සසර නිවන දුලබ සම්පත්ති
ශාස්ත්‍රවේදී
විල්පිට ගුණසිරි හිමි
බුද්ධ කාලයේ වජ්ජි ජනපදය පාලනය කළේ බෞද්ධ සාහිත්‍යයේ පරිපාලනය සම්බන්ධයෙන්
ප්‍රශංසාවට ලක් වූ ලිච්ඡවී රජ දරුවන් ය. හත්දහස් හත්සිය හත් දෙනකුගෙන් සමන්විත
ඔවුන්ගේ පාලනය සමාජයට උචිත දැහැමි පිළිවෙතක් බවට පත් වූයේ “සප්ත අපරිහානීය” ධර්මවලට
අනුකූලව පාලනය ගෙන ගිය බැවිනි.
දිනක් ඔවුන් සාකච්ඡා මණ්ඩපයට එක්රැස් වී මේ ලෝකයේ තිබෙන දුර්ලභ කරුණු ගැන සාකච්ඡා
කරන ලදී. මනුසත් බවේ දුර්ලභම කාරණාව ලෙස ඔවුන් ඉදිරිපත් කළේ සක්විති රජ පදවිය
පිළිබඳව යි. මෙහිදී සක්විති රජකම ලැබුවකුට ලැබෙන දුර්ලභ කරුණු හත පිළිබඳ ව ද
ඉදිරිපත් කරන ලදී. එය “සප්ත රත්නය” යනුවෙන් හඳුන්වා ඇත.
චක්ඛ රත්නය - කරත්ත රෝදයක් සේ විශාල අතර රජු යන අවස්ථාවල ඒ පිළිබඳ දැන්වීමට ශබ්දයක්
නිපදවයි. එය රජුට ආවේණිකම කරුණකි.
හත්ථි රත්නය - කිසිම කෙනකුගෙන් පාලනය නොවන, සක්විති රජතුමා සිතන දේ පමණක් සිදු කරන
සුවිශේෂී ඇත් රජෙකි.
අශ්ව රත්නය - කළු ඔලුවක් හා ස්වේත වර්ණ ශරීරයක් සහිත රජු සිතන දේ පමණක් සිදු කරන
සුවිශේෂී අශ්වයෙකි.
මනි රත්නය - මැණිකක් හා සමාන උපකරණයක් වන අතර, එය උපයෝගී කර ගෙන සිතන පතන දෑ ලබා ගත
හැකි ය.
ඉත්ථි රත්නය - සක්විති රජු වෙනුවෙන් ම සසරේ ආ, රජු සිතන අයුරින් ම ඔහුට ලෙන්ගතු ව,
පති භක්තියෙන් යුතු ව ක්‍රියා කරන අග්‍රමහේසිකා තනතුරට පත්වන විශේෂිත ස්ත්‍රී
රත්නයකි.
ගහපති රත්නය - සක්විති රජුට හිතෛෂී, මුදල් පරිපාලනයට සහය වන, භාණ්ඩාගාරය භාර
භාණ්ඩාගාරික කෙනෙක්.
පරිපාලක රත්නය - සක්විති රජුගේ සෙවණැල්ල සේ පින්වන්ත ව ලැබෙන දෙවැනියෙක් (යුව රජකු
සේ)
මේ දේ පිළිබඳ ව සාකච්ඡා කරමින් සිටින විට ඒ පිළිබඳ ව වැඩිදුර දැන ගැනීමට රිසියෙන්
ලොව්තුරු බුදු හිමියන්ගෙන් විමසීමට ඔවුන් අදහස් කළහ. කූඨාගාර ශාලාවේ සිට පිණ්ඩපාත
චාරිකාවේ යෙදී සිටි බුදුරජාණන් වහන්සේ මොවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ස්ථානයට වැඩම
කළහ.
එහිදී ලිච්ඡවී රජ දරුවන් බුදු හිමියන්ගෙන් අසා සිටියේ මේ ලෝකය දුර්ලභ කරුණක් ලෙස
සක්විති රජකම පමණක් වන බවයි. එහිදී ලොව්තුරු බුදු හිමියන් පහදා දුන්නේ ලෞකික සැප
සම්පත්වලින් බලන කල සක්විති රජකම දුර්ලභ ලෙස හැඳින්වූවත් සත්‍ය වශයෙන් ම මේ ලෝකයේ
දුර්ලභ ම කරුණු එය නොවන බවත්, එසේ කරුණු පහක් පවතින බවත්, එය ලෝකෝත්තර දිවි පැවැත්ම
සහ සංසාරික නිවීමට හේතු වන දුර්ලභ කරුණු වන බවත් පවසා කරුණු පහක් ඉදිරිපත් කරන ලදී.
“තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පාතුභාවො”
තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ මෙලොව පහළවීම තරම් දුර්ලභ කරුණක් වෙනත් නැති බවයි.
එය කොපමණ අමාරු, අපහසු කරුණක් ද යන්න බෞද්ධ සාහිත්‍ය විමසීමේ දී පැහැදිලි වනු ඇත.
දීපංකර බුදු හිමි පාමුල නියත විවරණ ලැබූ සුමේධ තාපසයන්ට එදා ධර්මය අසා රහත් බව ලැබ
නිවන් මඟට පැමිණීමට හැකියාව තිබියදීත් මේ ලොව සෑම කෙනකු කෙරෙහි ම කාරුණික හැඟීමෙන්
එම අවස්ථාව සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වැනි දීර්ඝ කාලයකට කල් දැමීය. ඒ බුද්ධත්වය
පිණිස යි. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තරම් දුර්ලභ කරුණක් මේ ලෝකයේ නැත.
“තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස දේසිතා පුග්ගලො දුල්ලභො ලෝකස්මිං”
බුදුරජාණන් වහන්සේ විසින් අමාරුවෙන්, අපහසුවෙන්, දුෂ්කර ව අවබෝධ කරගත් පිවිතුරු
යථාර්තවාදී දහම අවබෝධ කර ගනිමින් ධර්මය දේශනා කරන පුද්ගල චරිත ද මේ ලෝකයේ දුර්ලභයි.
පිවිතුරු දහම විකෘති කර දේශනා කරනවා විනා දහම නිසියාකාරව අවබෝධ කර ගනිමින් අනෙකාට
දේශනා කිරීමට බොහෝ දෙනකු අපොහොසත් වේ. එවැනි උත්තුංග සත්පුරුෂ චරිත දුර්ලභ යි.
“තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස දේසිතස්ස විඤ්ඤතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං”
ගැඹුරු දහම අවබෝධ කර ගන්නා පිරිස මේ ලොව දුර්ලභ යි. එවැනි උත්තුංග චරිත සොයා ගැනීමට
ද අපොහොසත් ය. ධර්මය අසන හැම කෙනකුට එම දහම ඒ අයුරින් ම පැහැදිලි වන්නේ නැත. ඒ නිසා
දහම් අසා ධර්මඥානය ලබා ගන්නා සත්පුරුෂ චරිත දුර්ලභ ය.
“තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස දේසිතස්ස විඤ්ඤාතස්ස ධම්මානු ධම්ම පටිපතෙන පුග්ගලො
දුල්ලභො ලෝකස්මිං”
දහම වටහා ගෙන, එම දහමට අනුව දිවි පැවැත්ම ගත කරන පුද්ගලයා ලොව බොහෝ දුර්ලභයි.
ධාර්මික දිවි පැවැත්මක් ගත කිරීමට අවැසි වටපිටාව සකස් කර ගන්නා අය නිරතුරුව මේ
උත්තම දහම තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගික ජීවිතයේ වැඩපිළිවෙල සකස් කර ගැනීමට හා මෙලොව
පරලොව දෙලොව දිවි සකසා ගැනීමට උත්සුක වෙයි. එවැනි උත්තුංග චරිත ලොව දුර්ලභ බව බුදු
හිමියන් දේශනා කරන ලදී.
“කතඤෙඤා කතවේදී පුග්ගලො දුල්ලභො ලෝකස්මිං”
මේ ලෝකයේ කෘතවේදී බව දත් පුද්ගලයෝ හරිම අඩුයි. කෘතගුණ සලකන මිනිස්සුන්ගේ පහළ වීමත්
බොහෝ සෙයින් අඩුයි. කෘතගුණ සලකන සත්පුරුෂ පුද්ගලයෝ ලොව දුර්ලභ බව බුදු හිමියන්ගේ
දේශනය යි.
ශ්‍රද්ධාව දියුණු කරන්න උදව් කළා නම් යමෙක් එම මතක තබා ගැනීම, ඔබව ගුණවත් කිරීමට
යමෙක් උපකාරී වූවා නම් ඒ ගුණයට සැලකීම මෙයින් අදහස් කෙරේ. |