මිනිසත්කම
රැක ගන්න
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
මනුෂ්‍යයෙක් තුළ තිබිය යුතු ගුණධර්ම මෙ පමණකැ'යි කියා ප්‍රමාණ කළ නොහැකි ය. අනෙක්
සත්ත්වයන්ගෙන් මිනිසා සුවිශේෂ වන්නේ, කාය බලයෙන් හෝ ශරීර ප්‍රමාණයෙන් හෝ නොවේ.
මෙහිදී වැදගත් වන්නේ මනසයි.
මිනිසාගේ මනස යහපත් දෙයක යෙදවීමට හැකි ය. ඒ යහපත් සිතින් මුළු විශ්වය ම සුවපත් කළ
හැකි ය.
බුදුරජාණන් වහන්සේ මානසික ශක්තිය උපරිමයෙන් යොදාගත් උත්තමයෙකි. මිනිසාට සෑම දෙයක්
පිළිබඳ සිතීමේ, විමසීමේ බලය ඇති නිසා, සෑම ගුණධර්මයක් ම ප්‍රගුණ කිරීමට ඔහුට ඉඩ
සලසා ගත හැකි ය. එය මිනිසාට ම උරුම වූ පින් මහිමයෙකි.
මනුෂ්‍යයකු වශයෙන් තිබිය යුතු ඉතා වටිනා ගුණධර්මයක් දැන් අපි දැන හඳුනා ගනිමු.
කෘතගුණ, කෙළෙහිගුණ, කළගුණ යන වචන ඔබ නිරන්තරයෙන් අසා ඇතැයි සිතමි. මේ වචන තුනෙන් ම
දක්වන්නේ එකම අර්ථයකි. කෙනෙකු තව කෙනකුට සිදු කළ යම් උපකාරයක් ඉන් අදහස් වේ.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ පසු පළමුවෙන් ම ලෝකයට පෙන් වූ ආදර්ශය, කළගුණ
සැලකීමයි. උන්වහන්සේ එහිදී කළගුණ දැක්වූයේ, පණ නැති, අජීවී වෘක්ෂයකට ය. බුදුරජාණන්
වහන්සේ තමන්වහන්සේ බුදු බව ලබන්නට සුළු වේලාවක් සෙවණ දුන් ඇසතු රුක දෙස දෙසතියක්
ඇසිපිය නොහෙළා බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව සිදු කරමින්, කෘතගුණ සැලකීම ඉතා
වටිනා දෙයක් බව ලොවට පෙන්වූහ.
“කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං”
යනුවෙන් දක්වා ඇත්තේ, ලෝකයේ මිනිසුන් කෙරෙහි කළගුණ සැලකීම කියන උතුම් ගුණය ඉතා
දුර්ලභ බවයි. ඇසතු වෘක්ෂය බුදුරජාණන් වහන්සේට උපකාර වූයේ, ඉතා සුළු කාලයකි.
මිනිසුන් ගමන් බිමන් යන විට අතරමඟ නතර වන්නේ හොඳට සෙවණ තිබෙන ගසක් යටයි. සමහර දෙනා
ඒ රුක් සෙවණේ විවේකයෙන් හිඳ එතැනින් යන විට මේ ගස අපට කොච්චර පිහිටක් වුණා ද කියලා
හිතන්නෙවත් නැත. ගස තමාට උපකාරයක් කළා කියා සිතන්න තරම් සත්පුරුෂ ගුණයක් සමහර අයට
නැත. සමහරු එතැනින් යන්නේ ගසේ කොළ අතු කඩා දමා අපිරිසුදු බවට ද පත් කරමිනි. එවැනි
ආත්මාර්ථකාමී සමාජයක බුදුරජාණන් වහන්සේ අජීවී වෘක්ෂයකට කළගුණ දැක්වීමක් වශයෙන්,
සතියක් පුරා ඒ ගස දෙස බලා සිට උපහාර දැක්වීම කොතරම් උත්කෘෂ්ට ක්‍රියාවක් ද?
බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ආදර්ශයෙන් ලොවට දැන ගන්නට සැලසුවේ අජීවී වෘක්ෂයකට මම මේ
ආකාරයෙන් උපහාර දක්වනවා නම්, මනුෂ්‍යයෙක් තමාට යම් උපකාරයක් කළොත් කෙසේ නම් කළගුණ
දැක්විය යුතු ද කියා ය. බුද්ධ චරිතය පුරා මේ උතුම් ගුණය මනාව දක්නට ලැබේ.
