අකුසලයට එරෙහි අසාමාන්‍ය වීර්යය කුසලයෙහි සිත පිහිටුවයි
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
තීක්ෂණ ඤාණ කෞෂල්‍යය ඇති නාගසේන මහරහතන් වහන්සේ සමීපයේ මිළිඳු රජ මෙබඳු පැනයක්
විමසුවේ ය.
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, වීර්යයෙහි ස්වභාවය කුමක්ද?”
“මහරජාණෙනි, වීරිය යනු තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කරන ස්වභාවය යි. වීරියෙන් ලබන
උපකාරය හේතුවෙනුයි සියලු කුසල් දහම් නොපිරිහෙන්නේ.”
“ස්වාමීනී, උපමාවකින් වදාළ මැනව.”
“මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. නිවසක බිත්තියක් කඩාගෙන වැටෙන්නට යද්දී ලීයෙන් කරුවක්
ගසයි. කරුවෙන් ලැබෙන උපකාරය හේතුවෙන් බිත්තිය කඩා නො වැටෙයි. මහරජාණෙනි, ඒ ආකාරයෙන්
ම උපකාර කිරීමේ ස්වභාවය වීරිය යි. වීරියෙන් ලද උපකාරය හේතුවෙනුයි සියලු කුසල් නො
පිරිහී පවතින්නේ.”
“ස්වාමීනී, තව උපමාවක් වදාළ මැනව.”
“මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. කුඩා සේනාවක් සිටියි. මහත් සේනාවක් විසින් ඒ කුඩා
සේනාව යටපත් කරනු ලබයි. එහෙත් ඒ සේනා පිරිසේ රජු ඒ සේනා පිරිසට අන්‍යොන්‍ය
අනුග්‍රහය දක්වයි, සහාය දක්වයි. තමන්ගේ කුඩා සේනාවට අවශ්‍ය යුද උපකරණ ආදිය සපයා
දෙයි.
එසේ නිරතුරු ව ලබන අනුග්‍රහය හේතුªවෙන් එම කුඩා සේනාව අර මහා සේනාව මැඬ පවත්වයි.
මහරජාණෙනි, කුසල් දහම්වලට උපකාර ලැබීමේ වීරියත් එබඳු ය. වීරියෙන් ලැබෙන උපකාරය නිසා
ය කුසල් දහම් නො පිරිහෙන්නේ.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ මැනැවින් වදාරා තිබේ.
“පින්වත් මහණෙනි, වීරියවන්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි. කුසල් වඩයි.
වැරැදි දේ අත් හරියි. නිවැරැදි දේ වඩයි. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි.” යනුවෙනි.
මෙසේ පැන විසඳූ කල්හි මිළිඳු රාජ තෙමේ එය සතුටින් අනුමෝදන් විය.
වීර්යය යනු මේ බුදුසසුනේ ශ්‍රාවකයා විසින් උපදවා ගත යුතු අනිවාර්ය අංගයකි. විරිය
ඉන්ද්‍රිය, විරිය බලය, විරිය ඉද්ධිපාදය, විරිය සම්බොජ්ඣංගය ලෙසත් සතර සතිපට්ඨානයේ
දී ‘ආතාපී’ ලෙසත් වීරිය යෙදී තිබීමෙන් පෙනී යන්නේ බුදුසසුනක ඵල ලබනු පිණිස වීරිය
නම් අංගයේ ඇති වැදගත්කම යි. සම්බුදු රජාණන් වහන්සේ වදාළේ මේ ධර්මය තිබෙන්නේ
වීරියවන්තයන් හට මිසක් කුසීතයන් හට නොවන බවයි.
බුදුසසුන තුළ වීරිය හඳුන්වා දෙන්නේ ‘සම්මප්පධාන’ යනුවෙනි. එබඳු සම්මප්පධානයෝ සතරකි.
1.නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි.
සිත දැඩි කොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
2. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය
අරඹයි. සිත දැඩි කොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
3. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි.
සිත දැඩි කොට ගනියි. බලවත් ව වීරිය ගනියි.
4. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස, එහි නො මුළා බව පිණිස, බොහෝ සෙයින්
දියුණු වීම පිණිස, විපුල බව පිණිස, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත්කර ගැනීම
පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩි කොට ගනියි. බලවත් ව
වීරිය ගනියි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමෙක් තුළ මේ සම්මප්පධානයන් පිහිටා ඇත්නම් ඔහු නිවනට
ම නැඹුරු වී සිටින බවයි. නිවන පිණිස පවතින වැඩපිළිවෙළෙහි යෙදෙන ආර්ය ශ්‍රාවකයාගේ
ජීවිතය රථයකට උපමා කළ අප භාග්‍යවතුන් වහන්සේ එම රථයේ රෝද මෙන් ‘වීරිය’ පවතිනා බව
පෙන්වා දුන් සේක. මේ සසර නම් වූ සැඩ පහරෙන් එතෙර වන්නේ වීරිය නම් වූ අංගයෙනි.
