කුසලය ශක්තිමත් කරන
කඨින චීවර පූජාව
ශාස්ත්‍රපති
මැණික්හින්නේ පඤ්ඤානන්ද හිමි
නිවැරැදි ව මනස සකසා ගන්නවා නම් කඨින චීවරය පූජා කරන්න මූලික වන අයට පමණක් නොවෙයි,
පූජා කරන මොහොතේ දැකලා හිත පහදවා ගන්න හැම දෙනාටමත් අඩු නැතිව කුසලය සිදු කර ගන්න
පුළුවන්. ඒ වගේම කඨින චීවරය සමඟ සිවුරු පිරිකර, අෂ්ට පරිෂ්කාර, ආහාරපාන ඇතුළු
ප්‍රයෝජන ගත හැකි සුළු දෙයක් හෝ පූජා කරන සැම දෙනාටමත් නිවැරැදි ව සිත සකසා ගත්තොත්
සැබැවින් ම මහා පින්කමක් සිදු කර ගන්න පුළුවන් වෙනවා
කඨින චීවර පූජාව බොහෝ දෙනා උනන්දුවෙන් සිදු කරන මහඟු පුණ්‍ය කර්මයක්. එහෙත් විවිධ
හේතු නිසා ඒ කුසලය දුබල කර ගන්නවා. කඨින යන වචනයේ තේරුම, තද, ශක්තිමත් කියන එකයි.
වචනාර්ථය අනුව ම ශක්තිමත් කුසලයක් කර ගන්න නම් පින්කමේ අනෙකුත් දේ වගේ ම තමන්ගේ
මනසත් ශක්තිමත් කර ගන්න ඕනෑ.
නිවැරැදි ව මනස සකසා ගන්නවා නම් කඨින චීවරය පූජා කරන්න මූලික වන අයට පමණක් නොවෙයි,
පූජා කරන මොහොතේ දැකලා හිත පහදවා ගන්න හැම දෙනාටමත් අඩු නැතිව කුසලය සිදු කර ගන්න
පුළුවන්. ඒ වගේම කඨින චීවරය සමඟ සිවුරු පිරිකර, අෂ්ට පරිෂ්කාර, ආහාරපාන ඇතුළු
ප්‍රයෝජන ගත හැකි සුළු දෙයක් හෝ පූජා කරන සැම දෙනාටමත් නිවැරැදි ව සිත සකසා ගත්තොත්
සැබැවින් ම මහා පින්කමක් සිදු කර ගන්න පුළුවන් වෙනවා.
ඕනෑම පින්කමක කුසලය මහත් ඵල මහානිසංස වෙන්නට කාරණා තුනක් ප්‍රධාන වශයෙන් හේතු
වෙනවා. මොනවද ඒ කාරණා. කරන්නා වූ පූජාවෙන් එය ලබන ප්‍රතිග්‍රාහකයාට කෙබඳු යහපතක්
සිද්ධ වෙයි ද? ඒ ප්‍රතිග්‍රාහකයාට සිද්ධ වෙන්නා වූ යහපතේ ප්‍රමාණයට ඒ කුසලය මහත් ඵල
මහානිසංස වෙනවා.
දෙවෙනි කාරණය තමයි, දායකයාගේ සිත කොයි තරම් පවිත්‍ර ද? කොයි තරම් ප්‍රබල ද, ඒ
දායකයාගේ සිතිවිලිවල ප්‍රබලභාවය වැඩි වූ තරමට කරන්නා වූ කුසලය මහත්ඵල මහානිසංස
වෙනවා.
තුන්වැනි කාරණය තමයි, පූජාව ලබන්නා වූ ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණ සම්පත්තිය,
සීල සම්පත්තිය ආඪ්‍ය වූ තරමට, මානසික ශක්තිය වැඩි වූ තරමට ඒ පින්කම කරන්නා වූ
දායකයාට ලැබෙන ආනිසංසය මහත් වෙනවා.
මේ කරුණු තුන ප්‍රබල වූ තැනයි දානයක මහත්ඵල මහානිසංසභාවය දක්වන්නට පුළුවන්කම
තිබෙන්නේ. මේ කඨින චීවර පූජාව ශාසනයේ සඳහන් වෙන සියලු පින්කම් අතර මහා පින්කමයි
කියලා සඳහන් වෙනවා. මේ පින්කම අන්‍ය සියලු පූජාවන් පරදවා මහා පින්කමක් වෙන්නෙ කුමක්
නිසා ද?