තම මෑණියන් වහන්සේ ජීවත්ව නොසිටියත් තුසිත දිව්‍ය ලෝකයට වැඩම කර මාතෘ දිව්‍යරාජයාට
ධර්මය දේශනා කළහ. බුදු බව ලැබීමෙන් අනතුරුව පළමු ව ධර්ම දේශනා කිරීම සඳහා තම
ගුරුවරු සෙවූහ. ඔවුන් නැති බව දැනගත් පසු තමාට උපකාර කළ පස්වග මහණුන් සොයා බරණැස
ඉසිපතනයට වැඩම කර ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූහ.
යශෝධරා දේවිය සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගිය දින සිට සිල්වත් ව ප්‍රතිපත්ති ගරුක
ව සිටියා ය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කර සුදොවුන් රජතුමා ඇතුළු
පිරිසට දහම් දෙසුවත්, එම ස්ථානයට යශෝධරා දේවිය පැමිණියේ නැත. එහෙත් ඇයගේ සිත
හඳුනාගත් බුදුරජාණන් වහන්සේ ඇය සිටින ස්ථානයට වැඩම කළහ. මේ ආදි වශයෙන් උන්වහන්සේ
අපට කළගුණ සැලකීම පිළිබඳ ආදර්ශවත් වූහ.
සැරියුත් මහරහතන් වහන්සේ ද කළගුණ දන්නා උතුම් සත්පුරුෂයෙකි. උන්වහන්සේට ධර්මය පහදා
දුන් අස්සජි මහරහතන් වහන්සේට දිනපතා කොතැනක වැඩසිටියත් එදෙසට හැරී වැඳ නමස්කාර
කිරීම උතුම් චාරිත්‍රයක් ව තිබුණි. මිථ්‍යා දෘෂ්ටික ව සිටි තම මෑණියන්
සම්‍යක්දෘෂ්ටියට පත් කළහ. එසේම උන්වහන්සේට පිණ්ඩපාතය සඳහා බත් හැන්දක් පූජා කළ රාධ
බමුණාට කළ හැකි සෑම උපකාරයක් ම සිදු කළහ. එවැනි කළගුණ සැලකූ චරිත බුද්ධ ශාසනය තුළ
බහුල ලෙස දැකිය හැකි ය.
මහා අස්සාරෝහ ජාතක කතාවේ එම රජතුමාට එක් පුද්ගලයකු කළ උපකාරයට දෙගුණ තෙගුණ වන්නට
බෝධිසත්වයන් වහන්සේ ප්‍රති උපකාර කළ බව සඳහන් වෙයි.
යම් ගසෙක සෙවණ යට යමෙක් හිඳගත්තේ හෝ සයනය කළේ හෝ වේ ද? ඔහු විසින් එම ගසේ කොළයක්වත්
නොකැඩිය යුතු ය. කොළ කැඩුවොත් ඔහු මිත්රද්රෝහියෙකි. යනුවෙන් දක්වා ඇත. එසේ නම්
කෙනෙකු තමන්ට කළ උපකාරයට කෙසේ ප්‍රත්‍යුපකාර කළ යුතු ද?
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙස බලන විට බොහෝ දුරට කළගුණ සැලකීම් අර්ථවත් වේ.
මවුපියන්, ඥාතීන්, හිතමිත්‍රාදීන්, පන්සලේ ස්වාමීන් වහන්සේ, ගමේ වෙදමහත්මයා ආදී
තමන්ට දුකේ දී, සැපේ දී, පිහිට වන පුද්ගලයන් වෙත ගොස් ආචාර සමාචාර කිරීම, කළගුණ
දැක්වීමකි. එසේ ම තමන් පරිහරණය කරන ළිඳ පිරිසුදු කර එයට කාසි සහ මල් දමා සිදු
කරන්නේ ද කළගුණ දැක්වීමකි.
තමන්ගේ අම්මා, තාත්තා වෙනුවෙන් කොතරම් වැඩ කොටසක් කළ යුතු ද? කුඩා කලයේ සිට දරුවකු
ඇති දැඩි කරන්නේ මොනතරම් දුෂ්කරතාවකින් ද? ඔවුන් රෑ දාවල් නොනිදා, නොකා නොබී නිම්
නොවන කැප කිරීමක් කළේ, අපගේ ආරක්ෂාව වෙනුවෙනි. එවැනි ආකාරයෙන් දුක් මහන්සි වී හැදූ
වැඩු මවුපියන් අමතක කළ හැකි ද? එසේ අමතක කරන අයට දියුණුවක් ඇතිවේවි ද? නැත.
