[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පටිච්ච සමුප්පාදය ගැටලු විසඳීමේ න්‍යායකි

පටිච්ච සමුප්පාදය ගැටලු විසඳීමේ න්‍යායකි

සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ බුදුරජාණන් වහන්සේ, බෝමැඩ අභියස ම වැඩ සිටිමින්, සමාපත්තිවලට සමවැදුන බවත්" පටිච්ච සමුප්පාදය හෙවත් ආර්ය න්‍යාය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ බවත්, විනය පිටකයෙහි මෙන් ම උදානපාලියෙහි ද සඳහන් වේ.

ආර්යයන් වහන්සේ විසින් අවබෝධ කර ගත් නිසා ද, පෘථග්ජන පුද්ගලයන් ආර්ය භාවයට පමුණුවන නිසා ද පටිච්චසමුප්පාදය, ආර්ය න්‍යාය වශයෙන් හඳුන්වනු ලැබේ.

ඕනෑම ගැටලුවකට හේතුව වන මූලික සිද්ධාන්තය පටිච්ච සමුප්පාදය යි. මෙම මූලික සිද්ධාන්තය අවබෝධ කොට වදාළ බෝසතාණන් වහන්සේ තවදුරටත් පඤ්චඋපාදානස්කන්ධයෙහි ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරන විට සියලු ආස්‍රව ක්ෂය වූ බව දේශනාවල සඳහන් වේ. මේ අනුව මූලික සිද්ධාන්තය අවබෝධ කිරීමත්, එය සියලු ගැටලුවලට හේතුව වන මූලික කාරණය බව නුවණින් විමසා බැලීමත් නිසා ආස්‍රව ක්ෂය වීම සිදු වූ බව පැහැදිලි වේ. ආර්ය සත්‍ය දේශනාවෙහි දී ‘දුක’ විස්තර කිරීමේ දී අවසානයට සඳහන් වන්නේ “සංඛිත්තේන පඤ්චඋපාදානස්ඛන්ධා දුක්ඛා” වශයෙනි. එනම් “දුක” හෙවත් සියලු ගැටලු පඤ්චඋපාදානස්ඛන්ධ යන වචනයෙන් හඳුන්වාදිය හැකි ය.

එබැවින් ගැටලුවලට මූලික හේතුව වන ආරියන්‍යාය නිවැරැදි ව හඳුනාගෙන එය ගැටලුවලට අදාළ වන ආකාරය විමසා බැලීම සියලු ගැටලුවලින් නිදහස් වන ක්‍රමවේදය වේ.

කරුණු එසේ වුවත් මෙකල, බොහෝ විට ආර්ය න්‍යාය(පටිච්ච සමුප්පාදය) විස්තර කරනු ලබන්නේ, ගැටලුවලට විසඳුමක් වශයෙන් නොව ශාස්ත්‍රීය පදනමක් තුළ පිහිටා සිටිමින් බව අපගේ අදහසයි. න්‍යායෙහි සඳහන් වන අවිද්‍යා, සංඛාර ආදී පටිච්චසමුප්පන්න ධර්ම තර්කානුකූල ශාස්ත්‍රීය පදනමකින් විස්තර කළත්, ඒවායෙහි ගැටලුවලට ඇති උපයෝගීතාව ය පැහැදිලි වේ දැයි විමසා බැලිය යුතු ය. මේ නිසා ම බොහෝ දෙනකු තුළ දහම් දැනුමක් තිබුණත් එම දැනුම ප්‍රායෝගික නොවේ. තමා තුළ ඇති දහම් දැනුමට අනුව එදිනෙදා ගැටලුවලින්, සංසිඳීමක්, සැනසීමක් ඇති කර ගැනීමට නොහැකි වී ඇත්තේ මේ නිසා දැයි සිතා බැලිය යුතු ය.