පව් නසන ඇඳුම
කඩෙන් ගෙනාවා වූ සුදුසු වස්ත්‍රයකින් කඩ කපලා නිවැරැදි දිග පළල අනුව, තථාගතයන්
වහන්සේ විසින් දේශනා කළා වූ විනය ප්‍රඥප්තීන්ට අනුකූල ව, සතරැස් ආකාරයෙන් මසා නිම
කරගෙන නිවැරැදි පාට ඇතිවන හැටියට පඬු පොවලා ගණ්ඨි යොදලා මේ ආදී වශයෙන් ක්‍රමානුකූල
ව අංග සම්පූර්ණ ව සකස් කර ගත්තා වූ, භික්ෂූන් වහන්සේ නමකට කැපසරුප් වස්ත්‍රයට අපි
චීවරය'යි කියන නම ව්‍යවහාර කරනවා. එබඳු කැපරුප් වස්ත්‍රයක් අපි සකසා ගෙන යම්
භික්ෂූන් වහන්සේ නමකට පූජා කළා ම ඒ භික්ෂූන් වහන්සේට එතැන් පටන් ප්‍රයෝජන රාශියක්
මේ චීවරය නිසා ලැබෙනවා.
මේ ලෝකයේ කොතරම් පව්කම් කරමින් ජීවත් වන්නා වූ කෙනකු වුණත් ඒ පාප ධර්මයන්ගෙන් ඈත්
කරලා චීවරයක් ගත දැවටුවොත්, එතැන් පටන් ඒ තැනැත්තා භික්ෂුවක් වශයෙන් වැඩෙනවා. ඒ
භික්ෂූන් වහන්සේ ගිහියෙක් හැටියට ඉන්න කාලෙ කළා වූ පව්කම්වලින් ටිකෙන් ටික හෝ ඈත්
වෙනවා. සොකරම් කරමින් හිටපු කෙනෙක් ඉන් ඉවත් කරලා මේ චීවරය ගත දැවටුවොත් ඉන් පසු
සොරකම් කිරීමෙන් ඉවත් වෙනවා. අන්‍ය වූ පාප ධර්මයන්ගෙන් ටිකෙන් ටික ඈත් වෙලා යම්
දවසක සියලු කෙලෙසුන් නසා අර්හත්භාවයට පැමිණෙන්නට උන්වහන්සේට මේ චීවරය උපකාර වෙනවා.
මේ තරම් මනුෂ්‍යයන්ට කෙලෙස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන වස්ත්‍රයක් තවත් නැහැ. ගිහි
සමාජයේ සියලු ම වස්ත්‍රාභරණ කෙලෙස් වඩවනවා. තෘෂ්ණාව වඩවනවා. ඊර්ෂ්‍යාව වඩවනවා. ආත්ම
දෘෂ්ටිය වඩවනවා. මානය වඩවනවා. අනෙකා සතුව ලස්සන ඇඳුමක් තියෙනවා දකින කොට ඊර්ෂ්‍යාව
වැඩෙනවා. තමන්ටත් එවන් ඇඳුමක් ලබන්නට ඕනෑ ය කියලා තෘෂ්ණාව ඇතිවෙනවා. තමනුත් එවන්
ඇඳුමක් ලැබූ තැනදී මාන්නය, සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මේ ආදී වශයෙන් ගිහි සමාජයේ
ඇඳුම් පැළඳුම් තෘෂ්ණා දෘෂ්ටි මාන කියන සියලු ක්ලේශ මූලයන් වඩවන්නා වූ, සසර දිගු
කරන්නා වූ අපායට මඟ පාදන්නා වූ ක්‍රමයකටයි පවතින්නේ. එබඳු ඇඳුම් අතර යම්කිසි ඇඳුමක්
කෙලෙස් නසන්නට උපකාර වෙනවාද? තෘෂ්ණාව නසන්නට, මානය නසන්නට, සක්කාය දිට්ඨිය නසන්නට
උපකාර වෙනවාද? මෙම චීවරය නම් වූ ඇඳුම පමණයි ඒ සඳහා උපකාර වෙන්නේ. මේ චීවරය ගත
දරාගෙන එකවර සියලු කෙලෙසුන් නසා රහත් වෙන්නට සියලු දෙනාට බැරි වුණත්, ටිකෙන් ටික තම
තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ගුණ දහම් පුරනවා. සැඟවී ඇති ගුණ මතු කරනවා. දහස් ගණනක්
මිනිසුන් ඝාතනය කළඅංගුලිමාල ද බුදු හාමුදුරුවෝ කරුණු අවබෝධ කරලා මේ චීවරයක් ගත
දවටලා පැවිදි කළා. මේ භික්ෂූන් වහන්සේ එතැන් පටන් තමන් සිද්ධ කළා වූ පාප ධර්මයන්ගේ
සැබෑ ස්වභාවය මැනවින් වටහා ගෙන ක්‍රම ක්‍රමයෙන් සීලාදී ගුණ ධර්මයන් සම්පූර්ණ කළා.
