[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහම දායාද කර ගැනීමේ අනුසස්

දහම දායාද කර ගැනීමේ අනුසස්

මෙලොව සුව සේ නො විසූ කිසිවකුගේ ජීවිතය පරලොව දී යහපත් නො වන්නේ ම ය. එසේම යමකු ධර්මයට අනුගත ව මෙලොව සුව ජීවිතයක් ගත කරන්නේ ද ඒකාන්තයෙන් ඔහු පරලොව ද දිනන්නේ ම ය.

වරක් ගෝව්‍රත සමාදාන කළ කෝලිය පුත්‍ර පුණ්ණ හා සුනඛ ව්‍රත සමාදාන වූ අචේලක සේනිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවට එළිඹයහ. එළඹැ සතුට දනවන සිහි කටයුතු කථා නිමවා ඔවුන්ගේ පරලොව උපත් කවරක් වන්නේ දැ’යි පිළිවිසුවෝ ය.

එයට පිළිතුරු දීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළ භාග්‍යවතුන් වහන්සේ අනතුරුව “තොපගේ ඉල්ලීම ඒ ආකාරයෙන් ම ඉටු නො කරතත් මම මෙසේ කියමි. පුණ්ණය, මෙලොව යමෙක් සුනඛයකු සේ නිරතුරු ව හැසිරෙත් ද? සුනඛ සිල් නිරතුරු කොට වඩයි ද? සුනඛයකු සේ නිරතුරු සිතයි ද? ඒ සුනඛ ආකල්ප අනූන කොට වැඩීම හේතුවෙන් කය බිඳී මරණෙන් මතු සුනඛයන්ගේ සහභාවයට ම ඔහු පැමිණෙන්නේ හි ය.

එහෙත් ඔහුට මෙවන් දෘෂ්ටියක් විය හැකි ය. “මම ඒ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹුන් අතර බ්‍රහ්මයෙක් වෙම්වා හෝ දෙවියන් අතර අන්‍යතර දෙවියෙක් ම හෝ වෙම්වා’යි යම් දෘෂ්ටියක් වෙයි ද එය (කිසිදා නො වන) මිථ්‍යා දෘෂ්ටියක් ම වෙයි.

පුණ්ණය, මම එවන් මිථ්‍යා දෘෂ්ටිකයකු හට ඇතිවන ගති දෙකක් කියමි. ඒ නිරය හෝ තිරිසන් යෝනි උප්පත්තීන් ය. මෙයින් එක්තරා ගතියක් ඔවුනට ලැබේ.” මෙම සූත්‍රයේ ගෝ ව්‍රත සමාදාන පිළිබඳ දේශනාව ද මෙසේ ම විය. (ම.නි.2. කුක්කරවතිය සූත්‍රය)

මෙසෙයින් ම ඉහත කී පරිදි යමකුගේ මෙලොව චරියාව යම් පරිදි වේ ද, එයට අනුශාංගික වූ විපාක ලබාදීමේ උපතක් මතු බවයේ දී වන්නේ ම ය, යනු ඉහත සූත්‍ර සාරාංශයේ අදහස යි.

අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර ද අප ධර්මයේ ද සඳහන් වන එකොළොස් කාම භවයෝ ද, සොළොස් රූපී බඹ තල ද, චතුක්ක අරූපී බ්‍රහ්ම ලෝක ද යන එක් තිස් ලෝක, විශ්වයේ තිබුණාහු ය. එනමුත් ඒ කිසිදු භවයක නො ඇලුනු, නො ගැටුනු හා නො මුළාවුනු අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ස්වයම්බු ඥානයෙන් අවබෝධ කොට වදාළ ධර්මය පරිදි මෙලොව ජීවිතය විහරණය කළ හෙයින් පිරිනිවී වදාළ පසු පුනර්භවයකට නො පිවිසි සේක. මේ බුද්ධත්වයේ ලක්ෂණයකි. එතකුදු නොව බුද්ධ ශ්‍රාවක අරහත් ඵලලාභී කිසිදු ඖරස බුද්ධ පුත්‍රයන්හු ද පිරිනිවීමෙන් පසු පුනර්භවයක නො ඉපදුනාහු ය. නො ඉපදෙන්නේ ය. ඒ චතුස්සත්‍යාවබෝධය හේතුවෙනි. නිරවශේෂ කොට තෘෂ්ණාව දුරලීමේ හේතුවෙනි. මේ උතුමෝ තමා ලැබූ මෙලොව ජීවිතය බුද්ධ වචනයට අනුගත කිරීම එයට හේතු විය. මේ සියලු උතුමෝ අප මෙන් මේ මනුලොව මනුෂ්‍ය ආත්මභාව ලැබුවෝ ය.

