[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවීමේ සතුටට කියූ උදාන

නිවීමේ සතුටට කියූ උදාන

දැන් මෙැතන රැස්වුණ, පින්වත් ඥාතිවරුනි, මා කියන දේ අහන්න. මම සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය කියා දෙන්නෙමි. ආයෙ ආයෙමත් ඉපදෙන්නට සිදුවීම නම් දුකක් ම යි. ඒ නිසා වීරිය කරන්න. කම්මැළිකමෙන් මිදෙන්න. බුදු රදුන්ගේ අනුශාසනාව අනුගමනය කරන්න. බට පතුරුවලින් කළ ගෙයක් සුනු විසුණු කර දමන ඇත් රජෙක් වගේ. මාර සේනාව නැති කර දමන්න.

යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදී ව හැසිරුනොත් ඉපදෙන මැරෙන සංසාරය අතහැර සියලු දුක් නිමා කරන්නට ඔහුට පුළුවන්.

අභිභූත මහරහතන් වහන්සේ

****

ඉස්සෙල්ලා ම කරන්න ඕනැ දේ කල් දාල, ඒක පස්සෙ කරන්න නම් හිතාගෙන ඉන්නෙ, එයා ලබන්නට තියෙන සැපයෙන් පිරිහී යනවා. පස්සෙ ලැබෙන්නේ ශෝකය විතරයි.

යම් දෙයක් කරනවා නම් අන්න ඒ ගැන විතරයි කිව යුත්තේ. නො කරන දේ කියන්නට ඕනෑ නැහැ. නොකරන දේ කියා කියා ඉන්න උදවියට බුද්ධිමතුන් ප්‍රශංසා කරන්නේ නැහැ.

සම්බුදු රජාණන් වහන්සේ වදාළ ඒ අමා නිවන ඒකාන්තයෙන් ම සැපයෙකි. එතැන තමයි හැම දුකක් ම නැති වෙන තැන. එතන තමයි ශෝක රහිත තැන. කෙලෙස් රහිත තැන, කරදර නැති තැන.

හාරිත මහරහතන් වහන්සේ

****

හොඳ නරක තෝරා ගැනීමට නුවණ ඇතියෙමි. එහෙත් මා ද ලෝකයා මෝහනයට පත් කළ පංචකාම ගුණයන් නිසා පහළට ඇද වැටුණා.

මේ පංචකාම කියන්නේ, මාරයා විසින් සත්වයා ගොදුරු කර ගන්නා තැන. ඉතින් මමත් මේ පංචකාමයට ගොදුරු වුණා. රාගය නමැති හුලෙන් පහර කෑවා. එහෙත් අන්තිමේ දී මට පුළුවන් වුණා මාරයාගේ උගුලෙන් නිදහස් වන්නට.

හැම කාම ආශාවක් ම මම නැති කරලා දැම්මා. හැම භවයක් ම නසා දැම්මා. උපත සලසන සංසාරය මෙතැනින් ඉවරයි. දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් නැහැ.

උත්තරපාල මහරහතන් වහන්සේ

****

මම හිටියේ හරිම නිදිමතෙන්. කුටියෙන් එළියට ආවෙත් නිදිමතේම යි. සක්මන් කරන්නට හිතාගෙන සක්මනට ගොඩවෙද්දී, එතැනම ඇදගෙන වැටුණා. මම ආයෙමත් නැඟිට්ටා. අත් පාවල වැලි පිසදැම්මා. සක්මනට ගොඩවුණා. හිත හදාගෙන සක්මන් කළා. මනා කොට සිත එකඟ කර ගත්තා. ඒ තුළින් ම යෝනිසෝමනසිකාරය ඇති වුණා. ප්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදිනව ම යි. අවබෝධයෙන් යුතුව ම කලකිරීමෙහි සිත පිහිටියා. මගේ සිත එනිසා ම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. මාද ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.