මෙසේ ගුණ පුරන්නා වූ අංගුලිමාල හාමුදුරුවෝ දවසක් දා පිඬුසිඟා වඩිද්දී දකිනවා
ගර්භිණී මාතාවක් දරු ප්‍රසූතිය පහසුවෙන් සිදු නොවී මහත් වූ වේදනාවෙන් පීඩා විඳිනවා.
අර තරම් කුරිරු වූ හදවත මේ මවගේ දුක් විලාපය දැකලා අතිශයින් කම්පාවට පත්වුණා. බුදු
හාමුදුරුවෝ හමුවෙන්නට ගිහිල්ලා අංගුලිමාල හාමුදුරුවෝ කියනවා
“ස්වාමීනි, මා පිඬුසිඟා වඩිද්දී මාතාවක් දරු ප්‍රසූතිය ආසන්න ව බොහෝ සේ පීඩාවෙන්
වේදනා විඳිනවා.” එතැනදී තථාගතයන් වහන්සේ උපදෙස් දෙනවා. “එහෙනම් අංගුලිමාල ඔබ
ගිහිල්ලා සත්‍ය ක්‍රියාවක් කරන්න. ඔබ මේ ජාතියේ උපන්දා පටන් දැන දැන සතෙක් මැරුවෙ
නෑ කියලා ඔබ සත්‍ය ක්‍රියාවක් කරන්න. ඒ සත්‍යානුභාවයෙන් මවටත් දරුවාටත් යහපතක්,
පහසුවක් සිද්ධ වෙන්න කියලා.” එතැන දී අංගුලිමාල හාමුදුරුවෝ අහනවා “ස්වාමීනි මම
කොහොමද එහෙම කරන්නේ? මම මේ ජීවිතයේ දී ම දැන දැන මිනිසුන් දහස් ගණනක් මැරුවා. ඒ
නිසා මම කොහොමද ඒ විදියේ සත්‍ය ක්‍රියාවක් කරන්නේ?” බුදු හාමුදුරුවෝ එතැන දී
පැහැදිලි කරනවා
“එහෙම නොවෙයි අංගුලිමාල මම ඔබට කියන්නෙ. ඔබ මේ ආර්ය ජාතියේ උපන්දා පටන් දැන දැන
සතෙක් මැරුවෙ නෑ. ආර්යය ජාතියේ උපන්නා ය කියලා කිව්වේ මේ ආර්යය ධර්මය පිළිගෙන මේ
චීවරය පොරවා ගත් දා පටන්. එතැන් පටන් ඒ තැනැත්තා ආර්යය ශාසනයට, ආර්යය සමාජයට, ආර්යය
ප්‍රතිපදාවට ඇතුළු වෙනවා. ඒ ආර්යය ප්‍රතිපදාවට ඇතුළුවීම උත්පත්තියක් හා සමානයි. ඒ
නිසා අංගුලිමාල ඔබ මේ ආර්ය ජාතියේ උපන්දා පටන් කවදාවත් දැන දැන කුරා කුහුඹුවකුවත්
මැරුවෙ නැහැ. ඒ බව සිහි කරලා ඔබ සත්‍ය ක්‍රියා කරන්න.’
එදා අංගුලිමාල හාමුදුරුවෝ ඒ මාතාව ළඟට ගිහිල්ලා සත්‍ය ක්‍රියා කරනවා. “නැඟණියනි, මම
මේ ආර්ය ජාතියේ උපන් දා ඉඳලා දැන දැන සතෙක් මරුවෙ නෑ. ඒ සත්‍යානුභාවයෙන් ඔබටත්
දරුවාටත් සුවයක් යහපතක් වේවා” කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ මුවින් පිට වුණා වූ සත්‍ය
වචනයේ බලයෙන් අද දක්වා මේ සියලු මව්වරු යහපත ලබනවා. ප්‍රයෝජන ලබනවා. තවත් මේ
සම්බුද්ධ ශාසනය පවතින තාක් සියලු ම ස්ත්‍රී වර්ගයාට, සියලු ම මව්වරුන්ට යහපත පිණිස
ඒ මුවින් පිට වුණා වූ වචනය හේතු වෙනවා. ඒ කුමන ආශ්චර්යයක් ද? මේ චීවරයේ බලයයි. අර
තරම් දරුණු සිතක් මොළොක් කරලා, තව කෙනකුගේ දුක, පීඩාව හඳුනන, කාරුණික මෛත්‍රී සහගත
තත්ත්වයට පත් කරන්නට පුළුවන් වුණේ මේ චීවරයේ බලය නිසයි.
