[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සතර කර්ම ක්ලේශ

සතර කර්ම ක්ලේශ

දීඝ නිකායට අයත් සිඟාලෝවාද සූත්‍රයේ සතර කර්ම ක්ලේශ පිළිබඳ සඳහන් ව ඇත.

පාණාතිපාතො අදින්නාදානං - මුසාවාදො පචුච්චති
පරදාරගමනඤ්වෙච - නප්පසංසන්ති පණ්ඩිතා’ති

ප්‍රාණ ඝාතය කර්ම ක්ලේශයකි. අදත්තාදානය කර්ම ක්ලේශයකි. කාම මිථ්‍යාචාරය කර්ම ක්ලේශයකි. මුසාවාදය කර්ම ක්ලේශයකි.

මෙම කර්ම ක්ලේශයන්ගෙන් වැළකීම දෙලොවම යහපතට හේතුවෙයි.

දීඝ නිකාය අට්ඨ කතාව, මජ්ක්‍ධිම නිකාය අට්ඨ කතාව, ඉති වුත්තක අට්ඨ කතාව ආදියේ දී ප්‍රාණඝාත අකුසලය පිළිබඳ ව සඳහන් ව ඇත.

පාණේ - ප්‍රාණියකු වීම
පාණසඤිතා - පණ ඇති බව දැන ගැනීම
වධක චේතනා - මැරීමේ චේතනාව
උපක්කමෝ - මැරීමට උපක්‍රම යෙදීම

තේන මරණං - මරණයට පත්වීම. එම කරුණු තොටගමුවේ රාහුල හිමියන් කාව්‍යශේඛරයේ දී මෙය කවියට නඟාඇත්තේ මේ ආකාරයෙනි.

සතකු බව දැනුම ද
මරණව සිත් පයෝග ද
දිවි යනු සියත බ ද
පසැගතිය යෙත් පළමු සික පද

පළමු කර්ම ක්ලේශය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ වදාළේ

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමංකත්වා
න හනෙය්‍ය න ඝාතයේ

සියලු සත්ත්වයෝ දඬුවමට බයයි. සියලු දෙනා මරණයට බයයි. එනිසා තමා උපමා කොට අනුන්ට වධ හිංසා කරන්නට, මරණයට පත්කරන්නට එපා යැයි යනුවෙනි.

සොරකම ද සතර අපායේ උපදින්න හේතුවන කර්මයක්. මනුෂ්‍ය ආත්මයක් ලැබූවිට සොරකම් කළ තැනැත්තාගේ ජීවිතය අභාග්‍යසම්පන්න වෙනවා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඒ බව සඳහන් ව ඇත.

යො සබ්බලහුසෝ
අදින්නාදානස්ස විපාකො
මනුස්ස භූතස්ස මනුස්සස්ස
දොභග්ගිය සංවත්තනිකං හොති

දෙවන කර්ම ක්ලේශය සිදුවීමේ දී සම්පූර්ණ විය යුතු අංග පහ පිළිබඳ ව කාව්‍යශේඛරය නඟන්නේ මේ ආකාරයෙනි.

වෙන අය අයිති වත්
ඒ බව දැනුමුත් සොර සිත්
පියෝ ඉන් ගැණුමුත්
දෙවන සික පද පසගකැයි යෙත්

බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිම අවස්ථාවක, කිසිම අයුරකින් සොරකමක් නොවන ලෙස ක්‍රියා කළ යුතු බවයි.

තුන්වන කර්ම ක්ලේශයෙන් වැළකීම තුළ පවුල් සංස්ථාව හරහා සුඛිත මුදිත සමාජයක් ගොඩනැඟෙනු ඇත. යහපත් යුග ජීවිතය ගත කරන අඹුසැමියන්ට දෙවියන් පවා නමස්කාර කරන බව සංයුක්ත නිකායේ සඳහන් වේ.

යෙ ගහටිඨා පුඤ්ඤකරා
සීල වන්තෝ උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති
තෙ නමස්සන්ති මාතලී

පින් කරන සිල්වත්ව දැහැමි ව අඹුදරුවෝ පෝෂණය කරන තැනැත්තන්ට ශක්‍රයා වන්දනා කරන බව මෙම ගාථාවේ අදහසයි.

ගමනක් යන්න සූදානම් වූ විට හැම දිශාවකට ම වැඳීම ශක්‍රයාගේ ස්වභාවයයි. දිනක් මාතලී අහනවා ශක්‍රයාගෙන් කාටද වඳින්නේ කියලා. එවිට ශක්‍රයාගේ පිළිතුරු වූයේ පින් කරන සිල්වත් අයට නමස්කාර කරන බවයි. ඒ අනුව දිව්‍ය විමානයක වැනි තැනක ජීවත්වන අඹුසැමියන්ට දෙවියන්ගේ ප්‍රධානියා වූ ශක්‍රයාත් වැඳුම් පිදුම් කරන බව මෙහි සඳහන් ව ඇත. ඒ අනුව බලන කල යහපත් යුග ජීවිතය හරිම පූජනීයයි. එහි අදහස තමයි එවැනි යහපත් අඹුසැමියෝ පිදිය යුත්තන් බවට පත්වීම.

ඒවගේ ම විපතේ උල්පත බොරුවයි. බොරුවෙන්, වංචාවෙන් සමාජය දූෂිත වූ විට සත්‍යයට තිබෙන තැන දුබල වෙයි. එවැනි සමාජයක යුක්තියට, ධර්මයට ඉඩක් නැත. ඕනෑම අපරාධයක්, විනාශයක් කිරීමට මුසාබස් දොඩන්නා පෙළඹෙයි. නිතර නිතර බොරු කීමට හුරු පුරුදු පුද්ගලයා අන් අයට අපි‍්‍රයයි. ඒ නිසා කියන දෙය විශ්වාස කරන්නේ නැහැ. ගූථ යනු අසූචි. භාණී යනු කතා කියන්නා. ඒ අනුව පැහැදිලි වන්නේ නිතර නිතර බොරු කියන පුද්ගලයා අසූචියට බඳු කතා ඇති හෙයින් අන් අය පිළිකුල් කරන බවයි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]