සතියෙන් ජීවත්වීමේ කලාවට හුරු වෙන්න
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
සොත හා ආපත්ති යන වචන දෙක එක් වීමෙන් සොතාපත්ති කියන වචනය හැදෙනවා. සොත යන පාලි
වචනයේ තේරුම සැඩපහර යන අදහස යි. ආපත්ති කියලා කියන්නේ මේ සැඩ පහරට හසුවීම යි.
කිසියම් ඇලක, දොළක, විශේෂයෙන් ම ගංගාවක සැඩ පහරට යම් ද්‍රව්‍යයක්, දණ්ඩක් හසුවුණොත්
ඒ ලී කඳ, එහෙම නැතිනම් දණ්ඩ අවසානය හෙවත් ගංගාවක් නම් මහමුහුද දක්වා ම නොයෙක්
විදියේ හැලහැප්පිලිවලට ගොදුරු වී ඉදිරියට ම ගමන් කරනවා.
ඒ වගේ ම තමා යම් අයෙක් ශ්‍රද්ධාව ඇති කර ගෙන, එහෙම නැතිනම් සද්ධානුසාරි බවෙහි
පිහිටා ධම්මානුසාරි වීමෙන්, සෝවාන් මාර්ග ඵලයට පැමිණ අවසානයේ දී සදාකාලික සැනසීම
හෙවත් නිර්වාණය පසක් කර ගන්නවා.
සෝවාන් බවට පත් වූ අය බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ම අචල
ප්‍රසාදයෙන් හෙවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ අයෙක් වෙනවා. අවෙච්ච ප්‍රසාදයෙන් යුක්ත
වෙනවා කියලා කියන්නෙත් මේ පුද්ගලයා ම යි.
අපි බෞද්ධයන් වශයෙන් හැමවිට ම මේ සෝවාන් ආදි මාර්ග සඵල කර ගෙන නිවන් අවබෝධ කර
ගැනීමට ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණත් එය හුදු ප්‍රාර්ථනාවක් පමණයි. ශිෂ්‍යයෙක්,
දරුවෙක් විභාගයෙන් සමත්වීම ප්‍රාර්ථනා කරනවා නම් ඊට එම ප්‍රාර්ථනාව පමණක්
ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව, මාර්ගය අනුගමනය කළ යුතු
වෙනවා. මේ විදිහට යම් අයෙක් නිරන්තරයෙන් ම සෝවාන් වෙන්නට ප්‍රාර්ථනා කරනවා වෙන්නට
පුළුවනි. නමුත් සෝතාපන්නයකු වීමට අවශ්‍ය අංග මොනවාද කියන මේ කාරණය ගැන විමසිලිමත්
වී ක්‍රියා කිරීම පළමුවැනි අවශ්‍යතාව යි.
එහිදී අංග හතරක් ගැන සඳහන් වෙනවා. එයින් පළමුවැන්න කල්‍යාණ මිත්‍ර ඇසුර හෙවත්
සත්පුරුෂ ආශ්‍රය යි. මොකද්ද කල්‍යාණ මිත්‍රයාගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ? තමා නිවැරැදි
දෙයෙහි පිහිටා තමන්ගේ ඇසුරට පත් කර ගන්න අයත් ඒ නිවැරැදි මඟට යොමු කර ගන්නවා.
සත්පුරුෂයා පිළිබඳ පැහැදිලි විස්තරයක් සප්තවතපද සූත්‍රයෙන් ප්‍රකාශ වෙනවා. මව්පියන්
රැකබලා ගන්නා, වැඩිහිටියන්ට සලකන, ප්‍රියවචන කතා කරන, කේලාම් කීමෙන් තොර වුණු,
මසුරුකම මැඩගත්, ඇත්ත ප්‍රිය කරන, ක්‍රෝධය තුනී කර ගත් පුද්ගලයා සත්පුරුෂයා යි. ඔහු
දෙවියන්ගේ පවා පිළිගැනීමට ලක් වන අතර, ඔවුන් ද සත්පුරුෂයාට බුහුමන් කරන බව එහි දී
ප්‍රකාශ වෙනවා. මේ කියන සත්පුරුෂ ගති ලක්ෂණ ජාති, ආගම් භේද ඉක්මවන සනාතනික චරිත
ලක්ෂණ බව කාට වුව ද පැහැදිලි වෙනවා. මේ කියන සත්පුරුෂයා බෞද්ධයකු බවට පත් වෙන්නේ
තෙරුවන් සරණ ගිය, අවම වශයෙන් සිල්පද පහවත් රැකීම නිසා ය. තෙරුවන් විශ්වාස කරන්නේ
බෞද්ධයෙක් පමණක් ම යි.
බුදුරජාණන් වහන්සේ ම පෙන්වා දෙන පරිදි උන්වහන්සේ දෙසූ ධර්මය හේතුඵලවාදී ව විශ්වාස
කරනවා නම් පමණයි සැබෑ ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකය
ම දුකයි කියා දේශනා කරන කොට, ඔව් ඒක එහෙම තමා කියලා යම් කෙනෙක් හුදු ප්‍රලාපයක්
වශයෙන් කීවාට ඔහු ශ්‍රද්ධාවත්තයෙක් කියලා කියන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ විසින්
දේශනා කරන ලද හේතුඵලවාදී දහම තුළ සිටයි එම බුද්ධ දේශනාව අදහාගත හැකි වන්නේ. එවිටයි
ශ්‍රද්ධාව ප්‍රකට වන්නේ.
