මැදින් පුර අටවක පෝ දා
2025-03-06
සංවේදී සිත් ඕනෑ
මව්පිය හදවතෙහි තම දරුවන් කෙරෙහි වන දාරක ස්නේහය අප්‍රමාණ ය. සම කළ නොහැකි ය.
ප්‍රාණය හා සරි කොට ඔවුහු දරුවන් රකිති. අපමණ බලාපොරොත්තු උසුලති. තමන්ගේ කුසට
නොවැටෙන දෙයින් දරුවන්ගේ කුස පුරවති. තමන් සිටින තැනට වඩා අඩියක් හෝ ඉදිරියෙන්
සිටිනු දැකීම කැමැති ව දරුවන්ට ශිල්ප දෙති.
අතීතයේ ද මවුපියෝ දරුවන්ට අප්‍රමාණ ව ස්නේහය දැක්වූහ. අද මෙන් එදා ද ඔවුහු දරුවන්ගේ
මතු අනාගතය පිළිබඳ සුබ සිහින දුටහ. සුබ සිද්ධිය ප්‍රාර්ථනා කළහ. එහෙත් අද මෙන්
ශිල්ප ලබා දීමට පමණක් ප්‍රමුඛතාව දුන්නේ නැත. මොනතරම් ධනස්කන්ධයක් හරි හම්බ කර
ගන්නට මඟ පාදා දුන්නත් ඔවුහු තම දරුවන්ට මේ මහ පොළොවේ පය ගසා ජීවත්වන්නට, තමන්
හදාවඩාගත් මව්පියන්ට, නෑදෑ හිත මිතුරන්ට, අසල්වැසියන්ට, ගමට, රටට, පරිසරයට සංවේදී
වන්නට ඇවැසි මඟ පෙන්වීම ලබා දුන්හ.
ඒ සඳහා ඔවුන් තෝරාගත් මාර්ගය ගුණධර්ම දායාදය යි. පාපයෙහි නොකැමැති ව, පිනෙහි කැමැති
ව ගෙවන ජීවිතයේ උදාරත්වය ඔවුහු තම දරුවන්ට ආදර්ශයෙන් ම දායාද කළහ. නැණ සමඟ ම ගුණය ද
අමතක නොකිරීමේ මහත් පල අපේ අතීත සමාජය මැනවින් භුක්ති වින්දහ. ඔවුන් බිහි කළ
පරම්පරාව මිනිසාට ගරු කළහ. දුකේ දී, සැපේ දී පිහිට වූහ. මව්පියන්ට සැලකූහ. උපන් ගමට
රටට යුතුකම් ඉටුකළහ. පරිසරය සුරක්ෂිත කළහ. අනාගත පරපුරට අභිමානවත් රටක් උරුම කර
දුන්හ.
ඒ අපූර්වත්වයේ මිහිර අද ද අපි භුක්ති විඳිමු. එහෙත් මතු පරපුරටත් ඒ අදීනත්වය,
අභිමානය භුක්ති විඳින්නට ඉඩ ලැබේ ද යන්න ගැටලුවක් වන්නේ වත්මන් සමාජයේ චර්යා රටාවන්
පිළිබඳ විමසීමේ දී ය.
මුදල් පසුපස ම දුවන සමාජයක, ශිල්පය හැදෑරීම උසස් රැකියාවක් පරමාර්ථ කොට ගැනීම තුළ
ළමා පරපුර වෙතින් ගුණ ධර්ම ඈත් වෙමින් තිබේ. පොත පතින් මිදෙන සුළු වේලාව වුව ද
තාක්ෂණික මෙවලම් තුළ සිරවෙමින්, එයට ඇබ්බැහිවීම තුළ හැඟීම් විරහිත සමාජයක් නිර්මාණය
වෙමින් තිබේ. ඒ තුළ මව්පිය දූ දරු බැඳීම, සහෝදර සහෝදරියන් අතර ආදරය, රැකවරණය, කලණ
මිතුදම් බිඳවැටෙමින් තිබේ. හුදකලා ලෝකයක අතරමංවීම, බුද්ධියට මිස හදවතට ඉඩ නොදෙන
සමාජයක් බිහිවීම වේගවත් වෙමින් තිබේ. එහි අවසානය ඉතා දුක්ඛිත ය. එවැනි අනුවේදනීය
අවස්ථාවන්ට අද ද අපි මුහුණ දෙමු.
බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී පතක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට
සිංහල ජන කවිය තුළ මේ ඉස්මතු කෙරෙන්නේ ද මව්පිය දූ දරු සබඳතාවේ හිඩැසයි. බුද්ධියත්
සංවේදීබවත් යන කාරණා දෙකම මෙහි අපූරුවට සාකච්ඡා කෙරේ. ගුණදම් පිරිහුණු තැන සමාජයක
මීටත් වඩා අනුවේදනීය දෙය සිදුවිය හැකි ය. එහෙයින් හදවතත් බුද්ධියත් යා කරන ශක්තිමත්
පාලමක අවශ්‍යතාව මානව සංවර්ධනයෙහි ලා අත්‍යවශ්‍ය ව තිබේ. |