උතුම් මහරහත් උදාන
මම ඉන්නේ සෙවිලි කළ කුටියක යි. ඒ කුටිය හරි සැප යි. සුළඟින් කරදරයක් ද නෑ. වැහි
වලාවනි, දැන් ඕනෑ තරමක් වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්ත යි. කෙලෙස්වලිනුත්
මම නිදහස් වුණා. මම සිටින්නේ බලවත් වීර්යයකින් යුතුව යි. වැහි වලාවනි, දැන් ඕනෑ
තරමක් වහින්න.
සුභූති මහරහතන් වහන්සේ
තමන් ළඟට පැමිණෙන උදවියගේ සැකසංකා දුරු කර දමන්නේ යමෙක් ද, ඒ තථාගතයන් වහන්සේගේ
විස්මිත බුද්ධිය දෙස බලන්න. මැදියම් රැයෙහි බබළන ගින්නක් වගෙයි. ඤාණාලෝකය ලබා දෙයි.
දහම් ඇස ලබා දෙයි. රහත් මුනිඳුන් ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත්
සත්පුරුෂයන්ම යි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නොපමා ව දහමෙහි හැසිරෙන, ඒ නුවණැති
සත්පුරුෂයන් අවබෝධ කර ගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ, දැකීමට දුෂ්කර වූ, සූක්ෂ්ම අර්ථය
වන චතුරාර්ය සත්‍යය යි.
පුණ්ණ මහරහතන් වහන්සේ
මම මහණ වෙලා හරියට ම පස් දවස යි. තවම අරහත්වය පිණිස නිවන් මගේ පුහුණුූ වෙන කෙනෙක්.
ඉතින් මම කුටියට ගිහින් මේ විදියට අධිෂ්ඨානයක් ඇති කර ගත්තා.
මේ තණ්හාව නමැති හුල උදුරා දමන තාක් ම මම දානය ගන්නෙ නෑ. කිසිම දෙයක් පානය කරන්නෙත්
නෑ. කුටියෙන් පිටතට යන්නෙත් නෑ. මේ ශරීරය එක ඇලයකට හරි හාන්සි කරවල නිදා ගන්නෙත්
නෑ.
බලන්න මම කොයිතරම් දැඩි වීරියයක් ද ගත්තෙ කියල. ඉතින් මාත් ත්‍රිවිද්‍යාව ලබා
ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.
පච්චය මහරහතන් වහන්සේ
මහණ ජීවිතේ දියුණුවක් ලබන්නට කැමැති කෙනා, සුව සේ සිටින්නට කැමැති කෙනා, බුදු
සමිඳුන්ගේ ශ්‍රාවක පිරිස උදෙසා ලැබෙන සිවුරු, දන්, පැන් ආදියට අපහාස කරන්නට හොඳ
නැහැ.
මහණ ජීවිතේ දියුණුවක් ලබන්නට කැමැති කෙනා, සුව සේ සිටින්නට කැමැති කෙනා. තාවකාලික
අදහසින්ම යි කුටියක් පරිහරණය කළ යුත්තේ. මී ගුලකට රිංගන සර්පයෙක් වගේ.
මහණ ජීවිතේ දියුණුවක් ලබන්ට කැමැති කෙනා, සුව සේ සිටින්ට කැමැති කෙනා ලැබිච්ච
දේකින් සතුටු වෙන්නට ඕනෑ. පමා නොවී ධර්මයේ හැසිරීම නම් වූ එකම ගුණය දියුණු කර ගන්නට
ඕනෑ.
ධනිය මහරහතන් වහන්සේ
මම මහා වනයේ සිටියේ ගිනි පූජා කරමිනුයි, සසරින් මිදෙන්නට හිතාගෙන ගියේ වැරැදි පාරක.
නිවනට යන මඟ දන්නෙ නැති නිසා අත්තකිලමථානුයෝගයට වැටිල මම හරියට තපස් කළා. පලක් වුණේ
නෑ.
එහෙත් මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යය බලන්න. මම දැන් ඒ අමා නිවන් සුව ලබා ගත්තේ සුව
සේ ම යි. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.
ඉස්සර මම සම්මුතියෙන් විතරයි බ්‍රාහ්මණයෙක් වෙලා හිටියේ. එහෙත් මම දැන් ඇත්තට ම
බ්‍රාහ්මණයෙක්. ත්‍රිවිද්‍යාව ම තියෙන කෙනෙක්. කෙලෙස් සෝදා හල කෙනෙක්. යහපතට පැමිණි
කෙනෙක්. ධර්මයේ කෙළවරට පැමිණි කෙනෙක්.