මෙකල බොහෝ දෙනකු ධර්ම දේශනාවකින් පවා බලාපොරොත්තු වන්නේ දහම් කරුණු පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයකි. ගැටලු විසඳා ගැනීමට නොව දහම් දැනුම මුල්කොට ධර්මය ඇසීම එයට හේතුවයි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආයතන, පටිච්චසමුප්පාදය, පඤ්චඋපාදානස්කන්ධය, ධාතු ආදි විවිධ පරියායන්ගෙන් දේශනා කොට වදාළේ එදිනෙදා ගැටලුවලට මූලික හේතුවයි.

ව්‍යවහාර ලෝකයේ භාවිත වූ වචනවලින්, එම විවිධ වූ පරියායන්ගෙන් ගැටලු පිළිබඳ මූලික හේතුව විස්තර කර දෙන ලදී. අප විසින් කළ යුත්තේ එම වචන පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොව, වචනවලින් පෙන්වා දුන් ගැටලුවල මූලික හේතුව හඳුනා ගැනීමයි. එසේ හඳුනා ගන්නේ නම් ඕනෑම ගැටලුවක දී ප්‍රායෝගික ව ධර්මානුකූල විසඳුම් සොයා ගැනීම ඉතා පහසු වේ.

ධර්මානුකූල ව ගැටලුව හඳුනා ගැනීමත්, ප්‍රායෝගික ව ධර්මය භාවිත කිරීමෙන් ගැටලුව සඳහා විසඳුම් සොයා ගැනීමත් අවස්ථා දෙකක් ලෙස හඳුන්වා දිය හැකි වේ. කෙසේ නමුත් ධර්මානුකූල ව ගැටලු හඳුනා ගැනීම ම සැනසීමටත්, සංසිඳීමටත් උපකාර වන බව සිතිය හැකි ය.

එමෙන් ම විසඳුමක් කරා යා හැකි ක්‍රමයක් ඇති බවට ඇති කර ගන්නා විශ්වාසය, ආත්මශක්තිය (පෞරුෂය) දියුණු කර ගැනීමටත්, ශක්තිමත් ලෙස ගැටලුවට මුහුණදීමටත් උපකාර වේ. ගැටලුවලට මූලික හේතුව ආයතන, පඤ්චඋපාදානස්කන්ධය, පටිච්ච සමුප්පාදය, ධාතු ආදී විවිධ ක්‍රමයන්ගෙන් දේශනා කොට ඇති බව ඉහතින් සඳහන් ය.

සන්නිවේදනයේ දී මෙකල ඇති දුෂ්කරතාව නම් මෙම කුමන ක්‍රමවේදය නිවැරැදි ව ගළපා ගත හැකි ද යන්න එක්වර ම තේරුම් ගැනීම අපහසු වීමයි. කෙසේ නමුත් ඉවසීමෙන් යුතුව ටික කලක් කරන සාකච්ඡාවකින් නිවැරැදි ක්‍රමය හඳුනා ගැනීම අපහසු නොවේ.