මේ ආකාරයෙන් යම්කිසි කෙනෙක් මේ චීවරය හඳිනවා ද? පෙරවනවා ද? එතැන් පටන් ඒ තැනැත්තා
ටිකෙන් ටික පව්කම්වලින් ඈත් වෙනවා පමණක් නොවෙයි, ගුණ ධර්මවලට නැඹුරු වෙනවා. මේ මහා
යහපත කරන්නට පුළුවන් අන්‍ය දානයක් මේ ලෝකයේ තවත් නෑ. ධර්ම දානය හැරුණු කොට ආමිස
දානයන් අතුරින් මේ චීවරයට පමණයි සවිය තියෙන්නෙ, බලය තියෙන්නේ තව කෙනෙක් ගුණාත්මක
භාවයෙන් පෝෂණය කරන්න.
ආහාරයක් පූජා කළොත් එය දින කීපයකින් ක්ෂය වී විනාශ වී යනවා. ආවාසයක් හදලා පූජා
කළොත් එය වසර කිහිපයකින් ක්ෂය වී විනාශ වී යනවා. අන්‍ය ඕනෑම දෙයක් පූජා කළත් එය
කලකට පමණයි ප්‍රයෝජනවත් වෙන්නෙ. නමුත් චීවරයක් පූජා කළොත් ඒ චීවරය නිසා අතිදීර්ඝ වූ
මේ සසර ගමන කෙටි කර ගන්නට, අනන්ත සංසාරයක දුක් විඳින්නට හේතු වන පාප ධර්මයන්ගෙන්
ඉවත් වෙන්නට, ගුණධර්මයන් වඩවන්නට, සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණෙන්නට, මේ
පූජා කරන්නා වූ චීවරය ඒකාන්තයෙන් උපකාර වෙනවා.
අර්හත් ධජය
මේ ආකාරයෙන් පුද්ගලයෙක් ආර්යය භාවයට, රහත් භාවයට පමුණුවන්නට මේ වස්ත්‍රය හේතු වන
නිසා මේ සිවුරට ‘අර්හත් ධජය යැයි කියනවා. බුදු, පසේ, බුදු මහ රහතන් වහන්සේ යම්තාක්
ලෝකයේ පහළ වුණා නම් ඒ සියලු උතුමන් වහන්සේ ගත දැරූ නිසාත් මේ චීවරයට අර්හත් ධජයයි
කියලා කියනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ යම්තාක් ලෝකයේ පහළ වුණා නම් ඒ සියලු
උතුමන් වහන්සේ ගත දැරූ නිසාත් මේ චීවරයට අර්හත් ධජයයි කියලා කියනවා. මේ විදිහට
අර්හත් ඵලය සාක්ෂාත් කර ගත් උතුමන් විසින් දැරූ නිසාත්, අර්හත් ඵලය සාක්ෂාත් කර
ගන්නට උපකාර වන නිසාත් කියන මේ දෙයාකාර අර්ථයෙන් අර්හත් ධජ සංඛ්‍යාත වූ ශ්‍රේෂ්ඨ
චීවරයකුයි අපි මේ පූජා කරන්නෙ කියලා සිත පහදවා ගන්නට ඕනෙ. ඒ නිසා පෙර උතුමන් සඳහන්
කළා.
“පන්ථෙ දිස්වාන කාසාවං -
ජඩ්ඩිතං මීළ්හමක්ඛිතං
සිරස්මිං අඤ්ජලිං කත්වා -
වන්දිතබ්බං ඉසිද්ධජං’
පාරේ අයිනක කාණුවක කුණු මඩ තැවරිලා. අසූචි තැවරිලා හෝ යම් සිවුරක් තියෙනවා නම් එයට
පවා දොහොත් මුදුන් තබා වඳින්නට වටිනවා. ඒ කුමක් නිසාද? මේ අර්හත් ධජයයි කියලා. ඒ
තරම් ගරු සම්භාවනීය ශ්‍රේෂ්ඨ ඇඳුමකුයි. පව් නසන්නට හේතු වන, කුසල් වඩන්නට හේතු වන
ශ්‍රේෂ්ඨ ඇඳුමකුයි මේ චීවරය කියන්නේ. එබඳු චීවරයකුයි අපි මේ පූජා කරන්නේ කියලා සිත
පහදවා ගන්නට ඕනෙ. මේ විදියට චීවරයක් ලබන්නා වූ ප්‍රතිග්‍රාහකයන් වහන්සේට එයින්
ලැබෙන්නා වූ පළමුවැනි ප්‍රයෝජනය තමයි සියලු සාංසාරික දුක්වලින් නිදහස් වෙලා නිවන්
අවබෝධ කර ගන්නට මනස යොමු වීම. මේ උපකාරය, මේ යහපත අන්‍ය කිසිම පූජාවකින් සිද්ධ
කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පූජාවකින් ප්‍රතිග්‍රාහකයින් වහන්සේට ලැබිය යුතු
අග්‍ර ම ඵලය මේ චීවර පූජාව තුළින් ලැබෙනවා. |