දිනක් මසුරු තෝදෙය්‍ය පුත් “සුභ” නම් තරුණ මානවකයා තථාගත බුදුරජාණන් වහන්සේ හමුව

“භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ හීන ප්‍රණීත (උස් පහත්) බවක් දක්නා ලැබෙයි. ස්වාමීනි, ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේදැ’යි විමසීය. “භවත් ගෞතමයන් වහන්ස, මනුෂ්‍යයෝ සමහරු අල්පායුෂ්ක ය. දීර්ඝායුෂ්කයෝ වශයෙන් ද දක්නා ලැබෙති. සමහරු බොහෝ ආබාධ ඇත්තාහු ය. තවත් සමහරු අල්පබාධයෝ ලෙසින් දක්නා ලැබෙති. ස්වාමීනි, සමහරු දුර්වර්ණයෝ ය. (අරූපවත් ය) වර්ණවත් (රූපත්) වූවාහු ද දක්නා ලැබෙති. අල්පේශාක්‍ය (තේජස් අඩු) මහේශාක්‍ය (මහ තේජස් ඇති) අය ද දක්නා ලැබෙති. අල්පභෝග (සම්පත් අඩු දුකට පත් අය ) වූවන් දක්නා ලැබෙති. මහත් සම්පත් ඇත්තෝ ද (ධනවත් අය) දක්නා ලැබෙති. කුල වශයෙන් සම්මත පහත් කුල ඇත්තෝ ද, උසස් කුල ඇත්තෝ ද දක්නා ලැබෙති. සමහරු දුෂ්ප්‍රාඥයෝ ය (අනුවණයෝ ය) තවත් සමහරු ප්‍රාඥයෝ ය. (නුවණැතියෝ ය)” මෙසේ තුදුසක් ප්‍රශ්න සුභ මානවකයා ඉදිරිපත් කළේය.

ඒවාට පිළිතුර වදාළ බුදුරජාණන් වහන්සේ “මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාදය කොට ඇත්තාහ. කර්මය යෝනි කොට, කර්මය බන්දු කොට, කර්මය පිළිසරණ කොට (කම්ම පටිසරණ උපත ලබන්නාහ. මේ කර්මය ම සත්ත්වයන් උසස් පහත් ලෙසින් බෙදන්නේ වෙයි. (ම.නි. 3 - චුළකම්ම විභංග සූත්‍රය)

මෙසේ එක්තිස් සත්ත්ව ලෝකයන්ගෙන් කවරක හෝ උප්පත්ති ගති ඇති සත්ත්වයා ඒ තන්හි ප්‍රතිසන්දිය ලබන්නේ ඉකුත්හි තමා විසින් කළ කර්මයන්ගේ විපාක විඳීමට බව එම සූත්‍ර සාරයෙන් ද තේරුම් යයි. මෙසේ කර්මයම දායාද කොට ඒ ඒ ගති ඇති තැන්හි උපදින සත්ත්වයා අතුරින් මනුලොව උත්පත්ති ලබන මිනිසුන්ගේ විශේෂත්වයක් තිබෙන බව බුද්ධ දේශනාව ගැඹුරින් හදාරන විට දැනේ. එකී විශේෂත්වය නම් තමාගේ උත්පත්ති කර්මයන් මේ ජීවිතය තුළ දී ම වෙනස් කර ගැනීමේ ශක්තිය වෙන කවරකුටත් වඩා මිනිසුන් සතුව තිබෙන බවට ථෙර – ථෙරිගාථා ආදී සූත්‍ර පිටක ගත බොහෝ සූත්‍ර දේශනාවලින් පෙනීය යි.

යම් මිනිසකු තමා ලැබූ මේ ජීවිතයෙහි ලෞකික සම්මා දිට්ඨියෙහි පිහිටා මනුෂ්‍ය ධර්ම තුළ හැසිරෙන්නේ ද (දස පුණ්‍ය ක්‍රියා හා දස කුසලයෙහි හැසිරේ ද) ඔහු උත්තරීතර මනුෂ්‍යත්වයට සුදුසුකම් ලබන්නේ ය. ඔහු එතැන් සිට ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි පිහිටා ලෝකෝත්තර සමාධිය තුළින් ප්‍රඥාව උපදවා සතරමඟ - සතර ඵල හා අනුත්තර නිවනට ඉහාත්මයේ දී ම (මේ ආත්ම භාවයේ දී ම) පත්වන්නේ තමන්ගේ උත්පත්ති විපාක කර්ම වෙනස් කරගත් හෙයිනි.

මේ ඉහත ආත්මයේ දී ධර්මයේ හැසිරීමේ ඵලය යි. ඉදිරිපත් කළ හැකි ආසන්නතම ප්‍රසිද්ධ චරිතය වනුයේ අංගුලිමාල අපදානය යි.

මැදින් පුර අටවක

 මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]