අග්ගිකභාරද්වාජ
මහරහතන් වහන්සේ
බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වූයේ යහපතක් ම යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම්
නොවේ. මම මේ පවසන්නේ වැරැදි මතයක් නොවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන
සද්ධර්මය තුළ යම් උතුම් වූ අමා නිවනක් වේ නම්, මම පත්වුණේ ඒ උතුම් නිවනට යි.
පිළින්දිවච්ඡ
මහරහතන් වහන්සේ
ඒ භික්ෂුවගේ ඉඳුරන් ඉතා සන්සුන්. සියලු පවිනුත් වැළකී සිටී. කතාබස් කරන්නේත් ඉතා ම
නුවණින් යුතුව යි. උඩඟුකමකුත් නෑ. ඒ භික්ෂුව ළාමක අකුසල් දහම් දුරු කෙළේ, ගසක
කොළයක් සුළඟින් බිම හෙළනවා වගෙයි.
මහාකොට්ඨිත මහරහතන් වහන්සේ
පාටලීපුත්ත නගරයේ ශ්‍රමණයන් වහන්සේ වැඩ ඉන්නේ. ලස්සනට බණ කියන්නත් පුළුවන්. ධර්මය
පිළිබඳ ව හොඳ බහුශ්‍රැත භාවයකුත් තියෙනවා.
ඒ ශ්‍රමණයන් වහන්සේ අතර කෙනෙක් වන ආයුෂ්මන් ඛුජ්ජසෝභිතත් දොරටුව ළඟට ආවේ සුළඟේ
පාවෙලා වගේ ඍද්ධි බලයෙන්.
කෙලෙස් නැසීම කියන්නෙ යහපත් යුද්ධයක්. ගුණධර්ම රකිනව කියන්නෙ යහපත් යාගයක්. ඒ
කෙලෙස් යුද්ධය දිනා ගෙන, මේ උතුම් ජීවිතයත් පුරුදු පුහුණු කර ගෙන තමයි මේ සැප
විඳින්නේ.
ඛුජ්ජසෝභිත මහරහතන් වහන්සේ
මේ ලෝකයේ මිනිසුන් අතර යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් එයා මෙලොව පරලොව කියන
දෙකෙන් ම පිරිහී යනවා.
එනමුත් යම් කෙනෙක් මෛත්‍රී සිතකින් යුතු ව හැම සතුන් කෙරෙහි ම සානුකම්පිත වෙනවා
නම්, ඒ තැනැත්තා ඒ නිසා ම බොහෝ පින් කර ගන්නවා.
සුභාෂිත වූ මේ සද්ධර්මය තමයි ඉගෙන ගත යුත්තේ. උතුම් ශ්‍රමණයන් වහන්සේමයි ඇසුරු කළ
යුත්තේ. හුදෙකලාවේ ම යි ඔහු වාසය කරන්නේ. හිතේ සංසිඳීම පිණිස ම යි හික්මෙන්නේ.
වාරණ මහරහතන් වහන්සේ
මුලින් ම කරන්නට ඕන දේ අත්හැර ඔහු හිතුවොත් ඒක පස්සෙ කරනවා කියල, සැපයක් ලබා ගන්නට
පුළුවන් අවස්ථාව ඔහුගෙන් ගිලිහී යනවා. අන්තිමට ඔහු පසුතැවෙනවා.
යමක් කරනවා නම් ඒක තමයි ඔහු කියන්නට ඕනෑ. යමක් කරන්නේ නැත්නම් ඒක ඔහු කියන්ට ඕන
නැහැ. ක්‍රියාවෙන් තොරව කතාව විතරක් තියෙන උදවියට බුද්ධිමත් අය ප්‍රශංසා කරන්නෙ
නැහැ.
සම්බුදු රජාණන් වහන්සේ වදාළ ඒ අමා නිවන තමයි උතුම් ම සැපය. දුක නිරුද්ධ වෙන්නේ අන්න
එතැනයි. එතැන ශෝකයක් නැහැ. කෙලෙසීමක් නැහැ. සැබෑ ම රැකවරණයෙන් යුක්ත යි.
බක්කුල මහරහතන් වහන්සේ
- ථේර ගාථා ඇසුරෙන් |