දෙවැනි සෝතාපත්ති අංගය ලෙස දක්වා තිබෙන්නේ සද්ධර්ම ශ්‍රවණයට යොමු වීමයි. ධර්ම
දේශනාවට සවන් දීම, ධර්මපත්‍රිකා කියවීමට යොමු වීම, බණපොත් බැලීම, තමන් දන්න ධර්ම
කාරණා අනුකම්පාවෙන් බොහෝ ජනයාගේ හිතසුව පිණිස තවත් අයට කියා දී ඒ අයත් දහමට යොමු
කිරීම, සැබෑ සිතින් බුද්ධධර්මය පිහිට කොට ක්‍රියා කිරීම, සැකයක් නොමැති වන ආකාරයෙන්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය පිහිට කොට ක්‍රියා කිරීම මේ කරුණින් විස්තර
වෙනවා. එහිදි ඒ අය ශ්‍රැතවත් අයකු බව ද ප්‍රකට කෙරෙනවා.
සෝතාපත්ති ඵලයට පත්වන අය බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය, සංඝ රත්නය, සීල, සමාධි හා
ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා, අතීත භවයන්, අනාගත භවයන්, අතීත හා අනාගත භවයන්, සත්වයා
හට ගන්නේ හේතුඵල ධර්මය අනුව ද නැතිනම් සත්වයා යනු මැවුම්කාර දේව නිර්මාණයක් ද ආදි
වශයෙන් මේ ප්‍රධාන කරුණු ගැන ඇති සිත සැකය විචිකිච්ඡාව යි. ඉතින් මේ විචිකිච්ඡාව
සපුරා ප්‍රහාණය වන්නේ සෝවාන් වීම තුළින්. ඉතින් එසේ සෝවාන් වූ අයට එම විචිකිච්ඡාව
අවසන් කර ගත හැකි වන්නේ ධර්මඥානය තුළින් පමණයි.
සෝතාපත්ති අංග අතර තුන්වැන්න බවට පත්වන්නේ යෝනිසෝමනසිකාරය යි. යෝනිසෝමනසිකාරය කියලා
කියන්නේ සෝවාන් මඟ ගමන් කරන ශ්‍රැතවත් පුද්ගලයා සැම විට ම තම සිතට දැනෙන චෙතසික
සම්බන්ධයෙන් විමසිලිමත් ව සොයා බලා කටයුතු කරනවා. කිසිවිටෙකත් දැනෙන දැනෙන සිතිවිලි
ඔස්සේ හඹා යන්නේ නැහැ. හැමවිට ම නූපන් අකුසල් සිත් නො ඉපදෙන ආකාරයෙනුත් උපන් කුසල්
සිත් වැඩිදියුණු වන ආකාරයෙනුත්, කටයුතු කිරීම යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම කියලා
කියන්නට පුළුවනි.
කෙටියෙන් ම මේ කරුණ පැහැදිලි කරනවා නම්, යෝනිසොමනසිකාරයෙන් ක්‍රියා කරන අය සිහි කළ
යුත්තේ කුමක්දැයි දන්නවා. සිහි නො කළයුත්තේ කුමක්දැයි හොඳීන් තේරුම් ගෙන ක්‍රියා
කරනවා. එය ශ්‍රැතවත් ආර්ය පුද්ගලයාගේ ලක්ෂණය යි.
ඊළඟට දැක්වෙන සෝතාපත්ති අංගය වන්නේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා
ක්‍රියාකිරීම යි. මොකක්ද මේ ධර්ම අනුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ? අපේ
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ශික්ෂණ මාර්ගය කුමක්දැයි හඳුනාගෙන එහි සියලු අංග
කුඩා, අනුකුඩා වුව ද කය හා වචනය සංවර කර ගැනීමට අදාළ වන කුදු මහත් ක්‍රියාකාරකම්වල
දී දක්නට ලැබෙන සංවරශීලි ගුණාංග තුළ තම ජීවනය සකස් කර ගැනීම යි. එම සීල සංවරයට අදාළ
වන චතුපාරිශුද්ධිසීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරසීලය, ප්‍රත්‍ය
සන්නිශ්‍රිත සීලය දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අවකාශ නැතත් මේ චතුපාරිශුද්ධි සීලය
කොටස් වෙනවා. මේ තුළින් සංවර වූ සීලවන්තයා සිත අරමුණක තබා සතියෙන් ජීවත්වීමේ කලාවට
හුරු වෙනවා. ඒ තුළින් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය
පිළිබඳ යථා ස්වරූපයෙන් දැකීමේ දී විදර්ශනා සංඛ්‍යාත විශේෂ ඥානය වැඩි දියුණු වීමෙන්
සමාධියත්, ප්‍රඥාවත් වර්ධනය වී මෙම සෝතාපත්ති අංග සම්පූර්ණ වීමෙන් ඒ අය ආර්ය
අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා ආර්ය පුද්ගලයකු බවට පත්වී සෝතාපත්ති ඵලයට ද පත් වූවකු
බවට පත් වෙන බව පෙන්වා දෙන්නට පුළුවනි. ඒ අනුව එම උත්තමයා සක්කායදිට්ඨි,
විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන අකුසල මූලයන් සිඳගත්තා ද වෙනවා. |