[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැනසීම වනසන සිතිවිලි පාලනයට මඟ

සැනසීම වනසන සිතිවිලි පාලනයට මඟ

පුද්ගල චිත්ත සන්තානය තුළ පවතින මානසික ගැටලු අතර උද්වේගකර අවස්ථාවක් ලෙස පීඩනය හැඳීන්විය හැක. ලෝකය දිනෙන් දින සංකීර්ණ වේ. පුද්ගලයා විසින් සිය ජීවිතය තුළ මුහුණ දිය යුතු දෛනික කාර්යයන් හේතුවෙන් කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරනු ලබයි.

ඒ තුළ අත්විඳින ගැටලු ප්‍රමාණය හා ජයග්‍රහණය කළ යුතු ජීවිත අරගලය මහා සයුර තරම් ය. ඒ අතර අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය, පවුල් ජීවිතය, සෞඛ්‍ය, ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික ආදී ජීවන රටාවන්හි විවිධ අවස්ථා අනුව මතුවන බාහිර උත්තේජකයන්ට මුහුණ දීමට සිදු වේ. ඒ හරහා ඇති වන උද්වේගකාරී ස්වභාවයන්ට පුද්ගලයා ප්‍රතිචාර දැක්වීම නිසා හටගන්නා වූ අසමතුලිතතා හේතුවෙන් පුද්ගල චිත්ත සන්තානය තුළ විශාල මනසික පීඩාකාරී තත්ත්වයන් උද්ගත වනු දැකිය හැකි ය. සත්ත්වයාගේ උපතේ සිට මරණය දක්වා පවත්නා මෙම තත්ත්වය මානසික පීඩනය යැයි සරලව ම හඳුනාගත හැකි ය.

මේ පිළිබඳ අධ්‍යයනය කළ නූතන මනෝවිද්‍යාත්මක පර්යේෂණ හා බෞද්ධ මූලාශ්‍ර ගත සූත්‍ර දේශනා බහුල ව ඇත. බටහිර මනෝවිද්‍යවට අනුව මානසික පීඩනය සඳහා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ Pressure යන පදය යි. ඒ සඳහා සුචරිත ගම්ලත් මහතා ලබා දෙන නිර්වචන වනුයේ පීඩාව, පීඩනය, බලය, තෙරපීම, අපහසුව, දුෂ්කරතාව, බලපෑම, බරපතළකම යන්නයි. ටිම්. හින්ඩලේ (T. Hindle) මහතාගේ නිර්වචනයට අනුව පීඩනය විස්තර කරන්නේ “පීඩනය යනු අපට නො පෙනෙන රෝගයකි. එම රෝගයට සෑම සාමාජිකයකු ම යටත් වේ. කිසිවකුට එම රෝගය නොසලකා හැරිය නොහැකි ය” යනුවෙනි.

එමෙන්ම පීඩනය පිළිබඳ අදහස් දක්වන උගතුන් විසින් ධනාත්මක පීඩනය හා ඍණාත්මක පීඩනය වශයෙන් අංශ දෙකක් ඇති බව පෙන්වා දී ඇත. සමස්ත නූතන විද්වතුන්ගේ පොදු මතය වී ඇත්තේ ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ යනාදී සියලු ප්‍රජාවට භේදයකින් තොරව පීඩනය යන පොදු සාධකයට ගොදුරු වීමට සිදුවන බව යි.

පීඩනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී බුදු දහම දක්වන අදහස පිළිබඳ අවධානය යෙමු කිරීම ඉතා වැදගත් කරුණක් බව පෙනී යයි. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ, රෝග සූත්‍රයේ දී දේශනා කරනු ලබන්නේ “ දිස්සන්ති භික්ඛවේ සත්තා කායිකෙන රොගෙන එකම්පි වස්සං ආරොග්‍යං පටිජානමානා ද්වෙපි වස්සසානි ආරොග්‍යං පටිජානමානා.....” යනුවෙනි.

එයින් දේශනා කරනු ලබන්නේ පුද්ගලයා තුළ හටගන්නා රෝගයෝ දෙදෙනෙක් වන බවයි. එනම් කායික රෝග හා මානසික රෝග යන්නයි. එහිදී විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ පුද්ගලයකුට අවුරුදු සියයක් කායික ව නිරෝගී ව සිටිය හැකි වුවත්, එක් මොහොතක් වත් මනස රෝගී නොවී තබා ගැනීමට නොහැකි බව යි. මනස නිරෝගී ව තබා ගැනීමට හැකියාව ඇත්තේ කෙලෙස් ප්‍රහීණ කළ උතුමන්ට පමණි.

එලෙස ඇති වන මානසික රෝගයන් ප්‍රමාණය කළ නොහැකි අතර ඉන් මිනිසා වැඩි වශයෙන් පෙලෙන මානසික ව්‍යාධියක් වනුයේ “මානසික පීඩනය යි”.