වසළ සූත්‍රයේ සඳහන් ආකාරයට දුර්වල වූ, වයසට ගිය මවුපියන්ට සලකන්නට හැකියාවක්
තිබියදීත් නොසලකා හරී නම්, ඔහු වසලයෙක් වන බව දක්වා ඇත. ඔහු දෙලොවට ම පරාජිතයෙකි.
සාම ජාතකයේ එන ආකාරයට සාම කුමාරයාගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ මවුපියන්ට සැලකූ
නිසා ය. එසේ ම තමාගේ ජීවිතය සාර්ථක කර ගන්නට විවිධාකාර වශයෙන් අවවාද අනුශාසනා දුන්
ගුරු භවතුන් කිසි දිනක අමතක නොකළ යුතු ය. තමන්ට හැකි ආකාරයෙන් ඔවුන්ට ගරුසත්කාර කළ
යුතු ය. ඒ තුළින් තමාට විශේෂ ආශීර්වාදයක්, පිනක් ලැබෙනු ඇත.
මහා අස්සාරෝහක ජාතක කතාවේ එන ආකාරයට යමෙක් මීට පෙර තමන්ට කිසි උපකාරයක් නොකළ කෙනකුට
ස්වල්ප වූ හෝ උපකාරයක් කරයි ද? ඔහු ලෝකයේ දුෂ්කර වූවක් ම කරන්නේ ය. අනෙක් පුද්ගලයා
තමා පසුව උපකාර කළත්, නොකළත්, තමන් පළමුවෙන් ඔහුට උපකාරයක් කළ නිසා පිදිය යුත්තකු
වන බව දැක්වේ.
බොහෝ විට කෙනෙක් තමන්ට උදව්වක් කළොත් පමණයි, යළි ඒ පුද්ගලයාට උපකාරයක් කරන්නේ.
තමන්ට පිහිටක් නොවූ කෙනෙකුට යම් උපකාරයක් කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නැත. එහෙත්
කෙනකු උපකාරයක් කළත්, නැතත් යම් කෙනකුට පිළිසරණක් වීම මහත්මා ගතියකි.
බුදුරජාණන් වහන්සේගේ සෙවණේ හිඳිමින්, උන්වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පරිභෝග කරමින්,
බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ සිටියත් දේවදත්ත හිමියන්ට බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගැනීමට නොහැකි විය. එම ස්ථානයේ හිඳිමින් ම උන්වහන්සේට විරුද්ධ
ව කුමන්ත්‍රණය කළේ ය. එපමණක් නොව උන්වහන්සේ ඝාතනය කිරීමට පවා උපක්‍රම යෙදුවේ ය.
කළගුණ යම් තරමකින් වත් දැන සිටියේ නම්, එවැනි පහත් ක්‍රියාදාමයක යෙදෙන්නේ නැත.
එක්තරා දුෂ්ට කුමාරයෙක් හිටියා. ඔහු කෙසේ හෝ ගඟකට වැටී පා වී යන විට එක්තරා
තාපසයෙක් ඔහු බේරා ගෙන දින ගණනාවක් ඇප උපකාර කළා. එහිදී තමාට කෑම බීම දීම ප්‍රමාද
කළා කියා පළිගැනීමේ චේතනාවෙන් අර තාපසතුමාගෙන් පළිගැනීමට කටයුතු කළා.
කළගුණ නොදන්නා පුද්ගලයන්ට කොතරම් උපකාර කළත් ඔවුන්ට ඒවා මතක නැත.
“දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට
නොවව් යන බැස සැබෑ කළෙ මට”
කෙසේ නමුත් උපකාර කළ අයට යම් කෙනෙක් හානියක් කරයි ද? ඒ කරන දුෂ්ට ක්‍රියාව නිසා
තමාට ම දිනක මහා දුකකට පත්වීමට සිදු වනු ඇත.
මේ නිසා තමාට උදව් උපකාර කළ කිසිවකු අමතක කරන්න එපා. ඔබට කළ හැකි සත්කාරය කරන්න.
තමාට අත හිත දුන් සැමට කළගුණ දක්වන්න. මෛත්‍රියෙන් කටයුතු කරන්න. ඒ තුළින් ඔබට
වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත. |