පොදුවේ සියලු ම ගැටලුවලට මූලික හේතුව ආර්ය න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි කර දෙන බව ඉතා ම හොඳින් විස්තර වන්නේ “මහා නිදාන” සූත්‍රයෙහි (දීඝ. නිකාය 2) පටිච්චසමුප්පාදය විස්තර කරන සාමාන්‍ය පොදු ක්‍රමය අනුව, අවිද්‍යාව ප්‍රත්‍යකොට සංඛාර වේ. (අවිජ්ජා පච්චයා සංඛාරා) ආදී වශයෙන් තණ්හාව දක්වා (වේදනා පච්චයා තණ්හා) විස්තර වේ. තණ්හාව මූලික කොට එදිනෙදා සියලු ගැටලු ඇතිවන බව ඉන් පසුව අනුක්‍රමයෙන් විස්තර වෙයි. තණ්හාව (කැමැත්ත හෝ ආශාව) නිසා තණ්හා කළ දෙය පිළිබඳ සොයා බලයි. (තණ්හා පච්ච පරියේසනා) සොයා බලන්නාට සොයා බැලූ දේ ලැබෙයි. (පරියේසනං පටිච්ච ලාභෝ) ලැබූ දේ පිළිබඳ ව (හොඳ නරක වශයෙන්) විනිශ්චය කරයි (ලාභං පටිච්ච විනිච්ඡයෝ) එම විනිශ්චය නිසා ම දැඩි ආශාව ඇති වේ. (විනිච්ඡයං පටිච්ච ඡන්දරාගෝ) ආශාව නිසා ම එය තමන්ගේ කර ගනී. (ඡන්දරාගං පටිච්ච අජ්ඣෝසානං) තමාගේ යැයි වෙන් කර ගත් දෙය තමාට ම අයත් කර ගනී. (අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ) අයත් කර ගත් නිසා අන් අය ගනී යන මසුරුකම ඇති වේ. (පරිග්ගහං පටිච්ච මච්ඡරියං) මසුරු බව නිසා ම එය ආරක්ෂා කරයි. (මච්ජරියං පටිච්ච ආරක්ඛෝ) ආරක්ෂා කිරීමට යාම හේතුවෙන් කලකෝලාහල, දඬු මුගුරු ගැනීම, බොරුකීම ආදී අනේකවිධ ගැටලු ඇති වේ. මේ අයුරින් තණ්හාව මූලික කොට සම්මත ලෝකයේ සියලු ගැටලු ඇතිවන ආකාරය අනුක්‍රමයෙන් පැහැදිලි කර දෙන බුදුරජාණන් වහන්සේ එහි ප්‍රතිලෝම ක්‍රමයෙන් ගැටලුවෙන් නිදහස් වීම ද පැහැදිලි කර දෙයි.

ආරක්ෂා කිරීමක්, නැති නම් දඬු මුගුරු ගැනීම, නපුරු වචන කීම ආදී කල කෝලාහල නැත. මසුරුබවක් නැති නම් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් ඇති නොවේ. තමාට අයත් කර නො ගත්තේ නම් මසුරු බවක් නැත. අයත් කර ගනු ලබන්නේ තමාට වෙන් කර ගත් දෙයයි. එනිසා ම වෙන් කර ගැනීමක් නැතිනම් අයත්කර ගැනීමක් නැත. ආශාව නිසා ම වෙන්කර ගනී. එනිසා ආශාව නැතිනම් වෙන්කර ගැනීම නැත. හොඳ නරක වශයෙන් විනිශ්චය නොකළා නම් ආශාවක් ඇති නොවේ. සොයා බලා යමක් නොලැබුණේ නම් ආශාව ඇති නොවේ. යමක් ලැබුණේ සොයා බැලූ නිසා ම ය. සොයා බැලීම නැතිනම් ලැබීම නැත. සොයා බැලීම සිදු වූයේ ආශාව හෙවත් තණ්හාව නිසා ය.

සම්මත ලෝකයේ කුමන අයුරින් විග්‍රහ කළ ද ඒ සියලු ගැටලුවලට මූලික හේතුව තණ්හාවයි. (කැමැත්ත හෝ ආශාවයි) මේ අයුරින් ගැටලුවකට මුහුණ දුන් කෙනා එයට හේතුව තණ්හාව ම බව විමසා බලා තේරුම් ගන්නේ නම්, එය ද ඔහුගේ සැනසීමට, සංසිඳීමට හේතුවක් විය හැකි ය.

නමුත් ගැටලුව මුළුමනින් විසඳී නැත. ගැටලුව මුළුමනින් විසඳා ගැනීමට නම් තණ්හාවට හේතුව අවිද්‍යාව බව තේරුම් ගෙන, එම අවිද්‍යාව මුළුමනින් ම ප්‍රහාණය කළ යුතු වේ.

මෙම ලිපියේ ඉතිරි කොටස නවම් අව අටවක පෝදා (20) අන්තර්ජාල කලාපයේ පළවේ.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]