මිනිසා සමාජ සැකැස්ම තුළ දෛනික ව ගමන් කරන විට විවිධ පීඩාවන්ට ලක්වේ. අග්ගිවාසො ඝරාවාසො සම්බෝධායං ඝාරාවසො යනා දී වශයෙන් දේශනා කර ඇති ආකාරයට ගිහි ගෙදර ගිනි ගෙයක් සේ ද, සම්බාධක සහිත තැනක් වශයෙන් ද දක්වා තිබේ. එලෙස ගිනි ගොඩක් සේ වූ සම්බාධක සහිත වූ තැන ඇත්තේ පීඩාවකි. එනම් අප විසින් සිදු කරන කුටුම්භ රක්‍ෂණය හරහා අපට හිමි වනුයේ පීඩාවක් මිස සැනසීමක් නොවේ.

එමෙන් ම පවුල් පරිසරය තුළ දී අන්‍යොන්‍ය යුතුකම් හා වගකීම් සමුදායකට මැදිවෙන පුද්ගලයා එම වගකීම් හා වගවීම් හමුවේ දැඩි මානසීක පීඩාවකට නතු වේ. එය වත්මන් සමාජයේ උද්ගත ව ඇති ආර්ථික හා සාමාජීය කරුණූ හරහා මනාව පසක් කර ගත හැක.

පවුල් සංස්ථාවක් තුළ දී ස්වාමියා සහ බිරිඳගේ චර්යාමය පැවැත්ම අනුව තමන්ගේ පවුල තුළ සතුට හා සාමය රඳා පවතියි. සමාජය දෙස බලන විට විවිධ ස්වභාවයේ විවාහ සබඳතා දැක ගත හැකි වන අතර එවැනි පවුල් සංස්ථාවල දැකිය හැකි ලක්‍ෂණ කිහිපයක් වන්නේ ඉතා සතුටින් ජීවත් වන පවුල්, ගැටලු සහිත ව වාසය කරන පවුල්, දික්කසාදයෙන් අවසන් වන විවාහයන් සහිත පවුල් යනාදි ය යි. ඉන් ඉතා සතුටින් ජීවත් වන පවුල් හැර අනෙක් සියලු ආකාරයේ පවුල් සංස්ථාවන් තුළ විවිධ ගැටලු පදනම් කර ගෙන මානසික පීඩනය අඩු වැඩි වශයෙන් ඇති වන බව පැහැදිලි වේ.

ඉහත කරුණු සලකා බලන විට ඇති වන යම් යම් ගැටලු සහගත පීඩාකාරී මානසික ස්වභාවයන්ගෙන් මිදීමට අනුගමනය කළ හැකි පොදු කරුණු කිහිපයක් සංක්‍ෂිප්ත කර දැක්වීම ඉතා ප්‍රයෝජනවත් වේ. එම කරුණු වශයෙන් අන්‍යොන්‍ය අවබෝධය, ආදරය, විෂමචාරයෙන් තොර වීම, විශ්වාසය, ආත්ම ගරුත්වය, දූ දරුවන්, සමානාත්මතාව, එකිනෙකා අගය කිරීම, ආර්ථික තත්ත්වය, ලිංගික ක්‍රියාවලිය යන කරුණු පිළිබඳ ව මනා අවබෝධයකින් සමබර අවධානයක් එක් එක් කරුණ පිළිබඳ ව ලබා දී නිරන්තරයෙන් එළැඹසිටි සිහියෙන් යුතු ව කටයුතු කරන්නේ නම් මානසික පීඩාව සමනය කොට ගෙන මානසික සැනසීම අත් කර ගත හැකි ය.

පවුල් සංස්ථාවෙන් මෙපිටට පැමිණ බලන විට කුඩා අවදියේ සිට එනම් අධ්‍යාපනය ලබන අවදියේ සිට දරුවන් තරගකාරී අධ්‍යාපන රටාව තුළින් පීඩාවට පත් වේ. තම අධ්‍යාපනික ජීවිතය සාර්ථක කර ගැනීමට දරන වෙහෙස කෙතරම් ද යන්න පැහැදිලි වන්නේ විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබන දරුවන් ඇතැම් අවස්ථාවන්හී දි ඉච්ඡා භංගත්වයට පත් වීම හමුවේ සිය දිවි නසා ගැනීමට පවා පෙළඹීම තුළිනි. එයට මූලික වශයෙන් හේතු වනුයේ ඉච්ඡාභංගත්වය හරහා ඇති වන අධික මානසික පීඩාවයි.

මානසික පීඩාව පිළිබඳ කරුණු විමසීමේ දී එක් එක් සමාජ කණ්ඩායම් මෙන් ම, තනි පුද්ගලානුබද්ද වශයෙන් ද පීඩනය යන මානසික තත්ත්වය ඇති විය හැක. එවැනි එක් වැදගත් කරුණක් වශයෙන් පෙන්වාදිය හැක්කේ කාන්තාවට නිරායාසයෙන් අත්විඳීමට සිදු වන කරුණු කිහිපයක් පිළිබඳ සංයුත්ත නිකායේ ආවේණික දුක්ඛ සූත්‍රය තුළ දී පෙන්වා දී තිබේ. එනම්

විවාහවීම හේතුවෙන් තරුණ අවධියේ ම තම නෑදෑයන්ගෙන් ඈත් වීම, ස්වාමියාගේ නිවෙසට යාමට සිදු වීම,ඔසප් ඇති වීම, ගර්භණී වීම, සැමියාට උපස්ථාන කිරීම යන කරුණු යි.