වීරියවන්තයා ම කෙලෙස් වසඟයට නොපැමිණ මේ ක්ලේශ සංග්‍රාමයේ ජය ලබන්නේ ය.
ඒ වීරියවන්තයෝ වනාහී මේ බුදුසසුනේ ම පහළ වූවෝ ය. සම්බුදු සසුනෙන් බැහැර ලොව කිසිම
තැනෙක සතර සම්‍යක්පධාන වීරිය සහිත වීරියවන්තයෝ පහළ නො වෙති. ඒ වීරිය උසුලා ගත
නොහැකි ආකාරයේ වෙහෙසකර දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රාවකයා තුළ
පවතින වීරිය කිසිවිටෙකත් පසු නොබසින වීරියක් බවයි. එබඳු වීරියවන්තයෝ අපමණ
ප්‍රමාණයක් මේ බුදුසසුනේ පහළ වූහ. භික්ෂු, භික්ෂුණී, පැවිදි ශ්‍රාවක පිරිසේ වීරිය
ගැන කියනු කිම, බුදුසසුනේ උපාසක, උපාසිකා පිරිස ද අසිරිමත් වීරියවන්තයෝ වූහ.
දර කැපීමෙන් ජීවිකාව ගත කළ බුදුරජුන්ගේ උපාසකයෙක් දිනක් කෙටේරිය ද රැගෙන වනයට
පිවිසියේ ය. ජීවිකාවෙන් දුප්පතකු වුව ද, මේ සොඳුරු සසුන තුළ ශ්‍රද්ධා වීරිය ආදී
ගුණයෙන් සුපෝෂිත මේ උපාසක අතරමඟ දී අනපේක්ෂිත අනතුරකට පත්විය.
බොහෝ දිනක් නිරාහාර ව සිටි විශාල පිඹුරෙක් මේ උපාසකගේ දෙකකුල් වෙළා ගෙන කිටි කිටියේ
තද කිරීමට පටන් ගත්තේ ය. මහත් වේදනා හට ගනිද්දී අත ඇති කෙටේරියෙන් පිඹුරාගේ සිරුර
දෙපළු වෙන පරිදි කෙටීමට උපාසකයාට සිත් විය. එහෙත් ඒ විට ම උපාසකයා තමාට ම ගරහා ගති.
සම්බුදු රජුන් සරණ ගිය නුඹ මේ මොන සිතිවිල්ලක් ද හිතන්නේ.....? මේ බුදුසසුන
ප්‍රාණඝාතයෙන් වෙන් වූ අවිහිංසාවාදී ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ භූමිය බව තොට අමතක වුණා ද?
ඒ ආර්ය ශ්‍රාවක මහරහතන් වහන්සේ දිවි තිබෙන තුරා ප්‍රාණඝාතයෙන් වෙන් ව වාසය කළ බව
තොට අමතක වුණා ද? නුඹේ මේ ජීවිතයට වඩා සීලයයි උතුම්. ඒ උතුම් සීලය ඉක්මවා යාමට ආපු
ඔය ළාමක සිතිවිල්ලට නින්දා වේවා.”
මෙසේ කල්පනා කළ උපාසකයා “මට මේ පිඹුරාට හානි කරන්ට හිතෙන්නේ මේ කෙටේරිය අතේ
තිබෙද්දීනේ.... මේ කෙටේරිය මම වීසි කරනවා......” සිතා පිඹුරා තම කය වෙලා සිටියදී ම
සුළු හෝ ආරක්ෂාවක් පිණිස තමා සතු ව තිබූ කෙටේරිය හැකි උපරිම වෙර යොදා ඈතට විසි කළේ
ය. ඒ මොහොතේ ම සිල් තෙදේ අසිරියෙන් ඒ උපාසක පිඹුරා විසින් අත් හරිනු ලැබුවේ ය.
“බුදු සසුනක් යනු එබඳු අකුසල්වලට එරෙහි ව අසාමාන්‍ය වීර්යයක් ඇති ව සිටි වීරියවන්ත
උතුමන්ගෙන් පිරී පැවතුනකි. වීරියවන්ත පුරුෂයන්ට සතර සම්‍යක්පධාන වීර්යය යනු සම්බුදු
සසුන නම් වූ මහා සයුරේ තිබෙන අනර්ඝ මාණක්‍ය වැනි යැයි” අප සම්බුදු රජාණන් වහන්සේ
වදාළ සේක.
ඒ අනර්ඝ මාණක්‍යයන් තමා සතු කර ගන්නා යමෙක් වේ ද, ඔහු ඒකාන්තයෙන් ම පරම සැපයට
පත්වනු නිසැක ය.
තමා තුළ ධර්ම රාජ්‍යයක් ගොඩනඟා ගනු කැමැති ආර්ය ශ්‍රාවකයකු හට ඒ ධර්මරාජ්‍ය ආරක්ෂා
කර ගැනීම පිණිස සිටින මහා බලසෙනඟක් මෙන් අකුසල් දුරු කිරීම පිණිසත්, කුසල් ඉපිදවීම
පිණිසත් මේ සම්මප්පධාන වීරිය උපකාරී වන්නේ ය. |