[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අමාවක පෝ දා 2024-08-03

උතුම් දිනීම

දිනුම - පැරදුම ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය යි. වරෙක දිනන්නෝ තවත් විටෙක පැරදෙති. දිනුම සතුටකි. එහෙත් ඒ සතුට ම දුක ගෙන දෙන්නේ නැවත පරාජය ලද කල ය. එසේ යැයි පැරදුම ප්‍රතික්ෂේප කළ නොහැකි ය. විඳ දරා ගන්නට ම වන්නේ ය. දිනුම් අතර සැබෑ දිනුම ලැබෙන්නේ පැරදුමක් නැති තැන ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෙලෙස් සතුරන් දිනු කල එය කිසිවෙකුටත් පැරදවිය නොහැකි බව ය. දෙව්, මරු, බඹුන්ට ද පැරදවිය නොහැකි බව ය.

තථාගතයන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කොට වදාළේ සැවැත් නුවර දී අවැඩට හේතු වන කරුණු පිළිබඳ විමසූ බමුණකු අරභයා ය.

මේ බමුණා ප්‍රසිද්ධ වූයේ දූකෙළියෙහි අති සමර්ථයකු ලෙස ය. ඔහු පිරිස්බල ඇත්තෙකි. කපටි පුද්ගලයෙකි. දිවි රැක ගත්තේ දූකෙළියෙන් ඉපැයූ ධනයෙන් ය. නිතර දොඩවන්නකු වූ මේ බමුණාට මුළා වූවෝ ද බොහෝ ය. එසේ වුව මේ බමුණා පොදු වැඩට කැමැති ය. සැදැහැ සිතක් නොවුණ ද ආගමික කටයුතු උදෙසා අන්‍යයන් උනන්දු කරවීය. දහම් දැනුම නොවුණ ද දැනුමින් පොහොසත් බව අඟවන්නට සමර්ථ ය. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ගොස්

“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩට නිසි මඟ දේශනා කරන සේක. එහෙත් අවැඩට මඟ දේශනා නොකරන සේක. ඔබ වහන්සේ අවැඩට නිසි මඟ දන්නා සේක් දැ”යි විමසීය.

එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේ වැඩට නිසි මඟත්, අවැඩට නිසි මඟත් දන්නා බව ය. බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ අවැඩට මඟ දේශනා කරන ලෙස ය.

හිරු නැඟෙනතුරු නිදා ගැනීම, අලස ව හිඳීම, දරුණු රළු පරළු ගති දැක්වීම, කළ යුතු දෙය කල් දැමීම, මඟ හුදකලාව යෑම, පරදාර සේවනය යන කරුණු අවැඩට හේතුවන බව අප භාග්‍යවතුන් වහන්සේ බමුණාට අවධාරණය කළ සේක. එදාට සේ ම අදට ද වටිනා මේ සදුපදේශය අපේ ජීවිත ඔසවා තබන්නට සමත් ය.

ජීවිතයේ දියුණුව සිතන කිසිවෙක් හිරු නැඟෙනතුරු නොනිදත්. පැරැන්නෝ පැවසුවේ එවැන්නෝ නිවෙසට පවා අභාග්‍ය උදාකරන බව ය. දවසේ සියලු වැඩ කටයුතු අවුල්වීම තුළ තමන් සේ ම අනුන් ද පීඩාවට පත්වීම, රෝගී පුද්ගලයකු බවට පත්වීම හිරු නැඟෙනතුරුත් නින්දට වහල් වන පුද්ගලයාට මුහුණ දෙන්නට වන අපහසුතාවන් අතර ප්‍රධාන ය.

උදය, දවල්, සවස, අව්ව, වැස්ස, පින්න ආදී ලෙස කටයුතු කල් දමන පුද්ගලයාට ඇවැඩ මිස වැඩ වන්නේ නැත. ජීවිතය දිනූ පුද්ගලයෝ බොහෝ වෙහෙස මහන්සිවී කටයුතු කළ අනලස් අය ම වෙති. තමන් හා ජීවත් වන අය සමඟ රළු ලෙස හැසිරෙන පුද්ගලයා කිසිවෙක් පි‍්‍රය නොකරති. දුකක දී කරදරයක දී ඔහුට පිහිට වන්නට ද කෙනෙක් නැත. අද කළ යුතු දේ අදම කරන්න යන උපදෙස් අපි කුඩා කල සිට ම අසා ඇත්තෙමු. වැඩ හෙටට කල් දමන පුද්ගලයාට කිසි දිනෙක හෙට දිනය උදා නොවනු ඇත. මේ සදූපදේශ අපේ ජීවිතයට ගෙන දෙන වටිනාකම අමිල ය. එහෙත් බොහෝ දෙනෙක් දුක්ඛිත ජීවිත ගත කරන්නේ මේ අවැඩට හේතුවන කරුණු අතර ම සිරවී සිටීම නිසා ය. ගැලවීමට උත්සාහ නොකරන නිසා ය.

තමන් දිවි රකින්නේ දූකෙළියෙන් බව පැවසූ බමුණාට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ සැබෑ දිනීම, උතුම් දිනීම එය නොවන බව ය. කෙලෙස් සතුරන් දිනීම ම උතුම් බව ය. බුදු මග යන අපි ද සෑම මොහොතක ම උත්සාහ කළ යුතු වැඩ අවැඩ කරුණු දැන සම්මත ජීවිතය සාර්ථක ව ගත කරමින්, සසර දුක ඇති කරන කෙලෙස් සතුරන් පැරදවීමට ය. ඒ දිනුම දෙලොව ම සුව සදනු ඇත.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]