[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිත් නිවන පුදබිම බුද්ධංගල ආරණ්‍ය සෙනසුන

සිත් නිවන පුදබිම බුද්ධංගල ආරණ්‍ය සෙනසුන

බුද්ධංගල ආරණ්‍යය වසර 2300කට වඩා පැරැණි ඉතිහාසයකට හිමිකම් කියන පුදබිමකි. අක්කර 1280ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති මේ පුණ්‍ය භූමිය එකල දිගාමඬුල්ලේ පාලකයා වූ දීඝායුකුමාරයා විසින් දියුණු කරන ලදැයි සැලකේ.

ඒ වගේ ම ඉන්පසුව බිහි වූ පාලකයන් කිහිප දෙනෙකුගේ ද නොමද අනුග්‍රහය ලැබී ඇති බවට සාක්ෂි හමුව තිබේ. මෙම පුදබිම අතීතයේ දී “කරක්ධිගල’ යනුවෙන් හඳුන්වා ඇති බව ද පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසය යි.

ශත වර්ෂ ගණනාවක් ම රහතන් වහන්සේ වැඩ සිටි බවට සඳහන් මෙම ආරණ්‍ය සේනාසනය කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු මිනිස් වාසයෙන් ඈත් වූ බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. නමුත් කාලයෙන් කාලයට භික්ෂූන් වහන්සේ භාවනායෝගී ව මෙහි වැඩ සිටිය ද ඒ ඒ කාලයන්හි දී සිදු වූ විවිධ හේතුන් නිසා ද කාලයෙන් කාලයට මෙම ආරණ්‍ය මෙන් ම ඒ අවට ප්‍රදේශය ද ජන ශූන්‍ය වී ඇති බව ද ඉතිහාසයේ සඳහන් ය.

බුද්ධංගල පුදබිම බොහෝ කාලයක් මහ වනයෙන් වැසී තිබුණි. එය නැවත බොදු දනන්ගේ වන්දනා මානනයට ලක්වන්නේ 1964 වසරේ දී ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේ දී නැවත ප්‍රතිසංස්කරණයට ලක්වීමෙන් පසුව ය.

අලංකාර ව පිහිටි ගල්පර්වත කිහිපයකින් වට වූ භූමි භාගයක සුපිහිටි බුද්ධංගල සෑම ගල්තලාවක ම තැනින් තැන නටබුන් තිබෙන බව ද පැවසේ.

ප්‍රධාන වන්නේ දැනට ස්තූපය සහ බුදු මැදුර පිහිටා ඇති විශාල ගල් පර්වතය යි. මෙහි පැරැණි ගොඩනැඟිලි හයක් පමණ නටබුන් ව තිබූ බවට පුරාවිද්‍යා සාක්ෂි දරයි. ඉන් එකක් පැරැණි ස්තූපයකි. පසුකලෙක බුද්ධංගල ආරණ්‍ය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවක දී මෙහි පොළොව යට සැඟව තිබූ දඹ රන් කරඬුවක් ඇතුළු පුරාවස්තු රැසක් හමුව ඇති බව පැවසේ. එම නිදන් වස්තු ප්‍රතිසංස්කරණය කළ ස්තූප ගර්භයෙහි තැන්පත් කර තිබෙන බවට පවසයි.

මෙම බුද්ධංගල විහාරය බෞද්ධයන්ට බොහෝ වැදගත් වන්නේ සැරියුත් සහ මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති නිසා ය.

චිත්‍රා දේවිය, දීඝගාමිණී හා උත්තිය රජු වැනි ප්‍රභූන් විසින් මෙම ආරණ්‍යයට පැමිණි නොපැමිණි සංඝයා වහන්සේ වෙත මෙම පින් බිම පූජා කළ බව මෙහි ගල්ලෙන්වල සඳහන් ව ඇතැයි පැවසේ.

කාලයත් සමඟ ජන ශූන්‍යත්වයට පත් වූ මෙම ප්‍රදේශය මෑත කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑමට යටත් ව තිබුණි. මෙම පූණ්‍ය භූමිය 1964 දී නැවත සොයා ගෙන ප්‍රතිසංස්කරණය කරන ලදී. ඒ එහි වැඩම කළ කළුතර ධම්මානන්ද හිමි හා බටයායේ ආරියවංශ හිමිවරු විසිනි. උන්වහන්සේ මහත් වූ දායකත්වයක් ලබා දී බුද්ධංගල සිංහල ජනපදය බිහිකිරීමට හා විහාරය වැඩි දියුණු කිරීමට සමත් වූ බව සඳහන් ය.

මැදින් පුර අටවක

 මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]