භගු මහරහතන් වහන්සේ

****

මේ ශරීරයේ පිරිලා තියෙන්නේ අසූචි. හමන්නේ දුගඳ. ඉන්නේ මාරයාගේ පැත්තේ. කෙලෙස් වෑහෙන තැනැත්තිය, ඔබට නින්දා වේවා. ඔබේ ඔය ශරීරයේ තිබෙන්නේ දොරටු නවයක්. ඒ හැම දොරටුවකින් ම අසූචි වැගිරෙනවා. ඉස්සර විදියට විහිළුවට ගන්නට එපා. තථාගත ශ්‍රාවකයින් හා ගැටෙන්න එපා. උන්වහන්සේගේ සිත් තුළ දිව්‍ය සැපයටවත් ආශාවක් නෑ. මිනිස් සැපයට නො ඇලීම ගැන කවර කතා ද?

නුවණක් නැති ව, වැරැදි විදියට හිතන, මුළාවෙන් වැඩී ගිය බොළඳ ජනයාට නම් ඔය දේ හොඳයි. මාරයාගේ උගුලට ඒ අය හසුවෙලයි ඉන්නේ. ඒ වුණාට රාගයත්, ද්වේශයත්, අවිද්‍යාවත් නැති කරල දාපු, කම්පා නො වන සිතක් තියෙන උදවිය එහෙම නොවෙයි. තණ්හාව නමැති වරපට කඩා බිඳදමා තියෙන නිසා ඒ උදවිය කාමයට ඇලෙන්නේ නෑ.

නන්දක මහරහතන් වහන්සේ

****

සංසාරේ සැරි සරද්දී ආයෙ ආයෙමත් නිරයේ ඉපදුණා. පේ‍්‍රත ලෝකයේ ඉපදුණා, තිරිසන් ලෝකයේ ඉපදුණා. බොහෝ කලක් මුළුල්ලේ අනන්ත දුක් දොම්නස් වින්දා.

ඔය අතරෙ වරින්වර මිනිස් ලෝකයටත් ආවා. දෙව් ලොවත් ඉපදුණා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නේවසංඥානාසංඥා ලෝකයේ, අසංඥතලයේ ඉපිදිලා කාලය ගෙවී ගියා.

මම දැන් දන්නවා. මේ සංස්කාරයන්ගේ හට ගැනීම හරසුන් දෙයක බව. සකස් වෙන හැම දෙයක් ම ස්වභාවය නැසී වැනසී යාමයි. තමා වශයෙන් සිතාගෙන සිටින, සකස් වෙන දේ නුවණින් අවබෝධ කර ගත්තා. මනාව සිහිය පිහිටුවා ගත්තා. ශාන්ත නිවන සාක්ෂාත් කළා.

ගෝතම මහරහතන් වහන්සේ

****

අපි කවුරුත් මැරෙන උදවිය බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. එහෙත් යම් කෙනෙක් තේරුම් ගත්තොත් තමනුන් මැරෙන බව එනිසා ම මේ කෝලාහල සංසිඳෙනවා. මේ ඇත්ත තත්ත්වය දන්නෙ නැති උදවිය කල් ගෙවන්නේ නො මැරෙන අය හැටියට හිතාගෙන යි. එහෙත් යමෙක් මේ යථාර්ථය දන්නවා නම් කෙලෙසුන්ගෙන් රෝගී වෙච්ච සමාජය තුළ එයා නීරෝගි ව සිටිනවා.

බොළඳ වැඩපිළිවෙළකින්, කිලිටි මතවාද ඇති ව්‍රත සමාදානයෙන්, අපිරිසුදු බඹසරින්, උසස් දියුණුවක් ලබන්නට බැහැ. යමෙක් තුළ සබ්‍රහ්මචාරීන් වහන්සේ ගැන ගෞරවයක් නැති නම් එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. අහසට පොළොව වගෙයි.

සභිය මහරහතන් වහන්සේ

මැදින් පුර අටවක

 මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]