මෙම කරුණු දෙස බැලීමේ දී සමාජ, සංස්කෘතික වශයෙන් කාන්තාවට පැවරී ඇති මෙම තත්ත්වය හේතුවෙන් කාන්තාව මානසික වශයෙන් විශාල පීඩනයකට මුහුණ දෙයි.

ඇයට එම පීඩාකාරී ස්වභාවයෙන් මිදීමට හැකියාව ලැබෙන්නේ ස්වාමියාගෙත් සහ පවුලේ අනෙක් අයගෙන් ලැබෙන සහයෝගය මත ය. ඒ තුළ කාන්තාවට මානසික සහනශීලිත්වයක් නිතැතින් ම ලබා ගත හැකි ය.

“අන්තොජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං”

යන සංයුත්ත නිකායේ, ජටා සූත්‍රයේ පෙන්වා දෙන පරිදි මිනිසා ඇතුළතින් හා පිටතින් යන දෙඅංශයෙන් ම ගැටලුවලට මුහුණ දෙයි. එම ගැටලුවලින් අත්මිදීම සිදු කරන්නේ කෙසේ ද යන්න බුදු දහම තුළ දී ප්‍රශ්න කරයි. ඒ තුළ දී මිනිසාට ඇති වන මානසික පීඩාවන් ලෞකික හා ලෝකෝත්ර වශයෙන් නිරාකරණය කර ගැනීමට උපකාරී වන මාර්ගය පෙන්වා දී තිබේ.

මෙලෙස මිනිසා ගැටලු සමුදායක් තුළ සිරවී සිටින විට ඔහුට දැනෙනුයේ අසීමිත පීඩාකාරී තත්ත්වයකි. එයින් අත්මිදී සැනසිල්ලක් භුක්ති විදීමට නම් ඉටු කළ යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් කරුණකි.

පීඩනය යන මානසික අක්‍රමිකතාව පිළිබඳ සාච්ඡා කිරීමේ දී පැහැදිලි වශයෙන් පෙනෙන කරුණක් වන්නේ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ඇති වන මානිසික පීඩනය යි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ධම්මික වග්ගයේ ඉණ සූත්‍රයේ දී “දාළිද්දියං භික්ඛවේ දුක්ඛං ලොකස්මිං කාමභොගිනො” යනුවෙන් දක්වා තිබේ. දිළිඳුකම කාමභෝගි ගිහියාට බලවත් දුකකි යනුවෙන් එම සූත්‍ර පාඨයෙන් දේශනා කර තිබේ. එවිට ණය වීම (ඉණං) ණය ගෙවීම (ඉණ දානම්පි) පොළිය වැඩි වීම (වඩ්ඪි) චෝදනාවට ලක් වීම (චොදනා) ලුහු බැඳීම (අන්චරිය) සිරගත කිරීම (බන්ධනං) ආදී පීඩා එකිනෙකට හේතු ප්‍රත්‍ය ව ජනිත වීම සිදු වේ. එබැවින් කාමභෝගී ගිහියා විසින් අවශ්‍යයෙන් ම ධනය ධාර්මික ව ඉපයීම කළ යුතු ය යන්න බෞද්ධ ආකල්පය යි.

ඉහත දක්වන ලද කරුණුවලට අමතර ව පොදුවේ දැකිය හැකි දඬුවම, හිංසනය, අපරාධ, කෝළාහල වැනි දෑ පෙන්වා දිය හැක. එය පහත ධම්මපද ගාථාවෙන් පැහැදිලි වේ.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමංකත්වා
න හනෙය්‍ය න ඝාතයෙ

මෙයින් දේශනා කර තිබෙන්නේ සියලු සත්වයින් දඬුවමට හා මරණයට බිය වන අතර, තමා ද දඩුවමට හා මරණයට බිය වේ. ඒ නිසාවෙන් තමා උපමා කොට ගෙන අනෙක් මිනිසුන්ට හිංසා පීඩා නොකර වාසය කිරීම ඉතා අගනා ක්‍රියාවක් වන්නා සේ ම තව පුද්ගලයකු මානසික පීඩාවෙන් වලකා ගෙන සැනසිලිදායක සුවයක් අත්පත් කර දීමට හේතුවක් වේ.

මෙම සියලු ම කරුණු දෙස සලකා බැලීමේ දී පැහැදිලි වන කරුණ වන්නේ මානසික පීඩාව තමන් ජීවත් වන පරිසරයේ ම විවිධ පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ නිසාවෙන් සහ තමාට පෞද්ගලික ව අත් විඳීමට සිදුවන කරුණු පදනම් කර ගෙන ඇති වන බවයි. එම මානසික පීඩාවෙන් මිදී මානසික සැනසිලිදායක තත්ත්වයක් ඇති කර ගැනීම අපගේ බවගාමී ජීවිතය සාර්ථක කර ගෙන අවසානයේ දී උතුම් වූ නිවන පසක් කර ගැනීමට හේතු පාදක වේ.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]