිහින්තලය, සඳුන්ගම, කතරගම යනු එම ස්ථාන අටයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ඉතිරි ශාඛා හතරෙන් ද බීජ හතරක් ඇතිවිය. ඒ එක් බීජයකින් පැල අටක් ඇති විය. මුළු පැල ගණන තිස් දෙකකි. මේ බෝපැල තිස්දෙකට “දෙතිස් ඵලරුහ බෝධි” යනුවෙන් කියනු ලැබේ. දෙතිස් ඵලරුහ බෝධි ලංකාවේ ස්ථාන තිස්දෙකක රෝපණය කරනු ලැබීය.

මල් වැස්සා වෙහෙර, තන්ත්‍රිමාල වෙහෙර, මහා ජල්ලික ගම, කොට්ටියාරම, පොළොන්නරුව, මාතලේ රුසිගම, රුහුණේ, මාගම, විල්වල, මහියංගනය, විල්ගම් වෙහෙර, මුතියංගනය, බුත්තල හප්පෝරු වෙහෙර, සිතුල්පව් වෙහෙර, වනවාස වෙහෙර, වැලිගම් වෙහෙර, පරගොඩ, මැද්දේගම, ගණේගම, පුසුල්පිටිය, මායාරට වතුර, බෙලිගල, බෙල්ලන්විල, වඳුරව, වට්ටාරම රජ මහා වෙහෙර, සුළුගල්ල, රැස්වෙහෙර, කටියාව, ගිරිබා වෙහෙර, යාපහුවේ සුන්දරගිරි විහාරය, කසාගලු වෙහෙර, ඇඹලව රහත්ගල් වෙහෙර යනු එම ස්ථාන තිස්දෙක යි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන මේ සියලු බෝධීන් වහන්සේ ද, මේ බෝධීන් වහන්සේ ගෙන් පැවත ගෙන එය සියලු බෝධීන් වහන්සේ ද පාරිභෝගික ධාතුන් වහන්සේ ලෙස සැදැහැතියන් ගේ මහත් වූ වන්දනාවට හා ගෞරවාදරයට පත්ව ඇත.

බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]